ගෝලීය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 1.5 සීමාව පසුකිරීමට සැරසෙයි

El Nino in 2015
ඡායාරූප ශීර්ෂ වැකිය,මේ, 2015 වසරේ දී පැසිෆික් සාගරයේ මතුපිටට එල් නිනෝව තාපය ගෙන ආ ආකාරය යි

අධික ලෙස උණුසුම් වෙමින් පවතින අපගේ ලෝකය ඉදිරි වසර කිහිපය තුළ ප්‍රථම වරට ප්‍රධාන උෂ්ණත්ව සීමාවක් පසුකර යාමට ඉඩ ඇතැ යි විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

පර්යේෂකයන් පවසන්නේ, 2023 වසරේ සිට 2027 වසර දක්වා කාලය තුළ සෙල්සියස් අංශක 1.5ක් ලෙස පවතින ගෝලීය උෂ්ණත්ව මට්ටම පසු කර යාමට 66%ක සම්භාවිතාවක් පවතින බව ය.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන වායු විමෝචන සහ මෙම වසර අග දී ඇතිවිය හැකි එල් නිනෝ (El Niño) කාලගුණ රටාව හේතුවෙන් ඊට ඇති ඉඩකඩ ඉහළ යමින් පවතියි. එල් නිනෝ යනු, පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඇති වන ක්‍රියාවලියකි.

ලෝකය එම සීමාව ඉක්මවා ගියහොත් ය යන ඉඩ පිළිබඳව කණස්සල්ල පළ කරන විද්‍යාඥයින්, එය තාවකාලික ඉහළයෑමක් විය හැකි බවට ද අවධාරණය කරයි.

එම මට්ටමට පැමිණීමෙන් අදහස් කරන්නේ, කාර්මීකරණය හේතුවෙන් ෆොසිල ඉන්ධන විමෝචනය සැබවින් ම ඉහළ යාමට පෙර, එනම්, 19 වන සියවසේ දෙවන භාගයේ දී ලෝකයේ පැවති උෂ්ණත්වයට වඩා ලෝකයේ දැන් පවතින සෙල්සියස් අංශක 1.5කින් ඉහළ බව ය.

වසරක කාලයකට හෝ එම සීමාව ඉක්මවා යාම යනු, උණුසුම්වීම ඉහළ යාමක් මිස එහි මන්දගාමීවීමක් නොපෙන්වන කණගාටුදායක සංඥාවකි.

සෙල්සියස් අංශක 1.5 යන අගය ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳව සිදු කෙරෙන සාකච්ඡාවල සංකේතයක් බවට පත්ව ඇත. 2015 වසරේ පැරිස් ගිවිසුම යටතේ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 දක්වා ඉහළ යාම සීමා කිරීමට “ප්‍රයත්නයන් ගැනීමට” රටවල් එකඟ විය.

දශකයක හෝ දෙකක කාලයක් තිස්සේ සෑම වසරක ම සෙල්සියස් අංශක 1.5ට වඩා උෂ්ණත්වය වැඩි වීම හේතුවෙන්, අසාමාන්‍ය ලෙස ඉහළ යන උෂ්ණත්වය දිගු කාලයක් පැවතීම හා වඩා ත් තීව්‍ර සුළි කුණාටු සහ ලැව්ගිනි ඇතිවීම වැනි විශාල බලපෑම් පැමිණිය හැකි ය.

නමුත් ඉදිරි වසර කිහිපයෙන් එකක දී එම මට්ටම පසු කිරීම යනු පැරිස් සීමාව ඉක්මවා යාමක් නොවේ. විද්‍යාඥයන් පවසන්නේ, වායු විමෝචනය තියුණු ලෙස කපා හැරීමෙන් ගෝලීය උණුසුම සීමා කිරීමට තවම ත් කාලය තිබෙන බව ය.

2020 වසරේ සිට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඕනෑ ම වසරක දී ලෝකය සෙල්සියස් අංශක 1.5 මට්ටම ඉක්මවා යා හැකි සම්භාවිතාව පිළිබඳ ඇස්තමේන්තුවක් ලබා දෙමින් සිටියේ ය.

එවකට ඔවුන් අනාවැකි පළ කළේ, ඉදිරි වසර පහ තුළ සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවා යාමේ සම්භාවිතාව 20%කට වඩා අඩු බව ය.

පසුගිය වසර වන විට මෙය 50%ක් දක්වා ඉහළගොස් ඇති අතර, දැන් එය 66%ක් දක්වා ඉහළගොස් තිබේ. විද්‍යාඥයින් පවසන්නේ, එය “නොවීමට වඩා සිදුවීමට වැඩි ඉඩක් ඇති” බව ය.

‘සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩිවීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

මෙම සංඛ්‍යාව ලෝක උෂ්ණත්වය දැක්වීමේ සෘජු මිනුමක් නොව දිගුකාලීන ගෝලීය සාමාන්‍ය අගයට සාපේක්ෂව පෘථිවිය කෙතරම් උණුසුම් වී හෝ සිසිල් වී ඇති ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීමට ඇති දර්ශකයකි.

heatwave
ඡායාරූප ශීර්ෂ වැකිය,මේ වසරේ ඉන්දුනීසියාවේ පැවති උණුසුම් කාලගුණ තත්ත්වයක් මධ්‍යයේ පාසල් දරුවෙකු සිසිල්ව සිටීමට උත්සහ කරන අයුරු

විද්‍යාඥයින් 1850-1900 අතර කාලපරිච්ඡේදයේ පැවති සාමාන්‍ය උෂ්ණත්ව දත්ත භාවිත කරන්නේ, ගල් අඟුරු, තෙල් සහ ගෑස් මත අපගේ නූතන රඳා පැවැත්වමට පෙර ලෝකය කෙතරම් උණුසුම් ව තිබුණේ ද යන්න මැන ගැනීමේ මිනුමක් ලෙස ය.

දශක ගණනාවක් තිස්සේ ඔවුන් විශ්වාස කළේ, ලෝකය සෙල්සියස් අංශක දෙකකින් පමණ උණුසුම් වුවහොත් එය භයානක බලපෑම්වල ඇති වීමේ ආරම්භය වනු ඇති බව ය – නමුත් 2018 වසරේ දී ඔවුන් විසින් මෙම ඇස්තමේන්තුව සැලකිය යුතු ලෙස සංශෝධනය කරන ලද අතර, සෙල්සියස් අංශක 1.5 ඉක්මවා යාම ලෝකයට විපත් ගෙන දෙන බව පෙන්වී ය.

අධික ලෙස උණුසුම් වෙමින් පවතින අපගේ ලෝකයේ උෂ්ණත්වය පසුගිය දශක කිහිපය තුළ ක්‍රමයෙන් ඉහළගොස් ඇති අතර, 2016 වසරේ දී පැවති සෙල්සියස් අංශක 1.28ක ගෝලීය උෂ්ණත්වය, එනම් ඒ වන විට වාර්තා වූ ඉහළ ම උෂ්ණත්වය, පූර්ව-කාර්මීකරණ යුගයේ පැවති අගයට වඩා ඉහළ අගයක් ගත්තේ ය.

දැන් පර්යේෂකයන් පවසන්නේ එම අගය ඉක්මවා යාමට නියමිත බව ය – 2027 වසරට පෙර එම අගය ඉක්මවා යනු ඇතැ යි ඔවුන්ට 98%ක් විශ්වාස ය.

ඔවුන් විශ්වාස කරන්නේ, ඒ අතර වසරවල දී සෙල්සියස් අංශක 1.5 සීමාව පළමු වරට ඉක්මවා යාමට ඉහළ සම්භාවිතාවක් ඇති බව ය.

“ඇත්තට ම අපි දැන් ඉන්නේ වාර්ෂික මධ්‍යන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 තාවකාලිකව ඉක්මවා යා හැකි තැනක. මානව ඉතිහාසයේ අපි මෙතරම් සමීප වුණු පළමු අවස්ථාව ඒක,” ලොව පුරා ඇති කාලගුණ සහ දේශගුණික නියෝජිතායතනවලින් දත්ත එක්රැස් කරන කාලගුණ කාර්යාලයේ ප්‍රධානියෙකු වන මහාචාර්ය ඇඩම් ස්කෙයිෆ් පැවසීය.

Spain heatwave
ඡායාරූප ශීර්ෂ වැකිය,ස්පාඤ්ඤයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන්ගේ කැදලි මෙම වසන්ත සමයේ ඇති වූ දරුණු උණුසුම් කාලගුණ තත්ත්වයෙන් පසුව හටගත් නියඟයෙන් බලපෑමට ලක් විය

“මම හිතන්නේ, ඒක තමයි සමහර විට වාර්තාවෙන් අපට දකින්න ලැබුණු දරුණු ම, පැහැදිලි ම සහ සරල ම සංඛ්‍යාලේඛන ය,” ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

පර්යේෂකයින් අවධාරණය කරන්නේ, පැරිස් ගිවිසුමේ සඳහන් සීමාව ඉක්මවූ බව පැවසීමට වසර 20ක කාලයක් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක හෝ ඊට වැඩි මට්ටමක පැවතිය යුතු බව ය.

“මේ වාර්තාවෙන් අදහස් කරන්නේ, වසර ගණනාවක් පුරාවට දිගුකාලීනව සිදුවන උණුසුම්වීම ගැන සඳහන් පැරිස් ගිවිසුමේ නිශ්චිතව දක්වලා තියෙන සෙල්සියස් අංශක 1.5ක මට්ටම ස්ථිරව ම ඉක්මවා යනවා කියන එක නෙවෙයි,” ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ මහ ලේකම් මහාචාර්ය පෙටෙරි තාලස් පැවසීය.

“කෙසේ වෙතත්, වැඩිවන වේගයත් එක්ක අපි තාවකාලික පදනමක් මත සෙල්සියස් අංශක 1.5 මට්ටම ඉක්මවා යන බවට ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීමක් කරනවා,” ඔහු සඳහන් කළේ ය.

එල් නිනෝ කිනම් ආකාරයේ වෙනසක් ඇති කරයි ද?

මෙහි ප්‍රධාන අංග දෙකක් තිබේ – පළමුවැන්න නම්, වසංගත කාලය තුළ පහත වැටීමක් සිදුවුව ද, මානව ක්‍රියාකාරකම් නිසා කාබන් විමෝචනයවීම අඛණ්ඩව ඉහළ යාම ය.

දෙවන තීරණාත්මක කොටස නම්, ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරන කාලගුණ සංසිද්ධියක් වන එල් නිනෝ හටගැනීමට ඇති හැකියාව ය.

පසුගිය වසර තුනක කාලය තුළ ලෝකය ලා නිනා (La Niña) සංසිද්ධිය අත්විඳින අතර එය දේශගුණික උණුසුම යම් තරමකට අඩු කර ඇත.

https://www.bbc.com/ws/av-embeds/cps/sinhala/world-65668633/p0fhrkht/siවීඩියෝ ශීර්ෂ වැකිය,

එල් නිනෝ: එය ගෝලීය කාලගුණයට බලපාන්නේ කෙසේ ද?

නමුත් එල් නිනෝ පැසිෆික් සාගරයේ මතුපිටට ගෙන එන අමතර උණුසුම ලබන වසරේ ගෝලීය උෂ්ණත්වය නව ඉහළ මට්ටමකට තල්ලු කරනු ඇත.

කෙසේ වෙතත්, මෙම සිදුවීමේ ආරම්භය සහ පරිමාණය පිළිබඳව තව ම ත් අවිනිශ්චිතතාවක් පවතියි.

“මෙම ශීත සෘතුවේ දී වර්ධනය වේවි කියලා අප සිතන එල් නිනෝ ගැන දැන් කරන අපේ අනාවැකි බොහෝමයක් පුළුල් පරාසයක් දක්වා විහිදෙනවා කියලා මතක තබා ගන්න එක වටිනවා,” මහාචාර්ය ස්කෙයිෆ් වාර්තාකරුවන්ට පැවසීය.

“ඒත් ඇත්ත වශයෙන් ම එල් නිනෝහි විශාලත්වය පුරෝකථනය කරන එක හරි, පස් අවුරුදු කාලය තුළ ඒකෙන් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් දේ කවදා වේවි ද කියලා හරි අපිට හරියට ම කියන බෑ. ඒ නිසා ඒක දැන් ඉඳලා තව අවුරුදු තුනකින් හතරකින් සෙල්සියස් අංශක දෙකහමාරක විශාලත්වයක් තියෙන එල් නිනෝ වෙන්න පුළුවන් සහ ඒක තමයි ඒ දේ කරන්නේ.”

ආක්ටික් කලාපය, බොහෝ කලාපවලට වඩා වැඩි මට්ටමක උණුසුමක් අත්විඳිනු ඇති අතර, උතුරු අර්ධගෝලයේ ඇතිවන ඉදිරි ශීත සෘතු පහ තුළ උෂ්ණත්ව විෂමතාව ගෝලීය අගය මෙන් තුන් ගුණයක් විශාල වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. bbc

Recommended For You

About the Author: Lanka Time Line

Leave a Reply

Your email address will not be published. Required fields are marked *