ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම්

ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරිම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

”බෞද්ධ හෝ වේවා, ඉස්ලාම් හෝ වේවා, හින්දු හෝ වේවා, කතෝලික හෝ ක්‍රිස්තියානි වේවා, කිසිම ආගමික ස්ථානයක දේශපාලනය කළ නොහැකියි”

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඒ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉරිදා (ජනවාරි 07) පැවති වැඩසටහනක දී අදහස් දක්වමිනි.

එම වැඩසටහන සඳහා පොලිස්පතිවරයා ඇතුළු දකුණු පළාතේ ගාල්ල, ඇල්පිටිය, මාතර, තංගල්ල යන පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරිහු ද සහභාගී වූහ.

ආගමික ස්ථාන තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන බවට චෝදනා නගමින් සිය ආයතනය වෙත පැමිණිලි ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් කියා සිටී.

“පෙත්සම් නාවත් අපි බැඳිලා ඉන්නවා මේ ගැන ක්‍රියාකරන්න. ආගම දේශපාලනයට ගාවගන්න එපා. ආගම ලෝකොත්තර දෙයක්, දේශපාලනය ලෞකික දෙයක්, හරියට කියනවා නම් සුදු වලකුළුයි කොත්තමල්ලි වගේ කිසි සම්බන්ධයක් නැහැ”

මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන කාන්තා අපේක්ෂිකාවන්ට වන හිරිහැර සම්බන්ධව පැමිණිලි කිරිමට වෙනම හදිසි දුරකථන අංකයක් (0113024884)ලබාදිම පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පොලිසිය වෙත ස්තූතිය පුද කළේය.

පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ. ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව අදාළ නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% ක් බවටද දක්වා තිබේ.

2018 පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වෙනිදා පැවැත්වීමට නියමිතය.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *