16 යේ කණ්ඩායම කොයිබටද? – ප්‍රියන්ජිත් විතාරණ

 

මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා 16 යේ කණ්ඩායමට අපූරු කොන්දේසියක් දැමුවේය.ඒ ඒකාබද්ධ විපක්ෂය හා එකතු වන්නේ නම් ශ්‍රිලනිපය නියෝජනය කරමින් කිසිදු දේශපාලන වගකීමක් නොදැරිය යුතු බවයි.ඒ බව දිනේෂ් ගුණවර්ධන මහතා හරහා ඔවුන්ට දැනුම්දුන් බව මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිනි.එයින් පැහැදිළි වෙන සත්‍ය නම් 16 දෙනාගේ කණ්ඩායම එකවර විශ්වාස කිරීමට මහින්ද රාජපක්ෂ මහතා වුවද මැලි වන බවයි.ඔවුන් වෙත ලබාදී ඇති කොන්දේසියට ඔවුන් හැසිරෙන විදිහ අනුව ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් දැයි පැහැදිළි වනු ඇත.මෙතෙක් ශ්‍රිලනිපය හා ඒකාබද්ධ විපක්ෂය අතර සමගිය සෑදීමේ පාලම වන්නට පැමිණි බව පැවසූ ඔවුන් ශ්‍රිලනිපය අතහැර පළමුව ඒකාබද්ධ විපක්ෂයටත් පසුව පොදුජන පෙරමුණ තුළටත් අවශෝෂණය වීම ස්වේච්චාවෙන් සිදුවේද?එසේ නැතිනම් ශ්‍රිලනිපයේ සමගිය වෙනුවෙන් ස්වාධීන ලෙස පෙනී සිටීවිද?තව නොබෝ දිනකින් ඒ සත්‍යය අපට පසක් වෙනු ඇත.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වූ පසු ඔවුන්ට තිබුනේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ හිද ගනිමින් සිය දේශපාලන පෞරුෂය ගොඩනගා ගැනීමය.ඒ ඒ දේශපාලන අවස්ථා තම අරමුණ වෙනුවෙන් කළමණාකරණය කිරීමයි.නමුත් ඊට වඩා කඩිකුලප්පුවක් ඔවුන්ට වැලදී තිබිනි.ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ ගොඩට පැන ගැනීමට අධික හදිස්සියක් තිබිනි.හදිසි වැඩිවූ විට කොරොස් කටෙත් අත දමා ගැනීමට බැරි බව අප අසා ඇත.ඔවුන් මහින්ද පාර්ශවයට පැනීම වෙනුවෙන් පාවිච්චි කළේ වැරදි උපක්‍රමයකි. කවුරුන් හෝ දුන් දිරච්ච් ලනුවක් ගිල දැමීමකි.

ඔවුන් ඒ සදහා පාවිච්චි කළේ ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ අතර උද්ගත වී ඇති මත ගැටුමයි.එහිදී ඔවුන් එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටිමින් අනෙක් පාර්ශවයට ප්‍රහාර එල්ල කළේය.ඒවා දේශපාලන ප්‍රහාරවලට එහා ගිය පුද්ගලයෙකු ඉලක්ක කරගත් නොහික්මුණු ප්‍රහාරයන් විය.මහින්ද රාජපක්ෂ මහතාද ඒවා පිළිනොගන්නා බව දැන් පැහැදිළිය.ඔවුන්ගේ උපාය වන්නට ඇත්තේ එම පීඩනය මහින්ද රාජපක්ෂ මහතා වෙත එල්ල කරමින් හා ඒකාබද්ධ විපක්ෂයේ එක් කණ්ඩායමක සහයෙන් සිය ප්‍රතිවිරෝධී කණ්ඩායම යටත් කර ගැනීමටය.එය ඔවුන්ගේ උවමනාව මෙන්ම එම උවමනාව නියෝජනය කළ තවත් කණ්ඩායමක්ද ඒකාබද්ධ විපක්ෂය තුළ සිටි.

ඔවුන් ආණ්ඩුවෙන් එළියට බහින විටම ඔවුන් දෑතින් බදා ගැනීමට පිරිසක් පෙරට පැමිණියේය.ඔවුන්ගේ දෙපාර්ශවයේම සටන්පාඨය වූයේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර වීම බව ප්‍රකාශ විය.අනෙක් සටන් පාඨය වූයේ ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කිරීමයි.මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර හෝ මෛත්‍රී,මහින්ද සමගි කිරීමේ යෝජනාව අප සාකච්චා කරන අවදියේ ඊට පයින් ගැසූ සමහරක් නායකයින් අද නැවත තම අසරණකම වෙනුවෙන්ම ඒ සටන කරට ගෙන ඇත.මේ ආණ්ඩුව තුළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම දැන් යල් පැනගිය සටන්පාඨයකි.එසේම මා දන්නා ගණිතයට අනුව නම් 16 යේ කණ්ඩායම පැමිණීමෙන් අහිමිවන තුනෙන් දෙකක්ද නැත.එය මෙම පාර්ලිමේන්තුවේ සංයුතිය ගැන අවබෝධයක් නැති අයෙකුගේ තර්කයකි.

16 යේ කණ්ඩායම සමග දැඩි ප්‍රතිවිරෝධයක් සාදාගෙන ඇත්තේ පොදුජන පෙරමුණය.ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි වලට 16 යේ කණ්ඩායම එකග නැත.ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණට හා එහි ජාතික සංවිධායකවරයාට මාතලේදී දැවැන්ත ප්‍රහාරයක් ඔවුන් විසින් එල්ල කරන ලදී.නමුත් දැන් මහින්ද රාජපක්ෂ මහතා හරහා ඉදිරිපත්ව ඇත්තේද ඊට සමාන කොන්දේසීන්ය.එහිදී ඔවුන් ගන්නා පියවර අනුව අපට තවත් දේශපාලන විග්‍රහයක් කිරීම ඉඩ සැලසෙනවා ඇත.එසේම ඔවුන්ද සිය ඇත්ත අරමුණ කුමක්ද යන්න රටටත් ජනතාවටත් පසක් කර දෙනවා ඇත

ප්‍රියන්ජිත් විතාරණ1511324145_4382164_hirunews_Priyanjith-witharana

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *