මැඩියා වන්නම: ලයනල් රන්වල නිසා රැකුණු ගැමියන්ගේ විද්‍යා දැනුම ප්‍රකට වන අප්‍රචලිත වන්නමක්

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු ‘වන්නම්’ පිළිබඳව අසා ඇති බවට සැකයක් නැත.

මූලික වශයෙන් වන්නම් ප්‍රභේද තුනක් පිළිබඳව නර්තනය සහ සංගීතය හදාරන්නෝ අධ්‍යයනය කරති.

උඩරට, පහතරට සහ සබරගමුව යන සම්ප්‍රදායන්ට අයත් වන්නම් රැසක් පවතී.

කෙසේ වෙතත්, මෙම ප්‍රභේදවලට අමතරව අප්‍රචලිත වන්නම් සම්ප්‍රදායක් ද පවතින බව ජන සංගීත පර්යේෂකයෙකු වූ ලයනල් රන්වල මීට ටික කලකට ඉහතදී අනාවරණය කළේ, ඔහු විසින් කරන ලද පර්යේෂණවලදී අනාවරණය වූ තොරතුරු මත ය.

ඒ අනුව, රජරට වන්නම් යනුවෙන් අප්‍රචලිත වන්නම් සම්ප්‍රදායක් පැරණි සිංහල සමාජයේ පැවති බව අනාවරණය වී තිබේ.

රජරට වන්නම් 21ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති අතර, එය රජරට ‘එක්විසි වන්නම්’ ලෙස හැඳින්වේ.

රජරට වන්නම් සම්ප්‍රදායේ විශේෂත්වය වන්නේ, ඒවා නර්තනය සඳහා නිර්මාණය කරන ලද ඒවා නොව හුදෙක් ගායනා කිරීම උදෙසා නිර්මාණය කරන ලද ඒවා වීම ය.

මෙම ලිපිය මගින් උත්සහ කෙරෙන්නේ, රජරට වන්නම් සම්ප්‍රදායට අයත් සුවිශේෂී වන්නමක් වන ‘මැඩියා වන්නම’ පිළිබඳව හඳුන්වා දීමට ය.

වන්නම යන්නෙහි අර්ථය වර්ණනාව යන්න ය. ඒ අනුව, මෙම වන්නම මගින් කෙරෙන්නේ, මැඩියන් පිළිබඳ වර්ණනාවකි.

තාම් තීම් තාම් තර්කඃ

තානක්ක නෙයියනේ තා ජෙම්ත්ර තක තානක්ක නෙයියනේ

යාම් ඌම් ඉඳුම් මැද – යාම් ඌම් ඉඳුම් මැද

සබ මැද ඉඳ අද තරග කරනව ද මැඩියා වන්නමෙන් කියම්…

හීන් හීන් පොද/// වරුසා කාලෙට

පුංචි පුංචි ගෙඹි මිත්තන්නේ නද

ක්රීටු ක්රීටු යන // නාදෙන් පවසන්නේ… නළුවනි අහපන්නේ

දෙවනිය මාසේ වරුසා කාලෙට//

දෙවෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද

දෙවෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද

ක්‍රාම් ක්‍රීම් යන… ක්‍රාම් ක්‍රීම් යන… ක්‍රාම් ක්‍රීම්

යන නාදෙන් පවසන්නේ

නළුවනි අහපන්නේ

තුන් වෙනි මාසේ වරුසා කාලෙට//

තුන් වෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද

තුන් වෙනි කොටස ගෙඹි මිත්තන්ගේ නද

ක්‍රගහක ක්‍රගහක ක්‍රගහක ක්‍රගහක

කකු කුං කුං කුං

යන නාදෙන් පවසන්න‍ේ

නළුවනි අහපන්නේ

සිව් වන මාසේ වරුසා කාලෙට//

සිව් වන කොටස ගෙඹි මිත්තන්ගේ නද

සිව් වන කොටස ගෙඹි මිත්තන්ගේ නද

හතර පත නැළියෙන් දෙක දෙක දෙක දෙක

හතර පත නැළියෙන් දෙක දෙක දෙක දෙක

ගොං ගොං ගොං ගොං ගොං ගොං ගොං ගොං

ඥං ඥං ඥං ඥං ඥං ඥං ඥං ඥං

යන නාදෙන් පවසන්න‍ේ

නළුවනි අහපන්නේ

පස් වන මාසේ වරුසා කාලෙට//

අන්තිම නායක මැඩියාගේ නද

අන්තිම නායක මැඩියාගේ නද

ඕක්කු බං බං ඕක්කු බං බං

උජං කුජ ඕර බං බං බං බං බං බං

යන නාදෙන් පවසන්නේ

නළුවනි අහපන්නේ…

මෙම වන්නම් පද මගින් කියැවෙන්නේ, මැඩියාගේ ජීවන චක්‍රය ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය යි. වර්ෂා කාල පහක් පසු කරමින් මැඩියන්ගේ ජීවන චක්‍රය වෙනස් වන ආකාරය මෙන් ම ඔවුන්ගේ හඬ වෙනස් වන ආකාරය ද මෙහිදී විද්‍යාත්මකව පැහැදිලි කෙරේ.

ගැමියන්ගේ විද්‍යාත්මක දැනුම

මෙම වන්නම් ගායනාව අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයෙන් හමු වී තිබිණි.

“ඇත්තට ම මේක සුවිශේෂී නිර්මාණයක්. විද්‍යාවෙන් ගොඩක් දියුණු වෙලා ඉන්න වත්මන් සමාජය බොහෝ විට දන්නේ, ගෙම්බා ‘බක බක’ ගානවා කියන ශබ්දය විතර යි. ඒත්, ගෙම්බා විවිධ අවස්ථාවලට අනුකූලව විවිධ ශබ්ද නගන බව අතීතයේ ගැමියන් අධ්‍යයනය කර තිබූ බව මේ වන්නමෙන් පැහැදිලි වෙනවා. ඒ නිසා මේක මීට සියවස් ගණනකට කලින් ජීවත් වුණ ගැමියන්ගේ විද්‍යාත්මක සහ පාරිසරික දැනුම වටහා ගත හැකි වටිනා නිර්මාණයක්,” මෙම වන්නම් පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ලයනල් රන්වලගේ පුත් රන්වල බළකායේ කළමනාකරණ අධ්‍යක්ෂ සහන් රන්වල බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ඔහුගේ පියා වන ලයනල් රන්වල රජරට ප්‍රදේශයේ ජන සංගීතය පිළිබඳ පර්යේෂණයන්හි නිරත වන අතරතුර මෙම වන්නම් ගායනය පටිගත කරගෙන තිබූ බව ය.

“තාත්තා පටිගත කරගෙන තිබුණ ගායනා අතරින් මේ ගායනය අපට හමුවුණා. ඊට පස්සේ අපි ඒ ගැන අධ්‍යයනය කරලා ඊළඟ පරම්පරාවට ඒ දැනුම් ලබා දෙන්න පියවර ගන්නවා. මේ වගේ අප්‍රචලිත දේවල් සමාජගත කරන එක ඉතා ම වැදගත්,” සහන් රන්වල පැවසීය.

මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළ ප්‍රදීප් මුතුකුඩආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේ, වෑගොල්ලාකඩ කිරිහාමි මොහොට්ටාල නමැත්තෙකු රජරට වන්නම් සම්ප්‍රදායේ ආරම්භකයා ලෙස සැලකෙන බව ය. ඒ පිළිබඳව සී. ද එස්. කුලතිලකගේ ‘වන්නම්’ නමැති කෘතියේ සඳහන් වන බව ඔහු සඳහන් කළේ ය.

“කිරිහාමි මොහොට්ටාල කියන්නේ උඩරට රජතුමාගේ කවිකාර මඩුවේ කවියෙක් කියලයි සැලකෙන්නේ. ඔහු තමයි මේ වන්නම් සම්ප්‍රදාය ආරම්භ කරලා තියෙන්නේ.”

මැඩියා වන්නම සහ මණ්ඩුක වන්නම

ගෙම්බා වර්ණනා කරමින් නිර්මාණය කරන ලද වන්නම් දෙකක් හමු වන බව ප්‍රදීප් මුතුකුඩආරච්චි පවසයි.

ඒ, රජරට වන්නම් සම්ප්‍රදායට අයත් මැඩියා වන්නම සහ සබරගමු සම්ප්‍රදායට අයත් මණ්ඩුක වන්නමයි.

මණ්ඩුක වන්නම නර්තනය සඳහා නිර්මාණය කරන ලද වන්නමකි.

“මණ්ඩුක වන්නම ගායනා කරමින් නර්තනයේ යෙදෙන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. ඒත්, මැඩියා වන්නම නිර්මාණය කරලා තියෙන්නේ, ගායනා කිරීමට පමණ යි. ඒක යම් තාල වාද්‍ය භාණ්ඩයක් වාදනය කරමින් ගායනා කළ නොහැකි එනම් අනාඝාතාත්මක ගායන ශෛලියක් කියලා හඳුන්වනවා,” ප්‍රදීප් මුතුකුඩආරච්චි සඳහන් කළේ ය.

වන්නම් ඉතිහාසය

වන්නම් ඉතිහාසය වර්ෂ 300ක් දක්වා ඈතට දිව යන බව පිළිගැනේ.

මහනුවර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේ, මල්වතු විහාරවාසී භික්ෂූන් වහන්සේ නමකගේ සහය ද ඇතිව, ඉන්දීය අභාසයක් සහිත ගණිතාලංකාර නමැත්තෙකු විසින් වන්නම් ආරම්භ කරන ලද බවට විශ්වාස කෙරේ.

වන්නම් යන වචනය දෙමළ වචනයකින් නිර්මාණය වී ඇති අතර, එහි අර්ථය වර්ණනාව යන්න ය.

මුල් කාලීනව රජතුමා වර්ණනා කිරීම පිණිස මෙම වන්නම් නිර්මාණය වූ අතර පසු කාලීනව එය වෙනස් වූ බව පෙනේ.

උඩරට, පහතරට සහ රජරට සම්ප්‍රදායන්හි විවිධ සතුන් සහ පක්ෂීන් වර්ණනා කිරීම සඳහා වන්නම් නිර්මාණය කරනු ලැබ ඇති අතර, පහතරට සම්ප්‍රදාය අනුව සියලු වන්නම් රචනා කර ඇත්තේ, උපුල්වන් හෙවත් විෂ්ණු දෙවියන් වර්ණනා කිරීම සඳහා ය.

උපුටගැනීම BBC

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *