සමාජවාදය, සමාජ ප්‍රතිසංස්කරණ සහ ලාංකීය ග්‍රාමීය වාමාංශය

මේ ලිපිය ලියැවෙන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය පසුබිම් කොටගෙන මා මිත්‍ර ලියනගේ අමරකීර්ති සහ අප අතර ඇතිවූ සංවාදයකදී ඔහු මතු කළ වැදගත් ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ලෙසය. එම සංවාදය සිදු වූයේ සමාජ මාධ්‍යය අවකාශයකදී වුවත් ඔහුගේ ප්‍රශ්නය බරපතලව භාරගෙන එයට මුද්‍රිත මාධ්‍යයක් ඔස්සේ ප්‍රතිචාර දක්වන බවට මම පොරොන්දු වූයෙමි. මගේ පොරොන්දුව ඉටු කරන්නට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් සමාව අයැද සිටිමි.
අමරකීර්ති මතු කළ ප්‍රශ්නය වූයේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් නියෝජනය වන සමාජ බලවේගයත් නාගරික වාම-ලිබරල්වාදී යැයි හඳුනාගත හැකි බුද්ධිමය ශ්‍රේණීනුත් අතර සම්බන්ධයක් ගොඩ නොනැගෙන්නේ මන්ද යන්නයි. (මේ ඔහුගේ ප්‍රශ්නය මා අර්ථකථනය කරගත් ආකාරය බැවින් ඔහුට අවශ්‍ය නම් මා නිවැරදි කළ හැකිය). මෙය ලංකාවේ සමකාලීන දේශපාලන ක්‍රියාවලිය වටහා ගැනීම සඳහා කේන්ද්‍රීය පර්යේෂණ ක්ෂේත්‍රයක් විවෘත කරන ඉතාම වැදගත් ප්‍රශ්නයක් බව මගේ අදහසයි.
අමරකීර්ති මේ ප්‍රශ්නය මතු කරන දේශපාලන සංධර්භය නම් ඔහු ඇතුළු බුද්ධිමතුන් පිරිසක් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ව්‍යාපාරයට සක්‍රීයව සම්බන්ධව සිටීමයි. මැතිවරණයට දින කිහිපයක් තිබියදී ලංකාවේ ස්ත්‍රීන් මත්පැන්හල් තුළ සේවය කිරීමත් මත්පැන් මිළදී ගැනීමත් නීතියෙන් තහනම් කිරීම අරභයා යම් සමාජ සංවාදයක් ඇතිවිය. එහිදී ජවිපෙ කාන්තා අංශයේ නායිකාවක වන සමන්මලී ගුණසිංහ සහ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් ඉදිරිපත් කෙරුණු ඇතැම් ප්‍රකාශවල අඩංගු දක්ෂිණාංශික, ගතානුගතිකවාදී සහ පීතෘමූලිකවාදී යැයිද කිව හැකි ඇඟවීම් ලිංගික සමානත්වය පිළිබඳව උනන්දු ප්‍රගතිශීලී පිරිස්වල විරෝධයට ලක් විය. ජවිපෙට සහාය දක්වමින් සිටි බහුතරයක් වාම-ලිබරල් බුද්ධිමතුන් එම ප්‍රශ්නය අළලා ජවිපෙන් ප්‍රකාශිත ස්ථාවරය ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට ඉදිරිපත් වූයේ නැත. එය තමන් සහාය දක්වමින් සිටින මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට බාධාකාරී විය හැකි යැයි ඇතැම්විට ඔවුන් කල්පනා කළා වන්නට පුළුවන.
නමුත් අප ඇතැමෙකුගේ තර්කය වූයේ මැතිවරණ සමයේදී ‘දෘෂ්ටිවාදී අරගලයට නිවාඩු දීම’ දේශපාලන වගකීම් විරහිතභාවයක් බවයි. මැතිවරණ යනු අධිපති දෘෂ්ටිවාදය තම බල සම්පන්නභාවය ප්‍රදර්ශණය කරන සහ තම බලපෑමේ හැකියාව පුනරුද්දීපනය කරගන්නා කාල වකවානුවකි. එබැවින්, අන්තොනියෝ ග්‍රාම්ස්චිගේ යෙදුමක් පුනරුච්ජාරණය කොට කියන්නේ නම් ”යුද සංග්‍රාමයකදී පහරදිය යුත්තේ සතුරාගේ දුර්වලම තැනට වුවත්, දෘෂ්ටිවාදී අරගලයේදී ප්‍රතිවාදියාගේ ශක්තිමත්ම තැනට ප්‍රහාර එල්ල කළ යුතුය” යන්න අපගේ ස්ථාවරය විය. ඇතැම්විට ජවිපෙ-හිතවාදී බුද්ධිමය කණ්ඩායම් ඉහත කාරණයේදී තම විවේචනාත්මක ස්ථාවරයන් තියුණු ලෙස ඉදිරිපත් කළේ නම්, ජවිපෙ නායකත්වයට ඒ පිළිබඳව බරපතලව කල්පනා කොට ලිංගික සමානත්වය සම්බන්ධයෙන් වන තම ආචීර්ණ කල්පිත ස්ථාවරයන් වෙනස් කර ගන්නට යම් බලපෑමක් එල්ල වන්නට ඉඩ තිබිණ. නමුත් එම බුද්ධිමතුන් ජවිපෙ මැතිවරණ වේදිකාවේ සංකේතාත්මකව පෙනී සිටියා විනා අඩු තරමින් ජවිපෙහි බලපෑම් කණ්ඩායමක් බවට තමන්ව පරිවර්තනය කර ගන්නට පවා අසමත් වූ බව අපගේ නිරීක්ෂණය විය. මෙසේ තමන් සහාය දක්වන පක්ෂ සම්බන්ධයෙන් (විශේෂයෙන්ම මැතිවරණ සමයේදී) විවේචනාත්මක ස්ථාවරයක් නොගැනීම වත්මන් ඇතැම් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ, බුද්ධිමතුන්ගේ සහ කලාකරුවන්ගේ දේශපාලන වගකීම් විරහිතභාවයේ එක් පැතිකඩක් පමණි. ඔවුන් දැන් පුරුද්දක් ලෙස ඉදිරි මැතිවරණයේදී ජන්දය දිය යුත්තේ කා හටදැයි ජනතාවට දැනුම්දීම් කරති. නමුත් ඒ කවර හෙයින්දැයි පැහැදිලි කරන කිසිදු ප්‍රකාශණයක් හෝ විග්‍රහයක් ඉදිරිපත් නොකරති. එපමණක් නොවේ; තමන් සහාය දක්වන පක්ෂයේ හෝ අපේක්ෂකයාගේ ඉදිරි ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් තමන්ට කිසිසේත් වග කිව නොහැකි බවද ඇතැම්විට ගරු ගාම්භීර ලෙස ප්‍රකාශයට පත් කරති! වත්මන් දේශපාලන ක්‍රමය අරක්ගත් දූෂණය තරමටම මේ බුද්ධිමතුන්ගේ වගකීම් විරහිත දේශපාලන චර්යාව භයානක නොවේද? දේශපාලකයන් අඩු තරමින් තම ජන්දදායකයන් හට වගවීමට ක්‍රියා පටිපාටිමය ලෙස බැඳී සිටී. ඔවුනට සහාය දක්වන බුද්ධිමතුන් වග වන්නේ කා හටද?
මා ඉහත අදහස් ගෙන හැර පෑවේ අමරකීර්තිට විවේචනයක් ලෙස නොවේ. ඒ වෙනුවට ඔහුව අගයනු පිණිසය. මන්දයත් ජවිපෙට සහය දක්වන බුද්ධිමතුන් සහ කලාකරුවන් අතුරින් ස්ත්‍රී සමානත්වය අරභයා ජවිපෙන් ප්‍රකාශිත ස්ථාවරයට ප්‍රසිද්ධියේ නොඑකඟතාව පළ කරන්නට සමත් වූයේ ඔහු පමණි. ඔහු අපෙන් විමසා ඇති ප්‍රශ්නය මගින්ද හැඟවෙන්නේ තමන් සහාය දක්වන දේශපාලන ව්‍යාපාරය අභ්‍යන්තරිකව ප්‍රතිසංස්කරණය කිරීමේ වුවමනාවක් ඔහුට ඇති බවය. අමරකීර්තිගේ ප්‍රශ්නය වඩා ගැඹුරින් විමසා බැලීම පිණිස ඒ හා අදාල කළ හැකි වෙනත් ප්‍රශ්නයකින් මගේ ප්‍රතිචාරය ආරම්භ කරන්නට මම කැමතිය. එනම් ජනතා විමුක්ති පෙරමුණෙන් සහ යම් දුරකට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් නියෝජනය වන දේශපාලන ධාරාව ආර්ථිකමය පංතීන් පිලිබඳ ගැටළුවේදී සමානාත්මතාව වෙනුවෙන් අරගල කරන අතරම ජනවාර්ගික ගැටළුව, කුළ ක්‍රමය, ආගමික දෘෂ්ටිවාදය, පීතෘමූලිකත්වය, සංස්කෘතික නිදහස යනාදී සෙසු ගැටළුවලදී බොහෝ විට ගතානුගතික ස්ථාවරයන් දරන්නේ මන්ද යන ප්‍රශ්නයයි. වෙනත් ලෙසකට අසන්නේ නම් සමාජවාදය අරමුණු කොටගත් එම දේශපාලන ධාරාව විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් බවට තමන්ව පරිවර්තනය කරගන්නට අසමත් වූයේ මන්ද?
වාමාංශය සහ ඓන්ද්‍රීය බුද්ධිමතුන්
මේ ප්‍රශ්නයට ඓතිහාසික විශ්ලේෂණයක් ඔස්සේ ප්‍රවේශ වන්නට මම යෝජනා කරමි. මෙම ප්‍රශ්නය ලංකාවේ වාමාංශික දේශපාලනයට පොදුවේ සහ සෑම කල්හිම අදාල කළ නොහැකි බව එවිට පෙනී යනු ඇත. විශේෂයෙන්ම 1960 දශකයේ අග භාගය දක්වාම දේශපාලනිකව අතිශය ප්‍රබල තත්ත්වයක සිටි ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ජනවාර්ගික අසමානතාව, කුළ පීඩනය හා සාම්ප්‍රදායික සමාජයේ ධූරාවලීගත සම්බන්ධතාවන්ට එරෙහි ඉදිරිගාමී ප්‍රකාශකයින් සහ සංවිධායකයින්ව සිටියහ. එකල නාගරික සංස්කෘතික නිදහසේ සංකේතය වූයේ එන්.එම් මිස ජේ.ආර් නොවේ. එම මුල් පරම්පරාවේ වාමාංශික නායකත්වය සමන්විත වූයේ නාගරික ප්‍රබුද්ධ බුද්ධිමය ශ්‍රේණියකින්ය. කුමාරි ජයවර්ධන වැනි වාම බුද්ධිමතුන් පෙන්වා දී ඇති පරිදි 1960 දශකයේ මැදභාගය වනවිට පැරණි පරම්පරාවේ වාමාංශය එකල සමාජයේ අධිපති දෘෂ්ටිවාදය ලෙස තහවුරු වෙමින් පැවති ජනවාර්ගික ජාතිකවාදයට ක්‍රම ක්‍රමයෙන් අනුගත වෙමින් සිටි බව සැබෑය.
1956දී  සිංහල සහ දෙමළ භාෂා දෙකටම රාජ්‍යයේ සම පිළිගැනීමක් (එනම් ස්වභාෂා) ප්‍රතිපත්තිය වෙනුවෙන් තිරසරව පෙනී සිටි වාමාංශය 1960 දශකයේදී ඩඩ්ලි-චෙල්වනායකම් ගිවිසුමට එරෙහිව (“ඩඩ්ලිගේ බඩේ මසල වඩේ” යැයි කියමින්) පෙළපාලි ගිය බවද සැබෑය. නමුත් අද ප්‍රශ්නයට තුඩු දී ඇති ‘ග්‍රාමීය වාමාංශය’ ලෙස හැඳින්විය හැකි දෙවන පරම්පරාවේ වාමාංශය නිර්මාණය වූයේ මුල් පරම්පරාවේ වාමාංශයේ දෘෂ්ටිවාදී අපගමනයක් නිසාම නොවේ. ඔවුන්ද අවධාරණාත්මකව සිහිපත් කරන්නට රුචියක් දක්වන 1964 ‘පැරණි වමේ’ මැතිවරණවාදී දේශපාලන සභාගවාදය නිසාය. සම සමාජය සහ කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම ඒ වනවිට රැඩිකල්කරණය වෙමින් සිටි තරුණ සමාජවාදීන් තුළ ඇති කළේ විස්සෝප සහගත මානසිකත්වයකි. සාන්තසීලන් කදිර්ගාමර් පසුකාලීනව අවලෝකනය කළ පරිදි 1964 වමේ හැරවුම විසින් ඒ වනවිට රැඩිකල්කරණය වෙමින් සිටි සමාජ බලවේග දෙකක් වාම නායකත්වයෙන් වියෝ කෙරිණ. එකක් නම් ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ ජනවාර්ගික ජාතිකවාදී නැඹුරුව කෙරෙහි කළකිරෙමින් සිටි උතුරේ තරුණ බලවේගයයි; අනෙක ආර්ථිකමය පීඩනය හමුවේ රැඩිකල්කරණය වෙමින් සිටි දකුණේ තරුණ බලවේගයයි (බලන්න, Pathways of the Left in Sri Lanka, 2014:1-22). ඉන්පසුව සිදු වූයේ කුමක්ද? උතුරේ වමෙන් ගිලිහුණු තරුණ බලවේගය දෙමළ ජාතිකවාදයේ වඩාත් අන්තවාදී නායකත්වයන් අතට ක්‍රම ක්‍රමයෙන් මාරු විය. දකුණේ ග්‍රාමීය තරුණ ප්‍රජාවේ දේශපාලන නායකත්වයක් ලෙස ජවිපෙ මතු වූයේ එතෙක් කලක් වමේ දේශපාලනයේ පැවති විශිෂ්ට උරුමයක් වූ ජනවාර්ගික පීඩනයට එරෙහි වීමේ ස්ථාවරය තීරණාත්මක ලෙස අත් හරිමින්ය. උතුර-දකුණ අතර වමෙන් ඉදිව තිබූ ඓතිහාසික පාළම බිඳ වැටිණ. යළිත් කෙදිනකවත් එය පිළිසකර කළ නොහැකි විය.
ඉන්පසුව අද විවාදයට බඳුන්ව ඇති දකුණේ ‘ග්‍රාමීය වාමාංශය’ ගමන් කළේ පළමු පරම්පරාවේ වමට වඩා වෙනස් මගකය. එම වෙනස පැන නගින ප්‍රධාන සාධකයක් නම් එය පදනම් වූ සමාජ බලවේගයේ වෙනසයි. නාගරික කම්කරු පංතිය වෙනුවට ග්‍රාමීය අතරමැද සමාජ ශ්‍රේණීන් තුළින් පැන නගින තරුණ ප්‍රජාව ජවිපෙහි ප්‍රධාන බලවේගය බවට පත්විය. මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ තරුණ නායකයා ලෙස ගම් දනව් පුරා සැරි සැරූ විජේවීර ග්‍රාමීය තරුණ ජනයා අතර මෝදු වෙමින් පැවති අසංතෘප්තිය දේශපාලනිකව සංවිධානය කළ හැකි වීමේ විභවය හඳුනා ගත්තේය. මේ තත්ත්වය තේරුම් කළ යුත්තේ ලංකාවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයක් කරන්නට ධනපති පාලනය ඓතිහාසිකව අසමත් වී තිබීමේ පසුබිම තුළය. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයේ අසමත්භාවය යනු ගොවි ජන ප්‍රජාව දේශපාලනීකරණය කරන්නටත් එනයින් ඔවුන් ජාතික දේශපාලන ජීවිතයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසින් සහභාගී කරගන්නටත් අසමත් වීමයි. ජවිපෙ මුල් පරම්පරාවේ වාමාංශයට එල්ල කළ එක් විවේචනයක් වූයේ ඔවුන්ද තම මෝටර් රථ රැගෙන යා හැකි දුරට ඔබ්බෙන් දේශපාලනය රැගෙන යන්නට අසමත් වූ බවයි. ඊට වෙනස්ව, විජේවීර පිටිසර ගම් දනව්වල සැරි සරා කුප්පි ලාම්පු එළියෙන් මාක්ස්ගේ සහ ලෙනින්ගේ පොත් කියවන පරම්පරාවක් බිහි කරන්නට සමත් විය.
නමුත් ඔහුගේ ව්‍යාපාරය විසින් සංවිධානය කෙරුණේ ගොවි ජන ප්‍රජාව නොව (මහාචාර්ය ජයදේව උයන්ගොඩ ස්වකීය දේශපාලන අතීතය ගැන ප්‍රත්‍යාවලෝකනයක යෙදෙමින් විශිෂ්ට ලෙස විග්‍රහ කොට ඇති පරිදි) ග්‍රාමීය සමාජය තුළින් පැන නැගුණු අතරමැදි සමාජ පංති ස්ථරයකි. එක් අතකින් නවීකරණයට පත් නොවන සුලු ඉඩම් හිමි ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකය ඔවුන්ව අවශෝෂණය කර ගන්නට සමත් වූයේ නැත. අනෙක් අතින් ඔවුන්ව අවශෝෂණය කරගන්නට සමත් ප්‍රසාරණය වන නාගරික ආර්ථිකයක් පැවතියේද නැත. එසේ වුවත්, මෙම සමාජ ශ්‍රේණියට අයත් තරුණ තරුණියන් ලංකාවේ ඌණ සංවර්ධිත පර්යායක් තුළ වුවත් ක්‍රියාත්මක වූ නිදහස් අධ්‍යාපන යාන්ත්‍රණය තුළට ඇතුලත් කරගත හැකි විය. ජවිපෙ විසින් දේශපාලනිකව සංවිධානය කෙරුණේ සහ රැඩිකල්කරණය කෙරුණේ මෙම තරුණ කණ්ඩායම්ය.
නමුත්, මෙම ග්‍රාමීය ප්‍රභවයක් ඇති සමාජ බලවේගයේ ඊනියා ආවේණික දෘෂ්ටිවාදයන් වෙත ජවිපෙ අනුගත වූවා යැයි පැවසීම තත්ත්වය අතිසරල කිරීමකි. ජන සමාජයේ දෘෂ්ටිවාදයන් හැඩ ගැස්වීම සඳහා දේශපාලන ඒජන්තයන් විසින් ඉටු කෙරෙන සක්‍රීය සහ නිර්මාණශීලී කාර්යය නොතකා හරින්නේ නම් අප රැඩිකල් දේශපාලනයක් පිළිබඳව කතා කිරීම නිරර්ථක වනු ඇත. අපට ආසන්න ඉන්දියාවේ සහ නේපාලයේ කොමියුනිස්ට්වාදී සහ මාවෝවාදී ව්‍යාපාර ග්‍රාමීය ගොවිජන ප්‍රජාවන් අතර වැඩ කරමින් එම ප්‍රජාවන් තුළ ස්ථාපිතව ඇති ගතානුගතික ධූරාවලීගත ව්‍යුහයන් රැඩිකල් ලෙස පරිවර්තනය කිරීමේ කදිම නිදර්ශක සපයයි. නමුත්, ජවිපෙ මෙතෙක් ලංකාවේ කිසිදු විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණයකට නායකත්වය දීමට සමත්ව නැත. එපමණක් නොව, එය ඇතැම්විට සමාජ ගතානුගතිකත්වයේ ප්‍රමුඛතම ප්‍රකාශකයෙකු බවටද පත් වේ. විවාදයට තුඩු දී ඇති සමාජ ලිංගික සමානත්වය පිලිබඳ ජවිපෙ නායකයන්ගේ ප්‍රකාශ මගින්ද ප්‍රතීයමාන වන්නේ එයයි.
බුද්ධිමය සහ සදාචාර නායකත්වය
මේ තත්ත්වය තේරුම් කිරීම පිණිස අන්තොනියෝ ග්‍රාම්ස්චිගේ බුද්ධිමය සහ සදාචාර නායකත්වය පිලිබඳ සංකල්පය අදාල කළ හැකි යැයි මම යෝජනා කරන්නට කැමැත්තෙමි. ග්‍රාම්ස්චි දේශපාලනය තුළ බුද්ධිමතුන්ගේ කාර්යය ඉමහත් සේ අවධාරණය කළේය. ඒ බුද්ධිමතුන් පිලිබඳ ශාස්ත්‍රාලීය අර්ථකතනයක් අනුව නොව සමාජයේ දෘෂ්ටිවාදීමය හැඩ ගැසීමට දායක වන සියල්ලන් බුද්ධිමතුන් ලෙස සලකන පුළුල් අර්ථකතනයක් අනුවය. ඔහුට අනුව යම් සමාජ පංතියක දැක්ම සමස්ත සමාජයේ පොදු ලෝක දැක්ම බවට පරිවර්තනය කරන්නේ එම පංතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසින්ය. ඇතැම් විට ස්වකීය දැක්මක් ගොඩ නගා ගන්නට යම් සමාජ පංතියක් හෝ කණ්ඩායමක් අසමත් වනවිට එය වෙනත් පංතියක දැක්ම ණයට ගනී. එනයින් දෘෂ්ටිවාදීමය ආධිපත්‍යයට ලක් වේ. ජවිපෙ පෙර පරම්පරාවේ වාමාංශයේ බුද්ධිමය නායකත්වයෙන් වියෝ වූ බව මම මින් පෙර සඳහන් කළෙමි. එසේනම්, ඒ වෙනුවට ජවිපෙ දැක්ම හැඩ ගස්වන්නට දායක වූයේ කව්රුන්ද?
මෙය තේරුම් ගැනීම සඳහා නිදහසින් පසු ලංකාවේ අධිපති දෘෂ්ටිවාදී සැකැස්ම වෙත අවධානය යොමු කළ යුතුය. නිදහසින් පසු ලංකාවේ බුද්ධිමය සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ අධිපති සමාජ ස්තරය ගොඩ නගන ලද්දේ බල සම්පන්න රාජ්‍යය යාන්ත්‍රණයක් විසින් යැයි මම යෝජනා කරමි. ඒ අන් කිසිවක් නොව සාමාන්‍යයෙන් නිදහස් අධ්‍යාපනය ලෙස හඳුන්වනු ලබන රාජ්‍යය-කේන්ද්‍රීය අධ්‍යාපන යාන්ත්‍රණයයි. රටේ සෑම නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශයකින්ම බහු විධ පංති හා සමාජ කණ්ඩායම් ඇතුලත් කර ගන්නට මෙම යාන්ත්‍රණය සමත්ය. මෙරට රාජ්‍ය පරිපාලන තන්ත්‍රය, කලා සහ සංස්කෘතික ආයතන හා ජනමාධ්‍ය ඇතුළු දෘෂ්ටිවාදී උපකරණවල ආධිපත්‍ය හිමි කරගෙන ඇත්තේ මෙම නිදහස් අධ්‍යාපනයෙන් නිර්මාණය කරන ලද බුද්ධිමතුන් විසිනි. ලාංකීය සමාජයේ බුද්ධිමය තලයේ ඉතාම බල සම්පන්න ස්ථරයක් වන පාසැල් ගුරුවරුන් සහ රාජ්‍ය අංශයේ ලිපිකාර ශ්‍රේණීන් බිහි වන්නේ එතුළින්ය. කාරණය නම් මෙම අධ්‍යාපන රාජ්‍ය යාන්ත්‍රණය මගින් පුනර්-නිෂ්පාදනය කෙරෙන දෘෂ්ටිවාදය අතිශය ගතානුගතික ගති ලක්ෂණවලින් යුක්ත වූවක් වීමයි.
ඒ මන්ද? ග්‍රාම්ස්චි ඉතාලියට අදාලව පැවසූ පරිදි ලංකාවේද අගනාගරික නවීකාරක ජාතිකවාදී දෘෂ්ටිවාදයක් වටා සමාජය සංවිධානය කරන්නට මෙරට පාලක පංතිය ඓතිහාසිකව අසමත් වී තිබූ බැවිනි. විප්ලවීය ප්‍රංශයේ ග්‍රාමීය ගොවිජන ප්‍රජාව දේශපාලනිකව සක්‍රීය කොට එය පැරිස් නගරයේ දෘෂ්ටිවාදීමය ආධිපත්‍යය යටතට ගන්නට ජැකොබින් ව්‍යාපාරය සමත් විණි යැයි ග්‍රාම්ස්චි පවසයි. ලංකාවේ ප්‍රභූ-ධනපති පංතියට ජැකොබින් ව්‍යාපාරයක් තබා ගැරිබෝල්ඩිගේ සදෘශ්‍යයක් හෝ නොතිබිණ. එහෙයින් උපමා රූපිකව නගරය ‘ගමට’ යටත් විය. නමුත් මෙම ‘ගම’ද නගර-කේන්ද්‍රීය දෘෂ්ටිවාදී උපකරණ විසින් ගොඩ නංවන ලද පරිකල්පිත ගමක් බව සැලකිය යුතුය. වත්මන් ගතානුගතික සහ අධිපතිවාදී ලිංගික සදාචාරවාදය ග්‍රාමීය ප්‍රජාව තුළින් ආවේණිකව පැවත එන්නකට වඩා අධ්‍යාපනික සහ සෙසු දෘෂ්ටිවාදී උපකරණවල ක්‍රියාකාරීත්වය ඔස්සේ ප්‍රචලිත කරන ලද වික්ටෝරියානු ඉගැන්වීම්වල ප්‍රතිපලයක් ලෙස සැලකීම සාධාරණය.
කෙසේ වුවත්, මෙම සුවිශේෂී ඓතිහාසික තත්ත්වය තුළ ලංකාවේ ධනවාදය කෙරෙහි ‘පැරණි සමාජයේ’ දෘෂ්ටියෙන් කෙරෙන විවේචන ප්‍රබල විය. 1977දී ආර්ථික විවෘතකරණ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කරන විට ජේ.ආර් ජයවර්ධනට මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝගයකි, එය. මන්දයත්, තම ආර්ථික ප්‍රවේශයට දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් ගොඩ නගා දෙන ඓන්ද්‍රීය බුද්ධිමය ප්‍රජාවක් ඔහු සමග සිටියේ නැත. ආර්ථික විවෘතකරණය සමග දේශපාලන ආවෘතභාවය අතිනත ගත යුතු වූයේ එහෙයිනි. දෘෂ්ටිවාදී සුජාතභාවයක් නොමැති කල්හි නව ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළ හැකි වූයේ මර්දනයේ නොහොත් බලහත්කාරයේ යාන්ත්‍රණයන් ශක්තිමත් කර ගනිමින් සහ සංකේන්ද්‍රණය කර ගනිමින්ය. විවෘත ආර්ථිකයත් විධායක ජනාධිපති ක්‍රමයත් සමාන්තරව පැමිණියේ එහෙයිනි. ඒ එකකට අනෙක උවමනා විය. වෙනත් වචනවලින් කිවහොත් 1980 ගණන්වලදී රාජ්‍යයේ අධිපති දෘෂ්ටිවාදය අධිපති ආර්ථික මොඩලයට එරෙහිව ස්ථානගත විය. ප්‍රධාන විපක්ෂය දුර්වලව පැවති තත්ත්වය තුළ එම රාජ්‍ය දෘෂ්ටිවාදයේ ඒජන්තයා බවට පත්වූයේ ජවිපෙය. 1980 දශකයේ ජවිපෙ දේශප්‍රේමී අරගලය වනාහි එජාප පාලනාධිකාරයට එරෙහිව රාජ්‍ය දෘෂ්ටිවාදය සංවිධානය කිරීමක් ලෙස තේරුම් කළ හැකි බවට මම යෝජනා කරමි. (ඇතැම්විට මේ කාරණා අපට ඉදිරියේදී දීර්ඝව සංවාද කරන්නට හැකි වෙතැයි සිතමි.
නව උපාය මාර්ගික ප්‍රවේශයක්
කෙසේ වුවත් ඉහත ක්‍රියාවලියට සමගාමීව විශේෂයෙන්ම නාගරික වාමාංශයේ ශේෂයන් සහ අලුත ගොඩ නැගෙමින් පැවති කොළඹ-කේන්ද්‍රීය රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කොට ගනිමින් නව බුද්ධිමය ශ්‍රේණියක පැන නැගීමද ’80 දශකය තුළ නිරීක්ෂණය කළ හැකි විය. ජවිපෙට එම බුද්ධිමය ශ්‍රේණිය සමග පැවතියේ දේශපාලනිකව පසමිතුරු සම්බන්ධයකි. අද වනවිට එම බුද්ධිමය ශ්‍රේණිය තුළින් නිදහස් වෙළඳපලවාදයට සහාය දක්වන කඳවුරක් නිර්මාණය වෙමින් පවතින බවද පෙනේ. 2015දී යහපාලන ව්‍යාපෘතියට සහාය දැක්වූ බොහොමයක් බුද්ධිමතුන් අධ්‍යාපනය සහ සෞඛ්‍යය පෞද්ගලිකකරණය කිරීමේ නව-ලිබරල් ව්‍යාපෘතියේ ආශීර්වාදකයන් වී ඇති බව විශේෂයෙන්ම සයිටම්-විරෝධී අරගලය පසුබිමෙහි අපි දුටුවෙමු. (පසුගිය වසර තුනක පමණ කාලය තුළ ‘රාවය’ පුවත්පතද තම දෘෂ්ටිවාදී උපකරණයක් බවට පරිවර්තනය කර ගන්නට එම දක්ෂිණාංශික ප්‍රවණතාව සමත් වී තිබිණ. එහි ප්‍රතිපලයක් ලෙස පුළුල් වාම දේශපාලන-දාර්ශනික සංවාදය ‘රාවයෙ’න් ගිලිහිණ).
කෙසේ වුවත්, අමරකීර්ති ජවිපෙ (සහ පෙසප) මගින් නියෝජනය වන බලවේග සමග බැම්මක් තනා ගත යුතු යැයි යෝජනා කරන්නේ ඉහත කී දක්ෂිණාංශික නොහොත් යහපාලන බුද්ධිමතුන් කණ්ඩායමට විය නොහැකිය. ’80 දශකයේ නාගරික සිවිල් සමාජ ක්ෂේත්‍රය තුළින් ගොඩ නැගුනු බුද්ධිමය ප්‍රජාවෙහි යම් වාම-ලිබරල් (මා මෙහිදී අදහස් කරන්නේ ආර්ථික ලිබරල්වාදය නොව දේශපාලන ලිබරල්වාදයයි) තීරුවක්ද ඇත. අමරකීර්ති අදහස් කරන්නේ එම තීරුව ජවිපෙ (සහ පෙසප) බලවේග සමග ඓන්ද්‍රීය බැම්මක් තනා ගත යුතු බව නම් මම එය ඉතාම වැදගත් යෝජනාවක් ලෙස දකිමි. එම යෝජනාවේ දේශපාලනික උපාය මාර්ගික වැදගත්කම ඇතැම්විට ඔහු කල්පනා කරනවාටත් වඩා වැඩි විය හැකි බව මගේ හැඟීමයි. මන්දයත්, එය ලංකාවේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම පිළිබඳව මෙතෙක් කල් ලිබරල් බුද්ධිමය ශ්‍රේණීන් විසින් ඉදිරිපත් කෙරෙමින් තිබූ උපාය මාර්ගික දැක්ම (එනම් මෙරට පාලක පංතිය රාජ්‍යය ප්‍රතිසංස්කරණ කිරීමට සමත්ය සහ ඒ සඳහා එයට දේශපාලන අධිෂ්ඨානයක් තිබේය යන මතිබ්‍රමය මත පදනම් වූ දැක්ම) මුළුමනින්ම ආපස්සට හැරවීමකි.
අපට නොකඟතාව ඇත්තේ අමරකීර්තිගේ මෙම යෝජනාව සමග නොව එය ක්‍රියාවට නැගීම සම්බන්ධයෙන් ඔහු (ඔහුගේ ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරීත්වය මගින්) යෝජනා කරමින් සිටින මාර්ගය පිලිබඳවය. ජවිපෙ ‘මැතිවරණ ප්‍රයෝජ්‍යතාවාදයට’ සහාය දක්වමින් තමන්ද එහි උපකරණයක් බවට පත්වෙමින් කෙසේවත් මේ අරමුණ ඉටු කරගත නොහැකිය. ඒ වෙනුවට ජවිපෙ සහ පෙසප මගින් නියෝජනය වන සමාජ බලවේගය වෙතට තියුණු විවේචනාත්මක මෙන්ම සහෝදරාත්මක ප්‍රවේශයකින් දැනුම හා සංස්කෘතිය රැගෙන යන පුරෝගාමී බුද්ධිමය ප්‍රයානයක් ඒ සඳහා වුවමනාය. (මා විශ්වාස කරන්නේ ග්‍රාමීය රැඩිකල් තරුණ බලවේගය අද ජවිපෙන් නොව පෙසපෙන් වඩා නියෝජනය වන බවයි. ජවිපෙ ක්‍රම ක්‍රමයෙන් නාගරික අතරමැද සමාජ ශ්‍රේණීන් වෙතට ආමන්ත්‍රණය කරන්නට උනන්දු වන බව පෙනේ).
ග්‍රාම්ස්චි පැවසූ ලෙස විකල්ප බුද්ධිමය හා සදාචාර නායකත්වයක් මගින් වාමාංශික බලවේගය අභ්‍යන්තරිකව ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතුය. නිදසුනක් ලෙස අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහි ශිෂ්‍ය අරගලයට සහාය දක්වන අතරම නවක වදය නමැති ගෝත්‍රවාදී දක්ෂිණාංශික සිරිතට පහර දිය යුතුය. අමරකීර්තිද එවන් විවේචනාත්මක භාවිතයක නිරත වෙමින් සිටින බවට සැකයක් නොමැත. ‘අටවක පුත්තු’ සහ ‘අර මිහිරි සීනු නාදය’ වැනි ඔහුගේ විශිෂ්ට නිර්මාණ සමුච්ජය ඔස්සේ ඔහු අන් කාටත් වඩා සාර්ථක ලෙස රැඩිකල් තරුණ බලවේගය ආමන්ත්‍රණය කරයි. නමුත්, පවත්නා අධිපති දෘෂ්ටිවාදයන්ට වඩ වඩාත් අනුගත වන්නට ජවිපෙට බල කෙරෙන පරිදි ඔවුනගේ ‘මැතිවරණ ප්‍රයෝජ්‍යතාවාදයට’ සහාය දැක්වීම මගින් මේ නිෂ්ටාව අත්පත් කරගත හැකි යැයි මම විශ්වාස නොකරමි.
-සුමිත් චාමින්ද 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *