පිටසක්වළ ජීවය ගැන ප්‍රබල සාධකයක් !

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ ප්‍රබල සාධක පෙන්නුම් කෙරෙන ග්‍රහලෝකයක් සොයාගෙන ඇති බවට තාරකා සහ තාරකා ජීව විද්‍යා සමාජය අතරේ කසුකුසුවක් පැතිර යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ කරුණ සම්බන්ධයෙන් වැඩි මහජන උනන්දුවක් ඇති වී තිබෙන්නේ පසුගිය දිනෙක The Spectator නම් බ්‍රිතාන්‍ය සඟරාව “Have we just discovered aliens?” මැයෙන් පළ කළ ලිපියයි. ඒහි දැක්වෙන පරිදි බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥ Tim Peake නව වසරේ පළමු සතිය තුළ පැවැති CNBC වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක දී විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ “ජේම්ස් වෙබ් දුරේක්ෂය දැනටමත් [පාරභෞමික ජීවයක්] සොයාගෙන තිබෙන්නට ඉඩ තිබෙනවා… සමහරවිට මුළුමනින් ම තහවුරු කරගන්නා තුරු ඒ බව ප්‍රකාශ කරන්න හෝ තහවුරු කරන්න පියවර නො ගන්නවා වෙන්න පුළුවන්. ඒත් ජෛව විද්‍යාත්මක ජීවයක ප්‍රබල ලක්ෂණ පෙන්නුම් කරන ග්‍රහලෝකයක් සොයාගන්න අපට පුළුවන් වෙලා තියෙනවා.” යනුවෙන්.

තාරකා ජෛව විද්‍යාඥයන් අතරත් පිටසක්වළ ජීවය පිළිබඳ උනන්දු මහජනතාවත් අතර කම්පන තරංග යවන්නට සමත් ව ඇති මේ පුවත සම්බන්ධයෙන් ars technica වෙබ් අඩවිය වෙනුවෙන් එහි අභ්‍යවකාශ අංශයේ සංස්කාරක Eric Berger කළ විමසීමක දී වෙබ් දුරේක්ෂයේ පිටස්තර ග්‍රහලෝක පිළිබඳ නියෝජ්‍ය ව්‍යාපෘති විද්‍යාඥ Knicole Colón සඳහන් කර ඇත්තේ පිටස්තර ග්‍රහයෙකු මත පවතින පාරභෞමික ජීවයක් පිළිබඳ නිෂ්චිත සාධක හමු වී නැති බවයි. “යම් පිටස්තර ග්‍රහලෝකයක් මත ජීවයක පැවැත්මේ හැකියාව අඩු ද වැඩි ද යන්න ගැන අදහසක් ලබා ගැනීම සඳහා ජෛවඅත්සනක් (biosignature) විය හැකි ලක්ෂණයක මූලික හඳුනාගැනීමක් සඳහා JWST නිරීක්ෂණ මූලිකත්වය ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පිටස්තර ග්‍රහලොවක් මත ජීවයක පැවැත්ම නිගමනය කිරීම සඳහා ඉන් මතුවට මෙහෙයුම් දියත් විය යුතුයි.” ඇය සඳහන් කර තිබුණා.

මෙහි දී Colón නිෂ්චිත ග්‍රහලෝකයක නමක් සඳහන් නො කළත්, ඇය ඉන් අදහස් කරන්නේ K2-18 b නම් පිටස්තර ග්‍රහලොව විය යුතු බවයි Eric Berger පවසන්නේ. සෞරග්‍රහ මණ්ඩලයෙන් ආලෝක වර්ෂ 120ක් එපිටින් ඇති එය, K2-18 නම් රතු වාමන තරුවක් වටා පරිභ්‍රමණය වන අතර පෘථිවිය මෙන් 8.6 ගුණයක විශාලත්වයකින් යුක්තයි. එය හයිඩ්‍රජන් ගහන වායුගෝලයක් සහිත ජලජ පරිසරයක් ඇති ග්‍රහලොවක් ලෙසයි තාරකා විද්‍යාඥයන් අනුමාන කරන්නේ. හබල් දුරේක්ෂයේ ආධාරයෙන් එය මින් පෙර නිරීක්ෂණය කර තිබුණත් අති නවීන ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් 2022 වසරේ එහි වායුගෝලීය සංයුතිය නිරීක්ෂණය කරීමේ දී ඩයිමෙතිල් සල්ෆයිඩ් (dimethyl sulfide – DMS) අණු ද තිබෙන බව සොයාගෙන තිබුණා. ‘පිටසක්වළ ජීවයක පැවැත්ම පිළිබඳ සාධකයක්’ ලෙස නිල වශයෙන් ප්‍රකාශ වී නැතත්, මේ කටකතාව පැතිර යාමට හේතු වී ඇති සොයාගැනීම එය විය හැකි බව උපකල්පනය කළ හැකියි.

පෘථිවි සාගරය මඟින් ඩයිමෙතිල් සල්ෆයිඩ් විමෝචනය වන්නේ මුහුදේ වෙසෙන ප්ලවාංගවල (phytoplankton) පරිවෘත්තීය ක්‍රියාවන්ගේ ප්‍රතිඵල ලෙසයි. එනම් පෘථිවිය මත දී එම සංයෝගය හට ගන්නේ ජීවයකින් පමණයි. පෘථිවිය හා සසඳා බලන විට පිටස්තර ග්‍රහලෝකයක වායුගෝලයේ ඩයිමෙතිල් සල්ෆයිඩ් හමු වීම පාරභෞමික ජෛවගෝලයක් පිළිබඳ ව මෙතෙක් හමු වී ඇති හොඳ ම සංඥාව විය හැකියි.

මීට මාස කිහිපයකට ඉහත දී පිටසක්වළ ජීවය හා සම්බන්ධ ව විදුසර කළ විමසීමක දී තාරකා ජීවවිද්‍යාඥ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා ද මෙම සොයාගැනීමේ ඇති වැදගත්කම පැහැදිලි කර සිටියා.

කෙසේ නමුත් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතැ යි සැලකෙන, ජේම්ස් වෙබ් සොයාගත් ‘පිටසක්වළ ජෛව අත්සනක් පිළිබඳ ප්‍රබල සාධකය’ මෙම නිරීක්ෂණය ම දැ යි නිෂ්චිත ව පැවසිය නො හැකියි.

විදුසර ඇසුරෙනි..

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *