එජාපයට ජවිපෙ උදවු කල හැටි ජනපති ප‍්‍රසිද්ධියේ කියයි

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මෙල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මෙල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ (01) පස්වරුවේ රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති රොනී ද මෙල් මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක් වෙමිනි.

අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

එතුමා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රදේශවල ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. ඒ බව අපි හොඳින් දැන සිටියා. එදා එක්සත් ජාතික පක්ෂය සමඟ විශාල රැල්ලක් ඇති වී තිබුණා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා රැල්ලක් තිබෙනවා කියලා හිතන්න එපා, අපි මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි කියලා.

රොනී ද මෙල් මහතා ප්‍රකාශ කළා මම ඔබතුමාට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දත් අරගෙන දෙන්නම් කියලා.එතුමා විටින් විට බන්ධනාගාරවට ගොස් රෝහණ විජේවීර මහතාව මුණ ගැසී තිබුණා. අවසානයේ ඒ සියලුදෙනා අපට ඡන්දය ලබා දෙනවා නම් විජේවීර මහතාව බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට සුදානම් ද කියා එතුමා යෝජනාවක් ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඊට එකඟ වුණා. ඒ අනුව දෙපාර්ශ්වයේම වගකීම ඉටු වූ නිසා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධූර විශාල ප්‍රමාණයක් හිමි කර ගත්තා.

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *