මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක්!

මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීම ඉන්දු – ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක්!

පසුගිය රජය විසින් මත්තල ගුවන්තොටුපළ සැලසුම්කොට ඉදිකරනු ලබන්නේ මූලික වශයෙන් ජාතික උපායමාර්ගික අරමුණු දෙකක් ඉටුකර ගැනීම සඳහා ය. පළමුවැන්න, ලෝකයේ ප්‍රධානතම වරායවල් 10 අතරට ගැනෙන විශාලතම වරායක් වන හම්බන්තොට වරායට සහ ඒ ආශ්‍රිත අයෝජන කලාපයට ගුවන්සේවා සැපයීම ය. දෙවැන්න ඕනෑම රටක මූලික ජාතික අවශ්‍යතාවක් වන දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස භාවිතා කිරීම ය. එම දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව නව ගුවන් මාර්ග රාශියක් ආරම්භ කිරීමේ හැකියාව ද විශේෂ තත්වයකි. ඒ මගින් ගුවන්යානා ගොඩබෑමක් සිදු නොවූව ද ගුවන් මාර්ගයේ ගමන් කරන යානාවලින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිතා කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු ශ්‍රී ලංකාවට ලැබේ. ඒ මගින් ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම නඩත්තු කළ හැක.

දැනටමත් එවැනි නව ගුවන්මාර්ග 07ක් ආරම්භ වී ඇති අතර මත්තලට ඉහළ අහස භාවිතා කරමින් මාසයක් තුළදී ගුවන්යානා 150ක් පමණ පියාසර කරයි. ඒ නව ගුවන් මාර්ග නිසා ඕස්ට්‍රෙිලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩු වේ. එසේම ඒ මගින් හදිසියකදී භාවිතා කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණය අඩුවීම මගින් ද පිරිවැය අඩු වේ. ඒ සියලු වාසිදායක තත්වයන් ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ මත්තල ලෝක සිතියමේ පිහිටා ඇති ස්ථානය නිසා ය. එම පිහිටීම නිසා මත්තල ගුවන්තොටුපළ ගෝලීය මට්ටමින් උපායමාර්ගිකව වැදගත් මර්මස්ථානයක් බවට පත් වේ.

එපමණක් නොව හදිසි අවස්ථාවකදී කටුනායක මඟහැර ගොඩබෑමට ගුවන්තොටුපළක් තිබීම නිසා කටුනායක ගුවන්තොටුපළට ද වැඩි වාසියක් ලැබේ. විශේෂයෙන්ම A380 නම් වූ විශාල ප්‍රමාණයේ ‘එයාර් බස්’ යානා සම්පූර්ණ මගී බර සහ භාණ්ඩ බර සහිතව ගොඩබැස්සවීම සහ ඉහළට එසවීම කළ හැක්කේ මත්තල ගුවන්තොටුපළ යොදා ගනිමිනි. වර්තමාන රජය විසින් මත්තල එම පහසුකම් තිබියදී එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කිරීමට සිදුවූ මුදලින් අඩක් වැයකොට කටුනායක ගුවන් පථය පුළුල් කරනු ලැබීය. මත්තල ගුවන්තොටුපළ අවතක්සේරු කිරීම සඳහා එවැනි වැරදි ආයෝජනයක් සිදු කළ ද සම්පූර්ණ බර සහිතව එම විශාල ගුවන්යානා ආරක්‍ෂිතව කටුනායකට ගොඩබෑමේ ගැටළුවක් පවතියමෙතරම් වටිනා ජාතික සම්පතක් හිස් ගුවන්තොටුපළක් ලෙස හඳුන්වමින් අවතක්සේරු කරන්නේ ඉන්දියාවේ උවමනාවට බව දැන් පැහැදිලි වේ. ඕනෑම රටක පාලකයින් විසින් රටේ ජාතික සම්පත් මුග්ධ ලෙස අවතක්සේරු කොට විකුණා දැමීම සිදු කරන්නේ නම් එය පහත් මනෝභාවයක් ලෙස හැඳින්විය හැක. එම මනෝභාවය වඩා හොඳින් ප්‍රකට වූයේ ගුවන්තොටුපළේ නාම පුවරුවේ සඳහන් නම පිළිබඳව පවතින වෛරය පිරිමසා ගැනීම සඳහා එහි වී ගබඩා කිරීම තුළිනි. එම අධම ක්‍රියාව නිසා මත්තල ගුවන්තොටුපළ සඳහා ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය නැවත ලබාගැනීමට සිදු විය.

මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කරනු ලැබූ සමස්ත මුදල ඩොලර් මිලියන 230ක් බව පැවසේ. එම මුදල එම ජාතික සම්පතට අදාළ උපායමාර්ගික වැදගත්කම අනුව සලකන විට “සොච්චම් ආයෝජනයක්” ලෙස සැලකිය හැක. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියලේ අගය පහත වැටීම නිසා විදේශ ණය ආපසු ගෙවීම සඳහා වසරකට වැයවන අමතර මුදල එම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය වූ මුදල මෙන් දෙගුණයකි. එනම් ආණ්ඩුවේ අකාර්යක්ෂම පාලනය නිවැරදි වූවානම් සතයක් හෝ ණය නොගෙන මත්තල වැනි ගුවන්තොටුපළ දෙකක් වසරක් තුළදී ඉදි කළ හැකි ය.

ණය ගෙවීමට නොහැකි නිසා මත්තල විකුණන බව පැවසීම පට්ටපල් බොරුවක් පමණක් නොව “යාචක ප්‍රකාශයක්’ බව ද කිව යුතු ය. කිසිදු ගැටළුවක් නොමැතිව එම ණය ආපසු ගෙවමින් සිටින්නේ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ආදායම් වලිනි. එම “සොච්චම් ණය” භාණ්ඩාගාරයට බරක් වූයේ නැත. මෙම ගුවන්තොටුපළ සතු උපායමාර්ගික වටිනාකම අනුව ඕනෑම දුබල රජයක් වුව ද එය විදේශ රාජ්‍යයකට පවරා නොදිය යුතුය යන තීරණය ගැනීමට පසුබට නොවනු ඇත. මත්තල විකිණීමේ මනෝභාවය දුබලකම ඉක්මවා යන දේශපාලන යටත්වීමක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.

මෙම ගුවන්තොටුපළ සඳහා දැනට ලබාදී ඇති අක්කර 1600ට අමතරව ඒ සඳහා වෙන්කර තිබූ තවත් අක්කර 24000ක් ද අදාළ ඉන්දියානු සමාගමට ලබාදීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ වී ඇත. ඊට අමතරව තවත් අක්කර 40,000ක පමණ ගුවන්තොටුපළ ආශ්‍රිත භූමිභාගයක් ආරක්‍ෂිත කලාපයක් ලෙස එම සමාගමට වෙන්කර දීමට රජය එකඟතාව පළකොට ඇති බව වාර්තා වේ. මුහුදු වෙරළ දක්වා විහිදෙන එම කලාපයට අදාළ මැනුම් කටයුතු හෙවත් සිතියම් සකස් කිරීමේ කටයුතු ඇමෙරිකානු නාවික හමුදාවේ ගුවන් පින්තුර ආශ්‍රිත තෙරතුරු යොදා ගනිමින් යම් පෞද්ගලික සමාගමක් මගින් සිදු කෙරෙන බවට ද තොරතුරු වාර්තා වේ.

ඉන්දියාවේ හිටපු ආරක්‍ෂක උපදේශක සහ විදේශ ලේකම් ශිවශන්කර් මෙනන්ගේ “ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ඇතුළාන්තය” නැමැති ග්‍රන්ථය අනුව ශ්‍රී ලංකාව යනු ඉන්දියානු වෙරළේ සිට සැතපුම් 14ක් දුරින් නැංගුරම්ලා ඇති ගුවන්යානා රදවන නෞකාවකි. ඒ අනුව දැන් ඉන්දියානු “රෝ” ඔත්තු සේවාව සූදානම් වන්නේ වාණිජ සමාගමක් හරහා එම නෞකාව මිලදී ගැනීමට ය. මත්තල ඉන්දියාවට පවරා දීමේ ගිවිසුම බදු ගිවිසුමක් ලෙස හැඳින්වුව ද එය වසර 99 දක්වා දිගුවක් බැවින් නීතිමය සහ ප්‍රායෝගික තත්වය විකුණා දැමීමකට සමාන වේ.

ඒ අකාරයට චීනයට බදු දී ඇති වරායට කිලෝ මීටර් දෙකහමාරක් දුරින් ඉන්දියානු ඔත්තුසේවා විසින් මෙහෙයවන ගුවන්තොටුපළක් තිබීම තුළින් රටට සිදුවන ආර්ථික පාඩුවට වඩා බරපතළ දේශපාලන සහ යුදමය ගැටළුකාරී තත්වයක් පැනනගින බවට සැකයක් නැත. විශේෂයෙන්ම පසුගිය කාලයේදී ඩොක්ලාම් දේශසීමාව ආශ්‍රීතව චීන සහ ඉන්දියානු හමුදා මුහුණට මුහුණ සිට ගැනීම මගින් ඇති වූ බියකරු තත්වය අනාගතයේදී ශ්‍රී ලංකා භූමියේදී සාමාන්‍ය දෙයක් බවට පත්විය හැක. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, ත්‍රිකුණාමල වරාය, පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය ආශ්‍රීතව ‘පය තබා ගැනීමට’ ඉන්දියාව විසින් ගනු ලබන ප්‍රබල උත්සාහය හමුවේ තත්වය වඩා බරපතළ වනු ඇත.

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළමින් සහ රටේ ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වලට ගොදුරු කරමින් කරනු ලබන මෙම මහා පාවාදීම ඉන්දු – ලංකා ගිවිසුමට වඩා බරපතළ පාවාදීමක් බවට ඉතිහාසය විසින් සටහන් තබනු ඇත. එම දිනය පැමිණෙන තෙක් බලා නොසිට මේ පාවාදීම වැළැක්වීම සඳහා සමස්ත ජාතියම නැගීසිටිය යුතු බව අවධාරණය කරමි.

විමල් වීරවංශ (පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *