‘යුක්තිය මෙහෙයුම’: ‘මෙයින් සිදුවන්නේ අපි හැමෝම අනාරක්ෂිත වීමයි’

මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් 17 වැනිදා සිට ආරම්භ කළ යුක්තියේ මෙහෙයුම අද (ජනවාරි 31 වැනිදා) වන විට දින 46ක් පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමේදී දෛනිකව අවම වශයෙන් සැකකරුවන් 700 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරන නිවේදන මගින් පෙනී යයි.

මෙම අපරාධ මැඩලීමේ මෙහෙයුම ආරම්භ වූ කාලසීමාවේ සිට මේ දක්වා වෙඩි තැබිමේ සිද්ධි කිහිපයක්ද වාර්තා විය.

ඉන් එක් වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සමාජය තුළ විශාල කතාබහට ලක්වන සිදුවීමක් විය.

පසුගිය කාල සිමාවේ සිදුවූ වෙඩි තැබීම් ගණන කොපමණද ?

ඉකුත් දෙසැම්බර් මස 17 වැනිදා සිට ජනවාරි මස 30 වැනිදා දක්වා වාර්තා වූ වෙඩි තැබීමේ සිදුවීම් පිළිබඳව බීබීසී සිංහල විසින් සොයා බැලීමක් සිදුකරන ලදී.

එහිදී අනාවරණය වුයේ ගතවූ කාල සීමාව තුළදී වෙඩි තැබීමේ සිදුවීම් 14ක් වාර්තා වී ඇති බවය.

එම වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇත.

‘යුක්තියේ මෙහෙයුම අඩපණ කරන්න හදන උපක්‍රමයක්’

යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කාල සීමාවක පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්ෂණික මාර්ග බාධක ආදිය යොදා ගෙන රටපුරා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති කාල සීමාවක මෙවැනි වෙඩි තැබීම් වන්නේ කෙසේද ?

ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේය.

දිවයිනේ විවිධ ස්ථාන වල සිදුවන වෙඩි තැබීම් ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන මෙහෙයුම ප්‍රයෝජනයක් නොමැති බවට වන පණිවිඩය සමාජ ගත කිරීමට අපරාධකරුවන් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.

“මේ වගේ මෙහෙයුමක් පටන් ගත්තම ඒකට විරුද්ධ කොටසක් ඉන්නවා. ඒක අසාර්ථක කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.”

“මේ වගේ මෙහෙයුමක් අතර වාරයේදී සිදුවන වෙඩි තැබීමේ සිදුවීම් නිසා රටේ මහජනතාවට වුනත් ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන් මේ මෙහෙයුමෙන් වැඩක් තියෙනවද කියලා.”

“අපි මුල ඉදලා කිව්වා මේ මෙහෙයුම අඩපණ කරන්න විවිධ උපක්‍රම යොදා ගනීවි කියලා.”

“ඔවුන් උපරිම බලය යොදනවා මේ මෙහෙයුම අසාර්ථකයි කියලා පෙන්වන්න.අපිට හරියට තොරතුරු ලැබිලා නැහැ. හැබැයි කොතනකදී හරි ඔවුන්ට මේ වැඩේ නවත්වන්න වෙයි.”

“තවම මේ මෙහෙයුමේ ආරම්භයක් විතරයි.”පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මනුෂ්‍ය ඝාතන ඉහළ යාමක්

රටේ තැන තැන සිදුවන වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනයන් හි අසාමාන්‍ය ඉහළ යාමක් ගතවූ දෙවසර තුළ සිදුව ඇතැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේය.

ඔහු සඳහන් කළේ 2022 / 23 යන දෙවසරක කාල සීමාව තුළදී මෙම මනුෂ්‍ය ඝාතන සිදුවීම් 50%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි.

“සෑම වසරකම සාමාන්‍යයෙන් මනුෂ්‍ය ඝාතන 280 – 300ත් අතර සිදුවනවා. “

“නමුත් ගතවුණු 2022 සහ 2023 අතර කාල සීමාවේදී මනුෂ්‍ය ඝාතන වාර්තා වීම 50% කින් විතර ඉහළ ගොස් තිබෙනවා.”

“ඒ සිදුවන මනුෂ්‍ය ඝාතන වර්ගකරලා බැලුවම අප‍ට නිරීක්ෂණය වන දෙයක් තමයි බස්නාහිර සහ දකුණු පළාත තුළ වාර්තාවන මනුෂ්‍ය ඝාතන ඉහළ ගිහින් කියන එක.”

“මේවා සංවිධානත්මක කල්ලි අතර සිදුවන ඝාතන. එතකොට මේ ඝාතන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්.”

“ඒ එම අපරාධ කල්ලි අතර සිදුවන ඝාතන. එහිදී ඒ ඒ කල්ලි අතර තිබෙන බලය පෙන්වන්න ඇතුළු විවිධ විරසකකම් නිසා සිදුවන ඝාතන මේකට අයත් වෙනවා.”

“තවත් සිදුවන මනුෂ්‍ය ඝාතනවල කොටසක් තමයි කාලයක් මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් එක්ක ඉදලා පස්සේ අයින් වුණ සාමාන්‍ය ජනතාව.”

“මේ කියන පිරිස අතර ඉන්නවා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව විවිධ කටයුතු මෙහෙයවන අය. “

“ඇතැම් අය ජාත්‍යන්තර මුහුදට ගිහිල්ලා මත්ද්‍රව්‍ය රැගෙන එන අය. ඔවුන් ඒ ජාවාරම් කණ්ඩායම් වලින් ඉවත් වුනාමත් මේ වගේ ප්‍රහාරයන්ට මුහුණ දෙනවා.”

“දැන් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදු මාර්ගයෙන් රැගෙන එන තැන විදිහට දකුණු පළාත හඳුන්වන්න පුළුවන්. “

“අන්න එතනින් තමයි දකුණේ පාතාලය බිහිවෙන්න පටන් ගත්තේ.” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේය.

රට තුළ අපරාධ ඉහළ යන්න හේතුව කුමක් ද?

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගන්නා මුදල් වලින් රටේ පාතාල කණ්ඩායම් ශක්තිමත් වූ බවත් විශේෂයෙන් එම කණ්ඩායම් අතර මත ගැටුම් ඇතිවීමට බලපෑ ප්‍රධාන කරුණ වුයේද එය බව ප්‍රියන්ත ජයකොඩි පවසයි.

“දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම හිස එසවීමට පෙර ඉදලා රත්ගම විදුර, කොස්ගොඩ නදුන්, හික්කඩුවේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් කියන අය හිටියා.”

“ඔවුන් පස්සේ මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එකතු වුණා. ඔවුන් සම්බන්ධ වුනේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට. මේ කණ්ඩායම් අතර ඇතිවුණු ආරවුල් තමයි දිගින් දිගටම ඔය සමන් පෙරේරාගේ ඝාතනය දක්වාම ඇදිලා යන්නේ.”

“මත්ද්‍රව්‍ය ජාවාරම නිසා විශාල වශයෙන් මුදල් හුවමාරු වෙනවා, තමන්ගේ බලය ස්ථාපිත කර ගන්න උත්සහ දරනවා, වංචනික ක්‍රියාවන් සිදධ වෙනවා ඒවා ඇතුලේ, කප්පම් ගැනීම් සහ විරුද්ධ පාර්ශවය ගැන ඔත්තු ලබාදීම වැනි කරුණු නිසා තමයි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතරේ මෙවැනි ක්‍රියාකාරකම් වැඩි වෙන්න හේතුව වුණේ.”

“දකුණු පළාත තුළ වගේම බස්නාහිර පළාත තුළත් ක්‍රියාත්මක සංවිධාන අපරාධ කණ්ඩායම් සිටිනවා.”

“ඒ නිසා මෙවැනි සංවිධානත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීම සිදුකළ යුතුයි.” විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේය.

‘සංවිධානාත්මක අපරාධ මැඩලීමට හොඳ බුද්ධි අංශයක් අවශ්‍යයි’

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා කටයුතු කිරීම ඉතා සුක්ෂමව සිදුකළ යුතු බව විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

“ලෝකයේ රටවල් තියෙනවා මේ වගේ අපරාධ මැඩලීම් සාර්ථකව සිදුකරන. ඒ ඔවුන්ට හොද ශක්තිමත් බුද්ධි ඒකකයක් ඉන්නවා සංවිධාන අපරාධ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා ගන්න.”

“අපේ රටේ ඇති කරන්න ඕන අන්න ඒ බුද්ධි ජාලය. එහෙම නැතුව මේක කරන්න අමාරුයි.” ඔහු පැවසුවේය.

‘දින වකවානු කියලා අපරාධ කණ්ඩායම් මර්දනය කරන්න බැහැ’

ලෝකයේ කිසිම රටක් තමන්ගේ රට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මැඩලීමට දින කාල වකවානු ප්‍රකාශ කොට මෙහෙයුම් නොකරන බවද විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පෙන්වා දුන්නේය.

“ලෝකයේ කිසිම රටක් කියලා නැහැ 15 වෙනිදට කලින්, 30 වෙනිදට කලින් අපි මේක ඉවර කරනවා කියලා.”

“එහෙම කියලා කරන්නේ ඔක්කොම දේශපාලන ප්‍රතිරූපයක් ගොඩ නගා ගන්නවා වගේ වැඩක් මේ මාධ්‍ය මෙහෙයුමක් එක්ක.හැබැයි ඔය කිසිම දෙයක් නැතිව මේ මෙහෙයුම හරියට කරනවානම් හොදයි.” ඔහු පැවසීය.

‘අපිට ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ වැඩකරන්න බැහැ’

දැනට සිදුකරන යුක්තියේ මෙහෙයුම ගැන ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය හඬනගා තිබෙන බවත් එබැවින් මෙවැනි කටයුතු සිදුකිරීමේදී පුර්ව සුදානමක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය.

“පිලිපීනයේ ජනාධිපතිවරයා වරක් පාතාලය මර්දනය කරන්න කියලා ආරක්ෂක අංශවලට වෙඩි තියන්න බලය දුන්නා. මට මතක විදිහට 5000 කට අධික පිරිසක් එතැනදී මරා දැමුවා.”

“ඒත් අද වෙද්දී පිලිපීනයේ සංවිධාන අපරාධ කණ්ඩායම් මර්දනය වෙලාද? උත්තරය නැහැ.”

“දැනට රටේ කරන මේ මෙහෙයුම ගැන ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හඬ නගනවා.”

“ඒවට සාධාරණ නීති පද්ධති ක්‍රියාත්මක වෙන්න ඕන. ශිලාචාර රටක් විදිහට අපි කටයුතු කරන්න ඕන. අපි ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙමෙයි නේ.”

“මේවා සාර්ථකව පාලනය කරන්න අවශ්‍ය නීති ඉස්සෙල්ලම හදන්න අවශ්‍යයි. ආරක්‍ෂිත බන්ධනාගාර, ඉක්මනින් නඩු විසඳීමේ අධිකරණ ක්‍රියාවලියක්‌ වගේම තියෙන්න ඕන.”

“ඒකේදී නීතිපතිවරයා ඇතුළු අධිකරණය සහ බන්ධනාගාරය සහ පොලිසිය එක්වෙන්න ඕන.”

“පොලිසිය අල්ලගෙන ගිහින් කන්දකාඩු කඳවුර පුරවනවා. මේක කොතැනින්ද නතර වෙන්නේ. නැතුව මේක කොත්තු රොටි ගහනවා වගේ වැඩක් නෙමෙයි.”

“මුලින් යටිතල පහසුකම් හදා ගෙන ඉන්න අවශ්‍යයි. හිරගෙවල් පිරිලා. එහෙන් කියනවා එවන්න එපා කියලා. “

“මත්ද්‍රව්‍ය චෝදනාවට කෙනෙක්ව වැරදිකරුවෙක් කරනවා කියන්නේ සංකීර්ණ අධිකරණ ක්‍රියාවලියක්.ක්ෂණිකව සිදුකරන දේවල් හරහා සාර්ථකත්වයක්‌ අත්කර ගන්න පුලුවන්ද කියන එක ගැටළු සහගතයි.”

“ඒ නිසා නිසියාකර සැලසුමක් ඇතිව වැඩ කරන්න අවශ්‍යයි.”

“ඒ වගේම රටේ අප‍රාධ මැඩලීමට මෙහෙයුම් සිදුකරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් මේවා වළක්ව ගන්න අමාරුයි. හැබැයි කරන්න ඕන නිසි ක්‍රමවේදයකින්. එහෙම නැතිව මාධ්‍ය සංදර්ශන විදිහටවත්, සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කරන්නවත් නෙමෙයි.” විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි වැඩිදුරටත් පැවසුවේය.

‘යුක්තිය මෙහෙයුමේදී ප්‍රමිතීන් බොහොමයක් උල්ලංඝනය වෙමින් පවතින්නේ.’

අපරාධ සහ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මතයන් තිබේදැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් නිතිඥ අම්බිකා සත්කුනනාදන්ගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

එහිදී ඇය සඳහන් කළේ අපරාධ වැළැක්වීම සඳහා මෙහෙයුම් කළ යුතු ආකාරය ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රමිති නොමැති බවයි.

“නමුත් අත්අඩංගුවට ගැනීම් කළ යුතු ආකාරය, මානව හිමිකම් කඩ නොවන බව සහතික කරන්නේ කෙසේද, කුමන ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සාර්ථකද සහ සිරගත කරන පුද්ගලයින්ට සැලකිය යුතු ආකාරය යන්න පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන් තිබෙනවා.”

“යුක්තිය මෙහෙයුමේදී මෙම ප්‍රමිතීන් බොහොමයක් උල්ලංඝනය වෙමින් පවතින්නේ.”

“මෙහිදී මානව හිමිකම් ප්‍රමිතීන් උල්ලංඝනය කිරීමෙන් සිදුවන්නේ ඕනෑම පුරවැසියෙකුගේ අයිතීන් කඩ කිරීම රජයට පහසු කිරීම බව යුක්තිය මෙහෙයුමට සහය දක්වන පිරිස් අවබෝධ කරගත යුතුයි”

“මෙයින් සිදුවන්නේ අපි හැමෝම අනාරක්ෂිත වීමයි.” ඇය පැවසුවාය.

‘ප්‍රධාන වශයෙන් දුප්පත් ජන ප්‍රදේශවල සෝදිසි වරෙන්තු නොමැතිව ගෙයින් ගෙට සෝදිසි කිරීම් සිදු කෙරෙනවා’

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස යුක්තිය මෙහෙයුම දකින්නේ කෙසේදැයි බීබීසී සිංහල කළ විමසීමට ඇය ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“යුක්තිය මෙහෙයුම ආරම්භ වූ දා සිට මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා කිහිපයක් එල්ල වුණා. ඒවා බොහෝමයක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ මගින් මහජනතාවට දැකගත හැකි වුණා.”

“ප්‍රධාන වශයෙන් දුප්පත් ජන ප්‍රදේශවල සෝදිසි වරෙන්තු නොමැතිව ගෙයින් ගෙට සෝදිසි කිරීම් සිදු කෙරෙනවා.”

“මත්ද්‍රව්‍ය සෙවීමට සෝදිසි වරෙන්තු අවශ්‍ය නොවන බව පොලිසිය කියා සිටින නමුත්, ඒ සඳහා අවම වශයෙන් සාධාරණ සැකයක් තිබිය යුතුය.”

“මුළු ජන කොට්ඨාසයක් වසන ප්‍රදේශයක සෑම නිවසක්ම සෝදිසි කරන විට එය සාධාරණ සැකයක් මත පදනම් වූවක් යැයි ප්‍රකාශ කළ නොහැකියි.”

“එහිදී සිදුවන්නේ දරිද්‍රතාවය සාපරාධීකරණයක්. එනම් යමෙකු දුප්පත් නිසා ඔවුන් යම් ප්‍රදේශයක ජීවත් වන නිසා ඔවුන් මත්ද්‍රව්‍ය සමඟ ගනුදෙනු කරනවායැයි උපකල්පනය කිරීමයි.”

“මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මීට මාස ගණනාවකට හෝ වසරකට හෝ දෙකකට පෙර අත්අඩංගුවට ගෙන නිදහස්ව හෝ ඇප මත සිටින පුද්ගලයින් සහ පසුගිය කාලයේ පුනරුත්ථාපනය කිරීමට ගිය පුද්ගලයන්ද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය නොතිබුණද අත්අඩංගුවට ගෙන ඇති බව නීතීඥවරුන් පවසා තිබෙනවා.”

“පුද්ගලයින් 1500කට වැඩි පිරිසක් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානවල අනිවාර්ය මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා යවා තිබෙනවා.”

“ඔවුන්ට එසේ කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති වුවද හමුදාව මෙම මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා.”

“අත්අඩංගුවට ගත් විශාල පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරලා ඉන්නවා. බන්ධනාගාර තදබදය 200% ඉක්මවනවා. මේක ලංකාවේ බන්ධනාගාරවල දැනටමත් භයානක ජීවන තත්ත්වය තවත් නරක අතට හැරීමට අනුබල දීමක්.”

“නීතීඥවරුන්ද පොලිසිය විසින් තමන්ව බිය ගන්වා ඇති බවට වාර්තා කර ඇති අතර, හිමිකම් කඩ කිරීම් පෙන්වා දෙන නීතීඥයින් සහ ක්‍රියාකාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මූල්‍යමය වාසියක් ලබා ගැනීම නිසා පමණක් එසේ කරන බවට අමාත්‍යවරයා පවා චෝදනා කරන අයුරු පවා අපි දුටුවා.”

“යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කුඩා වන අතර එයින් පෙන්නුම් කරන්නේ පොලිසිය ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ කුඩා ප්‍රමාණයේ අලෙවිකරුවන් ඉලක්ක කර ගන්නා බවයි.” ඇය කියා සිටියාය.

‘නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටියට අනුකූලව හැර කිසිවෙකුගේ නිදහස අහිමි නොකළ යුතුය’

“මෙමගින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම කිසි ලෙසකින් වැළැක්විය නොහැක්කේ එය පාලනය කරනු ලබන්නේ බලයේ සිටින පුද්ගලයන් හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමග පවා සම්බන්ධකම් පවත්වන මහා පරිමාණ ජාවාරම්කරුවන්.”

“උදාහරණයක් ලෙස, 2020 දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුම ඔවුන්ගේම මත්ද්‍රව්‍ය ජාවාරම් වළල්ලක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.”

“2020 වසරේ සිට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ නීති විරෝධී ඝාතන 20ක් සහ භාරකාර මරණ 8ක් සිදුවී තිබෙනවා.” ඇය සඳහන් කළාය.

අපරාධ මැඩලීමට සහ සමාජය සුරක්ෂිත කිරීමට නම්, අපරාධවලට මුලික වන මූලික හේතු සොයා බැලිය යුතු බවත් මෙය දරිද්‍රතාවය, වෙනස් කොට සැලකීම, කොන් කිරීම, අසමානතාවය දක්වා විහිදෙන බවද නීතිඥ අම්බිකා සත්කුනනාදන් පෙන්වා දුන්නාය.

“ආර්ථික අර්බුදයේදී අපි දැකලා තියෙනවා මව්පියන් සුපිරි වෙළෙඳසලකින් කිරිපිටි පැකට්ටුවක් සොරකම් කරනවා. අපි අපෙන්ම අසාගත යුතුයි, ඔවුන් එසේ කළේ ඇයි? මේ පුද්ගලයන් සිරගත කිරීමෙන් ඔවුන්ටත් ඔවුන්ගේ, ඔවුන්ගේ බඩගින්නේ ඉන්න දරුවන්ගේ,හෝ සමාජයේ ප්‍රශ්නය විසඳෙයිද?”

“අපි මත්ද්‍රව්‍ය භාවිතය හෝ මත්ද්‍රව්‍ය මත යැපීම උදාහරණයකට ගත්තොත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අපරාධකරුවන් ලෙස නොසැලකිය යුතුයි. එය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුය. ඔවුන් අනිවාර්ය මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා නොයැවිය යුතුය, ඒවා අසාර්ථකයි. “

“නමුත් ප්‍රජා පාදක ස්වේච්ඡාවෙන් වන , සාක්ෂි පදනම් කරගත් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තිබිය යුතුය. ආර්ථික අර්බුදය අතරතුර, මංමුලා සහගතභාවය මිනිසුන් මත්ද්‍රව්‍ය වෙළඳාම වැනි ජීවනෝපායක් උපයා ගැනීමේ සූරාකෑමේ මාර්ගවලට තල්ලු කර තිබෙනවා.”

“එබැවින්, මූල හේතු සොයා නොගෙන, මහා පරිමාණයෙන් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම ප්‍රශ්නය උග්‍ර කිරීම මිස එය විසඳීමට උපකාර වන්නේ නැහැ.” ඇය කියා සිටියාය.

“අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර බැඳීම් සහ ප්‍රමිතීන් පිළිබඳ ඕනෑම පරීක්ෂණයක ආරම්භක ලක්ෂ්‍යය වන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 9 වන වගන්තියයි.”

“පුද්ගලයාගේ නිදහස සහ ආරක්ෂාව සඳහා සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. කිසිවකු අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබා ගැනීමට යටත් නොකළ යුතුය. එවැනි හේතු මත සහ නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියාපටිපාටියට අනුකූලව හැර කිසිවෙකුගේ නිදහස අහිමි නොකළ යුතුය.” යනුවෙන් එහි සඳහන් කර තිබෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

උපුටගැනීම BBC

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *