වලිගය කඩා දමන උරග විශේෂ තුනක් ලෝකයට හඳුන්වා දුන් ලාංකික පර්යේෂකයෝ

සතුරාගෙන් ආරක්ෂා වීමට හූනන් විසින් වලිග කඩා දමා පලා යන ආකාරය ඔබ ඇතැම් විට දැක තිබෙනවා හෝ නැතහොත් ආසා තිබෙනවා විය හැකිය.

එහෙත් සර්පයන් විසින් වලිගය කඩා දමනවා යැයි ඔබ ආසා තිබේද? නැතිනම් දැක තිබේද?

ශ්‍රී ලංකාවේ පර්යේෂකයින් පිරිසක් විසින් වලිග කඩා දමන උරග විශේෂ තුනක් ලෝකයට හඳුන්වා දීමට සමත් වී ඇත.

ලංකාවට ආවේණික ටිකිරි දියබරියා, ලංකා දියබරියා මෙන්ම තිත් පොළඟා මෙසේ වලිගය කඩා දමන උරග විශේෂයට අලුතින් එකතු වු බව පර්යේෂණයට දායක වු පරිසරවේදීයෙකු සහ උරග විද්‍යාඥයෙක් වන සමීර සුරංජන් කරුණාරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

“ලංකාවේ පරණ රෙකෝඩ්වල තියෙනවා අහරකුක්කයි, දැති ගෝමරයයි කියන සත්තුත් මෙහෙම වලිගය කඩා දානවා කියලා. අපිට ඒ වගේ සත්තුත් හම්බ වෙලා තියෙනවා වලිග නැති. දැනට අපේ පර්යේෂණවලට අහුවුණේ ටිකිරි දියබරියයි, ලංකා දියබරියයි, තිත් පොළඟයි මෙහෙම නැට්ට කඩා දානවා කියන එක.” යැයි ඔහු කියා සිටියේය.

“ජීවිතාරක්ෂක උපායමාර්ගයක් ලෙස විලෝපිකයෙකුට හසුවූ අවස්ථා වල තම දේහ අංගයක කොටසක් කඩා දමා පලා යාමේ උපක්‍රමය, සත්ව රාජධානියේ ස්වාධීනව පරිණාමය වූ අවස්ථා කිහිපයක්ම, පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් යන දෙකොට්ඨාසය අතරම නිරීක්ෂණය වී ඇත. (උදා.- ක්ෂීරපායන්, සලමන්දරාවන්, සර්පයන් නොවන සිවුපා උරගයන් වැනි පෘෂ්ඨ වංශීන් සහ පසැඟිල්ලන්, කවචයන් වැනි අපෘෂ්ඨ වංශීන්. ) විලෝපිකයෙකු හට ‘හසුවීමට පෙර’ ප්‍රතිචාර වශයෙන් තම දේහ අංගයක් (වලිගය) ස්වේච්ඡාවෙන් වෙන් කර පළා යාමේ හැකියාවද සලමන්දරාවන් සහ සිවුපා උරගයන් අතර නිතර නිරීක්ෂණය වී ඇත.” යනුවෙන් ඔවුන් නිකුත් කළ පර්යේෂණ පත්‍රිකාවේ දක්වා තිබේ.

තිත් පොළඟා ගැන ලෝකය අලුත් කළ ලංකාවේ පර්යේෂණය

ජලය ආශ්‍රීතව හෝ ජලජ ජිවීන් ලෙස දිවි ගෙවන උරගයින් හට ව්‍යාජ වලිග කඩා දැමිමේ හැකියාවක් ඇති බව ලෝකයේ පර්යේෂණ මගින් හෙලිව තිබුණ ද පොළඟා හට එම හැකියාව ඇතැයි ලෝකයට හෙළිදරව් කරන ලද්දේ තම පර්යේෂණ කණ්ඩායම බව උරග විද්‍යාඥ සමීර සුරංජන් පවසයි.

2010 වසරේ පමණ සිට කළ නිරික්ෂණ කැටි කොට නිකුත් කරන ලද පර්යේෂණ පත්‍රිකාව හරහා මේ බව ලෝකයට අනාවරණය කළ බව ඔහු බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

“ගෙවත්තකට ඇවිල්ලා ආරක්ෂාකාරීව මුදාහරින අල්ලන අවස්ථාවක පොළඟාත් මේ විදියට වලිගය කඩලා දැම්මා දියබරියා වගේ ඒ ඇක්ෂන් එකම ගත්තා. අපිත් හරි පුදුම උනා ඒකෙන්. පොළොංඟු කියන්නේ ලෝක පරිණාමයෙන් උඩම ඉන්න සත්තු. කලින් දැනන් හිටියේ නැහැ පොළොංඟු එහෙම කරනවා කියලා දැන් ලෝකයේ පර්යේෂණ සිද්ධ වෙනවා ඒ ගැන තවත් හොයන්න.”

දශක දෙකකට වැඩි කලක් තිස්සේ උරගයන් පිලිබඳව පර්යේෂණ සිදුකරන ඔහු පවා පොළඟුන් මෙසේ වලිගය කඩා දමනවා දැක ඇත්තේ එම අවස්ථාවේදී ය.

උරග විද්‍යාඥයෙකු වන සමීර සුරංජන් පවසන පරිදි තිත් පොළඟා හට මෙසේ තම වලිගය කඩා දැම්මේ හැකියාව පවතින බව ඔවුන්ගේ පර්යේෂණයේ දී හඳුනා ගැනීමට හැකිව තිබේ.

“මේක පොඩි ඇස් ඇරිමක් වගේ. ටිකක් තිගැස්සීමට පත්වෙන කාරණයක් මේක.” යැයි උරග ලෝකයේ නව පිටුවක් පෙරළීමට දායකත්වය දැක් වූ ඔහු සඳහන් කළේය.

“Viperidae” කුලයට අයත් “තිත් පොළඟා” Russell’s Viper (Daboia russelii) ගේ චර්යාවක් තුළින් නිරීක්ෂණය කෙරුණු අතර සෙන්ටිමීටර 120 ක දිගකින් වැඩී සිටි එම සර්පයාගේ ව්‍යාජ වලිග ස්වයංඡේදන චර්යාව සිදුවන්නේ 2015 වසරේ ජූනි මාසයේ දිනක පස්වරු 15.40 ට ශ්‍රී ලංකාවේ නිරිතදිග පහතරට තෙත් කලාපයේ, ගම්පහ දිස්ත්‍රික්කයට අයත්, ගණේමුල්ල, බොල්ලත හිදීය. (මුහුදු මට්ටමේ සිට උස මීටර් 29).”

“මෙසේ ව්‍යාජ වලිග ස්වයංඡේදන චර්යාව දක්වන ලද සියලුම සර්පයන් වැඩිහිටි පිරිමි සතුන් වූ අතර, වලිගයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයක් කඩා දමා තිබූණි, එසේ වලිග කඩා දැමීමෙන් පසු එම සතුන් පැන යාමට උත්සාහ කළ අතර සියලුම නිරීක්ෂණ අදාළ දිනයන්හි සවස් කාලයේදී ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපය ආශ්‍රිතව සිදු විය. නාවලපිටිය- රඹුක්පිටිය ප්‍රදේශයේදී නිරීක්ෂිත “දිය පොළඟා හෙවත් දිය බරියා” Sri Lankan Keelback (Fowlea asperrimus) යන සර්ප විශේෂයේ චර්යාව සහ ගනේමුල්ල- බොල්ලත ප්‍රදේශයේදී නිරීක්ෂිත “තිත් පොළඟා” Russell’s Viper (Daboia russelii) යන සර්ප විශේෂයෙහි චර්යාව, එම සර්ප විශේෂ ද්විත්වයේ “ව්‍යාජ වලිග ස්වයංඡේදනය” චර්යා ස්වභාවය පිළිබඳව හෙළි කරන ලද ලොව ප්‍රථම ලේඛනගත සිද්ධීන් දෙක වේ.” යනුවෙන් පර්යේෂණ පත්‍රිකාවේ තොරතුරුවල සඳහන් කර තිබේ.

වලිගය කඩා දමන්නේ ඇයි?

හූනන් විලෝපිකයාගෙන් බේරි පලා යාමට වලිගය කඩා දැමුව ද උරගයන් එසේ සිදු කරන්නේ ඇයි දැයි මෙතෙක් සහතිකව කිව නොහැකි බව උරග විද්‍යාඥ සමීර සුරංජන් පැවසීය.

ඒ සඳහා තවදුරටත් පර්යේෂණ කරමින් එම රසායනික ක්‍රියාවලිය සොයා බැලිය යුතු බවයි ඔහු පෙන්වා දෙයි.

“වලිගේ කඩා දාලා යන නිසා ආරක්ෂාව නිසා කරනවා ඇති කියලා තමයි අපි හිතන්නේ. මොකද විලෝපිකයා රවට්ටන්න වලිගය දගලනවා ටික වෙලාවක් යනකම්.”

කෙසේ වෙතත් හූනන්ගේ මෙන් උරගයින්ගේ වලිගය නැවත වැවෙන්නේ නැති බවත් සිදුවන්නේ එම තුවාල සුව වීම පමණක් බව මෙම පර්යේෂණයේ දී අනාවරණය කර ගැනීමට සමීර සුරන්ජන් ඇතුළු කණ්ඩායම සමත්ව ඇත.

“වලිගය කඩා දාන්න තරම් මේගොල්ලන්ට තියෙන වාසිය මොකක්ද කියලා තමයි හොයලා බලන්න ඕනේ. හපා කාලා බේරිලා යන්න තිබුණනේ . මොකද වලිගේ කඩලා දානවට වඩා අනිත් පැත්ත හැරිලා හැපුවා නම් ඒ විලෝපිකයා බය වෙනවා එතකොට ටක් ගාලා පැනගන්න පුලුවන්. නමුත් එහෙම නොකර වලිගේ කඩා දාලා ලොකු පාඩුවක් සිද්ධ කරගන්නවා කියෙන්නේ මෙතන ලොකු කතාවක් තියෙන දෙයක්.”

වලිගය කඩා දමන සර්පයන් සම්බන්ධව සමීර සුරන්ජන් පවසන “ලොකු කතාවක්” ඇති දේ දැනගැනීමට තරම් පර්යේෂණ පහසුකම් ලංකාව තුළ නැති බව ද ඔහු පැවසීය.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ උරගයන් ගැන ලෝකයට අලුත් දෑ එකතු කළ පරිසරවේදීයකු සහ උරග විද්‍යාඥයෙක් වන සමීර සුරංජන් සර්පයන් වලිගය කඩා දමා කරගන්නා පාඩුවේ “ලොකු කතාව” සොයා යෑම ලෝකයට බාර කරයි.

“කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ තුනක් පිළිබඳව ඒ විශේෂයන්ට සුවිශේෂී වූ අප මින් පෙර දැන නොසිටි අද්විතීය වලිග ක්‍රියාකාරිත්වයක තොරතුරු විදු ලොවට හෙළිදරව් කිරීමට අපට මෙම නිරීක්ෂණ මත පදනම් වූ අධ්‍යනයෙන් හැකිවිය. ඇතැම් විට මෙම ව්‍යාජ වලිග ස්වයංඡේදන සිදුවීම් අහම්බයන් ද විය හැක. එසේ නොවේ නම් විලෝපික ක්ෂීරපායීන්ගෙන් සහ දඩයමේ යන පක්ෂීන්ගෙන් මඟහැර පලා යෑමට ඔවුන් තුළ නිර්මාණය වූ අනුවර්තනයක්ද විය හැක. මෙම සර්පයන්ගේ ව්‍යාජ වලිග ස්වයංඡේදන (Caudal Pseudoautotomy) චර්යාවෙන් ඔවුන්ට ලැබෙන දිගු කාලීන වාසි තක්සේරු කිරීම සඳහා අනාගතයේදී වැඩිදුර පර්යේෂණ අවශ්‍ය වේ.” පර්යේෂණ පත්‍රිකාවේ තොරතුරුවල තවදුරටත් සඳහන් කර තිබේ.

සමීර සුරන්ජන් කරුණාරත්න, මහේෂ් ද සිල්වා, දුෂාන්ත කණ්ඩම්බි සහ අනුෂ ගයාන් අත්තනගොඩ මෙම පර්යේෂණය සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

උපුටගැනීම BBC

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *