මෙතෙක් ඉන්දීය සිනමාවේ නිෂ්පාදිත වැඩිම කම්පනයක් ඇතිකරන චිත්‍රපටය ‘අග්‍රා’ ද?

ඉතිහාසය පුරා රිදී තිරය මත ලිංගික දර්ශන නොව සිපගැනීමේ දර්ශන පවා පෙන්වීමට ඉඩ නොදුන් ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමා නිර්මාණයන් නිසා, බොලිවුඩ් සිනමාව එහි සිංදු හා නර්තනයන් නිසා ප්‍රසිද්ධවන තරමටම එහි ‘නිර්මලත්වය’ නිසා ද ලොව පුරා ප්‍රසිද්ධියක් දිනා තිබේ. ඇත්තෙන්ම, පසුගිය සියවසේ බොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ට රැඟුම් පාලක වාරණයන්ගේ අප්‍රසාදිත රැවුමෙන් ගැලවෙන අන්දමට ලිංගිකත්වය නිරූපණය කිරීමේ ක්‍රමයන් සොයාගැනුමට සිදුව ඇත – මීට උදාහරණයක් ලෙස, සුදු සාරියකින් සැරසුණු ලැජ්ජාශීලී නිළියක වතුර මලක් හරහා දුවන දිගු නර්තනාංගයක් දැක්විය හැකි ය.

නමුත්, සමස්ත ඉන්දීය සිනමාව ඉතාමත්ම අවිහිංසක හා නිර්මලයැ යි සිතා සිටි සැවොම 2923 වසරේ කෑන්ස් සිනමා උළෙලේ දී මහත් පුදුමයට පත්වූහ. මැයි 25 දා ‘ඩිරෙක්ටර්ස් ෆෝට්නයිට්’ අංශයේ දී ප්‍රදර්ශනය කෙරුණු අධ්‍යක්ෂක කානු බේල්ගේ ‘අග්‍රා’ චිත්‍රපටය, ලිංගිකව යටපත් කළ ඉන්දීය පිරිමි දෙස සෘජු හා මහත් කම්පනයක් ඇති කරන බැල්මක් හෙළන, නිරුවත හා පැහැදිලි ලිංගික දර්ශනවලින් පිරුණු නිර්මාණයකි. එසේම එය අඩු කතාබහට ලක්වන අන්දමේ අතික්‍රමණශීලී, විකල්ප ඉන්දියානු සිනමා නිර්මාණ පෙළකට එකතුවන නවතම චිත්‍රපටය යි. අධ්‍යක්ෂක බේල් පවසන පරිදි: “ඉන්දියාව ඇතුළෙ මහා ගොඩක් චිත්‍රපටි හැදෙනවා. ඒ වගේම එතන බෙදී ගිය පෞරුෂයක් තියෙනවා, හරියට ඉන්දියානු සිනමාව ගැන එකිනෙකට වෙනස් අදහස් දෙකක් තියෙනවා වගෙ. එතන තියෙනවා, ගොඩක් මිනිස්සු දන්නා ඉන්දියානු සිනමාවෙ ප්‍රසිද්ධ බොලිවුඩ් ආකෘතිය; අනිත් අතින්, දැනට හෝ පහුගිය අවුරුදු පහ දහය ඇතුළෙ නෙවේ, දශක ගණනාවක් තිස්සේ ගොඩක් සිත්ගන්නාසුළු චිත්‍රපටි හදලා තියෙන ඊට සමාන්තර නිදහස් ඉන්දියානු සිනමා ලෝකය තියෙනවා.”

අග්‍රා අපට පවසන්නේ, කුඩා නිවෙසක ඔහුගේ දෙමාපියන් හා විවාහක සොයුරු සොයුරියන් ද සමග ජීවත් වෙන, ලිංගිකව යටපත්ව වෙසෙන ‘ගුරු’ නම් ඇමතුම් මධ්‍යස්ථාන සේවකයෙකුගේ කතාව යි. ඔහුගේ කුඩා තදබද නිවෙසේ දී පවුලේ කිසිවෙකුගේ දැනගැනීමට සහ විවේචනවලට පත්‍ර නොවී සහකාරියක සොයාගන්නට හෝ ලිංගික දිවියක් ගත කරන්නට නොහැකි හෙයින්, නිවෙසට යාකොට නව අංගනයක් ගොඩනැගීමට ඔහුට අවශ්‍යවෙයි. දැඩි ඉච්ඡාභංගයට පත්ව සිටින ගුරු, පෙම් සබඳතා ගොඩනගා ගැනීම සඳහා නිපදවා ඇති ඇප්වලට ඇබ්බැහිවී, ප්‍රචණ්ඩකාරී ලිංගික ෆැන්ටසි මාලාවක් ක්‍රියාවට නංවමින් දවස ගෙවන නමුත්, මේවා සත්‍ය සිදුවීම් ද, නැතහොත් ගුරුගේ පරිකල්පනයේ අංගයන්දැ යි අධ්‍යක්ෂක බේල් පැහැදිලි නොකරයි. ගුරුගේ ග්‍රස්තීන් හා මායා විශ්වාසයන් සත්‍යය හා ප්‍රබන්ධය බොඳකර දක්වන ආකාරය තුළ, ‘ඇමෙරිකන් සයිකෝ’ චිත්‍රපටයේ පැට්‍රික් බෙට්මන්ගේ යම් ලක්ෂණ අපට පෙනෙයි. එඩිතර චිත්‍රපටයක් වන මෙහි පළමු ලිංගික දර්ශනය අවසන්වන්නේ කාන්තාවක් විශාල මීයෙකුබවට හැරෙන දර්ශනයකින් වන අතර, ගුරු ෆැන්ටසිකරුවෙකුබව අපට වැටහීම ඇරඹෙයි.

මෙම දර්ශනය යම් විකාරසහගතබවක් දැරුවත්, ගුරුගේ වඩාත් කුපිත සහ ප්‍රචණ්ඩ ෆැන්ටසීන් පෙන්වීමට බේල් පසුබට නොවෙයි. මේ ඉන්දියානු අධ්‍යක්ෂකවරයා, කාන්තාවන් යටපත්කර තම පුරුෂත්වයේ බලය තහවුරුකර ගන්නට සිහින මවන [මානසිකව] ඉතා රෝගී මනුෂ්‍යයෙකුගේ දරුණු මනස තුළට නරඹන්නා ගෙනයෑමට දරන ප්‍රයත්නය කම්පනය ගෙන එන අතර, ඇතැම්විට නැරඹීමට පවා අපහසු ය.

“මේ චිත්‍රපටිය, හැමෝගෙම ජීවිතේ තියෙන නමුත් කවුරුවත් කතා නොකරන විධියෙ යම් යම් රහසිගත අවකාශයන් දිහා බලනවා,” 42-හැවිරිදි අධ්‍යක්ෂකවරයා පවසයි. “උතුරු ඉන්දියාවේ කොල්ලෙක් විදියට හැදී වැඩෙද්දී මට දැනිච්ච ලිංගිකව මැඬපවත්වපු ගතියක් දැනුනා. මට විතරක් නෙවේ, ලිංගික මේරීම ප්‍රමාද වෙච්ච නිසා දුෂ්කරතාවන්ට පත්වෙච්ච ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා,” බේල් වැඩිදුරටත් කියයි.

බේල්ගේ චිත්‍රපටයෙන් ලිංගික මැඬපැවැත්වීම යන ගැටලුව අධ්‍යයනය කරන අතර, ඉන්දියාවේ විශේෂයෙන්ම ඉහළ ලිංගික ප්‍රචණ්ඩත්ව අනුපාතිකයන් සමග එහි සම්බන්ධයක් ඇතිබවට යෝජනා කරයි. චිත්‍රපටයෙන් ඉන්දියාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය යන පුළුල් චිත්‍රය දෙස නොබැලුවත්, එහි යටිපෙළවන්නේ, 2021 වසරේ ගාඩියන් වාර්තාවක් මඟින් යෝජනා කළ පරිදි ඉන්දියාව “කාන්තාවකට ජීවත්වීමට භයානකම ස්ථානයක්” බවට පත්වීමට පිරිමින්ගේ ලිංගික නොමේරූභාවය ද බලපා ඇති බවයි. 2012 දී දිල්ලියේ බස් රියක් තුළ දී ශිෂ්‍යාවක් ම්ලේච්ඡ ලෙස සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධිය, ඉහළ ලිංගික ප්‍රචණ්ඩත්ව අනුපාතිකයන් ලෝකයේ අවධානයට යොමුවන බවට වගබලා ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු පාර්ලිමේන්තුව ලිංගික අපරාධයන් සඳහා වඩාත් දැඩි දඬුවම් හඳුන්වාදුන් නමුත්, එයින් අපරාධ අනුපාතිකයන්හි විශාල වෙනසක් සිදුව නැත. වාර්තාවන දූෂණ සංඛ්‍යාව ඉහළගොස් ඇති අතර, තවත් බොහෝ දෙනා නීතිය ඉදිරියට පැමිණීමට බියෙන් පසුවෙති. එක් ‘රෝගී’ මිනිසෙකුගේ කතාව හරහා මේ අඳුරු විෂයය ආවර්ජනය කිරීමේ දී, බේල් සිතා හෝ නොසිතා නිර්මාණයකර ඇත්තේ බොහෝ තහංචි බිඳ දමන චිත්‍රපටයකි. “මම තහංචි බිඳින්න බලාගෙන නෙවේ මේක පටන්ගත්තෙ, ඒත් මේකෙ විෂය නිසා මට එහෙම කරන්න සිද්ධවුණා,” ඔහු පවසයි.

ඉන්දියාවේ ලිංගික චාරිත්‍රධර්ම හා ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සම්පූර්ණ ගැටලුවම බේල් ප්‍රවේසමෙන් මුහුණපෑ යුතු විෂයයක්විය. කතාවේ ඔහුගේ පළමු පිටපතෙහි සෘජු ලිංගික දර්ශන නොවීය. සිනමාකරුවන් සඳහා වන ‘ත්‍රී රිවර්ස් රෙසිඩන්සි’ වැඩසටහනට සහභාගීවී සිටිය දී, ගුරුගේ ලිංගික මැඬපැවැත්වීම ඔහුගේ ශාරීරික ආශාවන් කොපමණ විකෘතිකර ඇති ද යන්න ප්‍රේක්ෂකයාට වටහාගැනීමට හැකිවනු පිණිස, කතාවේ අවලක්ෂණ සහ අඳුරු පැත්ත දෘශ්‍යමාන කළ යුතු බව ඔහුට පවසනු ලැබිණි. “උපදේශකවරයා මගෙ පිටපත කියවලා ඇහුවා ඇයි මං මේ ෆිල්ම් එක හදන්නෙ කියලා. එතකොට මං කිව්වා මට ඉන්දියාවේ ලිංගික මර්දනය සහ ශාරීරික අවකාශයන් ගැන කතාබහ කරන්න ඕන කියලා. උපදේශකවරයා එතකොට කිව්වා, එහෙනම් ඇයි ඔයා ඒක කරන්නේ නැත්තෙ? ඔයාට ඒක ඇත්තටම කරන්න ඕන නම්, ඒක බාගෙට දමලා ගහලා දාන්න බෑ කියලා. එදා රෑ මං තීරණය කළා, විරුද්ධ ලිංගිකයන් එක්ක හැසිරෙන්න දන්නෙ නැති අන්ත අසරණයෙක් ගැන ෆිල්ම් එකක් කරනවා කියලා. එහෙම කට්ටිය නිවට, අනපේක්ෂිත විදියට හැසිරෙන හැටි මට පෙන්නන්න සිද්ධවුණා.”

ඉන්දීය සිනමාවේ ජානය

බේල් ගමන් කරන්නේ කදිම මඟක ය – මන්ද, ඉන්දියානු සිනමාවේ අඳුරු පැත්ත සැමදා පැවතුනේයැ යි, බර්ලින් චිත්‍රපට උළෙල සඳහා ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ නියෝජිතවරියක ද, ටොරොන්ටෝ චිත්‍රපට උළෙලේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් උපදේශිකාවක ද, මෙවසරේ කෑන්ස් උළෙලේ ‘ක්‍රිටික්ස් වීක්’ ජූරියේ සභිකාවක ද වූ මීනාක්ෂි ෂෙඩ් පවසන්නී ය. “අපට හැමවිටම ප්‍රබල අතික්‍රමණ ජානයක් තිබිලා තියෙනවා. ඒක ප්‍රබල ලෙස ඉස්මතුවෙලා නැතත්, ඒක පටන්ගැන්මේ ඉඳන්ම ඉන්දීය සිනමාවේ DNAවල තිබිලා තියෙනවා. සිනමාවේ ආරම්භයේ දී අතික්‍රමණශීලී පුද්ගලයින් විතරක් චිත්‍රපටි හදපු ගොඩක් සංස්කෘතීන්වල මේක බොහෝවිට සුලබවෙන්න පුළුවන්. ඉන්දියාවේදි චිත්‍රපටවල සම්බන්ධ වෙලා වැඩ කරන එක දුරාචාරවත් දෙයක් විදියට සැලකුණු නිසා, ඉන්දියාවේ දී එහෙම කළේ පහත් කුලවල අය, ආන්තික ජන කොටස් සහ සංක්‍රමණිකයෝ.”

ඉන්දීය සිනමාවේ පළමු දිගු චිත්‍රපටය ලෙස නිතර සැලකෙන 1913 වසරේ ‘රාජා හරිස්චන්ද්‍ර’ චිත්‍රපටය, ඉන්දියාව තුළ සිනමාව ජනප්‍රියත්වයට පත් කළේ ය. නමුත් කලාවන් අතර සත්වැනි කලාවට එසමයේ දී ලබා දී තිබුණේ කෙතරම් පහත අගයක් ද යත්, ප්‍රධාන නිළි චරිතය සඳහා පිරිමියෙකු යෙදවීමට චිත්‍රපටයේ අධ්‍යක්ෂක දාදාසාහිබ් ෆල්කේට සිදුවිය. චිත්‍රපට කර්මාන්තයේ නියැලීමම පවා අතික්‍රමණශීලී ක්‍රියාවක්විය.

“ඒ [අතික්‍රමණශීලී] රැල්ල දිගටම පැවතිලා, 1950 ගණන්වල දී වේගය වැඩිකර ගෙන [බෙංගාලයේ සිනෙමා ව්‍යාපාරයක් වූ] සමාන්තර සිනමාව එක්ක 1970 ගණන්වලට පිවිසුනා. අපි සත්‍යජිත් රායිගේ ෆිල්ම්ස් දිහා බැලුවොත්, උදාහරණයක් විදියට, පාතෙර් පංචාලි (මාවතේ ගීතය) හැදුවේ 1955 දී. ම්රිනාල් සේන්, රිත්වික් ඝටක් වගේ ඔහුගේ සමකාලීනයෝ සහ සම්භාවනීය සහෘද කලාකාරයෝ ඒ කාලේ සිද්ධවෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්න කරපු ඉතාම අතික්‍රමණශීලී, දේශපාලනික චිත්‍රපට නිර්මාණය කළා.”

නමුත් දිගු කලක් තිස්සේ ඉන්දීය සිනමාවේ එම ස්වාධීන රැල්ල සොයාගැනීම, විශේෂයෙන්ම ඉන්දියාවෙන් පිටත දී එය සොයාගැනීම දුෂ්කරවිය. ඉන්දියාවෙන් පිටතට ගමන් කළේ, සම්ප්‍රදායික “මසාලා” සූත්‍රය වූ ප්‍රේමය, ගීත හා සතුටුදායක අවසානයන් සහිත ප්‍රධාන ධාරාවේ බොලිවුඩ් චිත්‍රපට පමණි. 1990 ගණන් වන විට, චිත්‍රපට නිෂ්පාදනයේ වියදම ඉහළයෑමත්, බොලිවුඩය වේගයෙන් වැඩෙමින්, විදේශයන්හි ඉන්දීය-නොවන වෙළඳපොළේ ඉඩකඩ අත්පත්කර ගැනීමත් නිසාවෙන් විකල්ප ඉන්දීය සිනමා ව්‍යාපාරය බොහෝදුරට අතුරුදන්විය. ආර්ථික යථාර්ථයන් විසින්, ප්‍රධාන ධාරාවේ හින්දි සිනමාව හැර අන් කිසිවක් නිකුත් කිරීමට ඉන්දියානු ප්‍රදර්ශකයින් තුළවූ ආශාව අඩුකර දැමුණි.

කෙසේ වෙතත්, 21 වැනි සියවසේ ඩිජිටල් තාක්ෂණය හේතුවෙන් චිත්‍රපට නිෂ්පාදනයේ පිරිවැය අඩුවීම හේතුවෙන් පසුගිය වසරවල දී ස්වාධින ඉන්දීය සිනමාව පුනර්ජීවනයක් ලබමින්, ශොනාලි බෝස් හා අනුරාග් කාශ්‍යප් වැනි සිනමාකරුවෝ ප්‍රසිද්ධියට පත්වෙමින් සිටිති. වාරණය ද ලිහිල්වී ඇති හෙයින් සිනමාවට නැගෙන මාතෘකා පුළුල්වී තිබෙන අතර, සිත් කරදර කරවන දේශපාලන ඉතිහාසයන් සහ LGBTQ අයිතීන් වැනි සමාජ ව්‍යාපාරයන් දෙස අවධානය යොමුකරන චිත්‍රපට නිර්මාණය වෙමින් පවතියි. බර්ලින් සහ කෑන්ස් වැනි සිනමා උළෙලවල් මෙම චිත්‍රපටයන්ට ප්‍රේක්ෂකාගාරය සපයයි. ඉන්දියාවේ සත්‍ය පොලිස් දූෂණය මත පදනම්වූබව කියන, නියෝ නොවා සම්ප්‍රදායට අයත් කාශ්‍යප්ගේ නව සිනමා නිර්මාණය වන ‘කෙනඩි’, කෑන්ස් සිනමා උළෙලේ දී සීමා මායිම් හා ගැටෙන සිනමා නිර්මාණයන් සමරන ‘මිඩ්නයිට් සෙක්ෂන්’ අංශය හරහා ප්‍රදර්ශනය කෙරිණි.

ඉන්දීය සිනමාවේ මෙම රැල්ල ලොව පුරාවෙන් පැමිණෙන විචාරක ප්‍රශංසාවන්ට ලක්වීම දැන් දැන් වැඩි වැඩියෙන් සිදුවෙයි. එසේම, එය ප්‍රසිද්ධ බොලිවුඩ් සිනමාවට ද බලපෑමක් ඇතිකරමින්, ඔවුන්ගේ චිත්‍රපට ප්‍රේක්ෂකාගාරයේ රසයට වඩාත් ගැලපෙන ලෙස අනුවර්තනය වන අයුරින්, ඒවා නිර්මලත්වයෙන් අඩු, වඩාත් නිර්භීත විෂයයන් ආවරණය කරන නිර්මාණබවට පත්කරන්නට චිත්‍රාගාරයන්ට සිදුව තිබේ. “මේ නිසා බොලිවුඩ්වල ‘මසාලා’ පන්නයේ නිර්මාණකරුවෝ වඩාත් කාලීන මාතෘකා වඩාත් යථාර්ථවාදී ආකාරයෙන් පෙන්වන තැනට පත්වෙලා ඉන්නවා,”යි පවසන ෂෙඩ්, අනෙක් අතට ස්වාධීන සිනමාවේ යෙදුනු නිර්මාණකරුවන් ද දැන් “වඩාත් විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟාවෙන්න නැටුම්-ගැයුම් වැළඳගනිමින්” සිටිනබව ද පෙන්වා දෙන්නී ය.

ඉන්දීය සිනමාව ආක්‍රමණය කළ බොලිවුඩයට වඩා ඉන්දීය සිනමාවේ අතික්‍රමණශීලී මූලයන් සමග වඩාත් සම්බන්ධ සාරවත්, විවිධත්වයෙන් යුත්, මතවාදීමය සාකච්ඡාවන් ඇති කරන අන්දමේ සමයකට සිනමාව පිවිසෙනු ඇතැ යි අපේක්ෂා ඇති කරන, ඉන්දීය සිනමාව සඳහා උද්යෝගීමත් යුගයකි මේ. ගැස්පා නෝ, ජැක් ස්මිත් හා කෙනත් ඇන්ගර් (මැයි මස දී මියගියේ ය) වැනි සිනමාකරුවන්ගේ මතවාදීමය සාකච්ඡාවන් ඇති කරන, ඇතැම්විට නැරඹීමට ද දුෂ්කර අන්දමේ නිර්මාණ මෙන් මේ චිත්‍රපට ද සමාජය වෙත කැඩපතක් දිගුකරයි. අග්‍රා ද මේ අච්චුවට සරිලන්නකි. බේල් කෙතරම් සාර්ථක අයුරින් අප ගුරුගේ චෛතන්‍යය වෙත ගෙන යන්නේ ද යත්, ඔහුගේ චිත්‍රපටය පිළිකුල් කටයුතු යමකට හැරෙමින්, අපගේ සංඥාවන්ට පහරදෙමින්, අප තුළ අප්‍රසන්න අන්තරංග ප්‍රතික්‍රියාවක් ඇතිකරයි. මුදල් පොළියට දීම ඇතුළත් කිරීම සඳහා චිත්‍රපටයේ කතා වස්තුව පුළුල් කෙරෙන විට ද යථාර්ථය හා ප්‍රබන්ධය අතර වෙනස හඳුනාගැනීම අසීරු වන අතර, මෙය ඇතැමුන්ට දැඩි නොසන්සුන්බවක් ද, තවෙකුන්ට ව්‍යාකූලත්වයක් ද ඇති කිරීමට හැකි ය. නමුත් බේල්ගේ නිර්මාණයේ විශිෂ්ටතම ගුණය නම්, එය ඉන්දියාව තුළ විශාලතම නමුත් අඩුවෙන්ම කතාබහට ලක්වූ විෂයයන් නීරසභාවයකින් තොරව ඉදිරිපත් කිරීමට සමත්වීම යි. තව තවත් ඉන්දීය සිනමා නිර්මාණයන් එතරම්ම කුපිත කරවනසුළු හා කලාත්මක අතින් එඩිතර නිර්මාණයන් වේවා!

උපුටගැනීම BBC

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *