විභාග සමත් කරවන බුද්ධික පතිරණගේ මන්තර ගුරුකම්

පහුගිය සති අන්තයේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපූරු දැන්වීමක් ප්‍රචාරය විය. ඒ විභාග සඳහා පෙනී සිටින දූ දරුවන් උදෙසා පැවැත්වෙන ගණ දෙවි පූජාවක් පිළිබඳවය. විභාගය ආසන්නයේ මෙවැනි දැන්වීම් අරුමයක් නොවුණද මේ දැන්වීම විශේෂ එකක් විය. ඒ මෙකී දැන්වීම පළකර තිබුණේ එම පූජාවේ සංවිධායක මාතර දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් වීමය. මිනිසුන්ගේ නැණ නුවණ වඩවා ඉහළ සමාජ තලයකට ඔවුන් ගෙන යෑමේ වගකීම ඇති ජනතා නියෝජිතයෙකු විසින් මෙවැනි දැන්වීමක් පළ කිරීම එක්තරා අන්දමට විමතියට කරුණකි.

මිනිසුන්ගේ ප්‍රකෘති ශක්ති ප්‍රමාණයෙන් ක්‍රියාකොට විසඳාගත නොහැකි ප්‍රශ්නයන්ගෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට අද්භූත බලවේගයන් කරා යොමුවීම අනාදිමත් කාලයක සිට මිනිසා විසින් කරන ලදී.

නියඟය අවසන්කොට වර්ෂාව ලබාගැනීමට මිනිසා ගංගාවලට, මුහුදට වැන්දේය. මුහුද ගලා ඒම වැළැක්වීමට රූමත් කුලකාන්තාවන් මුහුදට බිලි දුන්නේය. සැඩ සුළං මගින් සිදු කරන විනාශය වළක්වා ගැනීමට දෙවියන්ට යාච්ඤා කළේය. ලෙඩ දුක් සුවකර ගැනීමට මිනිසා දෙවියන්ට භාර හාර පුද කළේය.

මිනිසාට තේරුම්ගත නොහැකි බොහෝ දේ සිදුවන්නේ අද්භූත බලවේගයන්ගේ බලයෙන් හෝ නියමයෙන් යැයි සිතූ ආදී කාලීන මිනිසා කන්‍යාවියන්, දරුවන්, සතුන් මරා බිලි පූජා පවත්වා දේව කන්නලව් කළේය. ඒ ඒවා සිදුවන විද්‍යාත්මක සිද්ධාන්තයන් අවබෝධ කරගැනීමට නුපුළුවන් වූ යුගයේදීය. එබැවින් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට  කිසිම බාධාවක් නැත.

එහෙත් විද්‍යාව හා තාක්ෂණය ඉතා දියුණු වර්තමාන යුගයේදී පවා වැස්ස ලබා ගැනීමට, ලෙඩ රෝග සුවකර ගැනීමට විභාග සමත්වීමට පමණක් නොව භූමිකම්පා, සැඩ සුළං, සුළිකුණාටු, මුහුදු ගොඩ ගැලීම් වළක්වා ගැනීමට දේව යාච්ඤා පැවැත්වීමට මිනිසා පෙළඹේ නම් නිසැක ලෙසම ඔවුන්ගේ බුද්ධියේ අඩුපාඩුවක් තිබේ යැයි සිතීම වරදක් නොවේ. මේ පූර්විකාව ඔබට කියවීමට සිදු වූයේ ඉහත සඳහන් කළ සතිඅන්ත පුවත්පතක පළවූ අපූරු දැන්වීමක් නිසාය. ශිෂ්‍යත්ව සහ උ.පෙ. විභාග සඳහා පෙනී සිටින දරුවන්ට විභාගය ජයගනු වස් ජීවම් කරන ලද පෑන්, පැන්සල්, ෆයිල් කවර ආදිය බෙදා දෙන බව එකී දැන්වීමෙන් කියවිණි.

සිසුන් විභාග සමත් වන්නේ කෙසේදැයි අවබෝධ කරගත නොහැකි බුද්ධියෙන් හීන මිනිසුන් දේව කන්නලව් මගින් ජයග්‍රහණයන් ලබාගත හැකි යැයි සිතීම සාධාරණය. ඒ ඔවුන්ට තර්කානුකූලව නිගමනයන්ට පැමිණෙන්ට ශාස්ත්‍රීය දැනුමක් නොමැති බැවිනි. එහෙත් උගත් බුද්ධිමත් ජන ප්‍රධානීන් ජන නායකයින් එලෙස කියා මිනිසුන් මුලාකිරීම බරපතළ අවාසනාවන්ත තත්ත්වයකි. සමාජයේ හුදී ජනයාට නායකත්වය ලබාදිය යුතු නිවැරදි පාර පෙන්වා දිය යුතු ප්‍රබුද්ධ දේශපාලන චරිත දරුවන්ට විභාග සමත් වීම සඳහා අද්භූත බලවේගයන්ගේ පිහිට පතන්නට මිනිසුන්ව මෙහෙයවීම බරපතළ කරුණකි.

විශේෂයෙන් මොළය කුණු වී ඇති මිනිසුන්ට මොන මොන විකාර, හෝ දේශනා කොට, පුද පූජා පවත්වා දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට, ඡන්දය දිනා ගැනීමට අවස්ථාව සලසා ගැනීම ගැන අප විරුද්ධ වන්නේ නැත. ඒ එය හුදු දේශපාලන ක්‍රියාවක් වන බැවිනි. එමෙන්ම එය දේශපාලනඥයින් සැමදා කරන මිනිසුන් ‘ගොනාට අන්දවා‘ ඡන්දය ලබා ගැනීමේ ක්‍රමයේ එක දිගුවක් පමණක් බවද අපි දන්නෙමු.

එහෙත්, අප විරුද්ධවන්නේ මේ සඳහා ‍පොඩි ළමුන් ගොදුරු කර ගැනීම ගැනය. මැතිරූ, ජප කළ හෝ ආශිර්වාද, ලබා දුන් නූලක් අතේ බැඳීමෙන් අඩි රූලක් පාවිච්චි කිරීමෙන් පෑනකින් අකුරු ලිවීමෙන් විභාගයකින් සමත් විය හැකි බව ප්‍රබුද්ධ යැයි අප සිත් තුළ හැඟීම් ජනිත කළ ජනතා නායකයකු දේශපාලන ක්‍රියාකාරියකු ‍පොඩි දරුවන්ට ඒත්තු ගැන්වීමට ක්‍රියා කිරීම ගැන සැහැල්ලුවෙන් සිතීමට අපට නොහැක.

‍පොඩි දරුවා පිබිදෙන කුසුමක් වැනිය. සුවඳ මුහුකුරා එන වස්තුවකි. අද්භූත බලවේගයන් මගින් ජීවිතය ජයගත හැකි බව ඔවුන්ට පෙන්වා දීම වැරදි සහගතය. එය ඔවුන්ගේ මුළු ජීවිතයම මුලාවේ හෙලීමකි.

දේවාශිර්වාදයන් මගින් මන්ත්‍ර ගුරුකම් මගින්, බිලි පූජා මගින්, දේව පූජා මගින් ජීවිතය ජයගත හැකි බව මෙතෙක් කිසිවකු ශාස්ත්‍රීය පදනමකින් ඔප්පු කර පෙන්වා නැත. මෙය සිතුවිලි මාත්‍රයක් පමණි. අනාදිමත් කාලයකදී පෙර විද්‍යාත්මකව සිද්ධාන්තයක් නොදත් නොදියුණු මිනිසා එළඹි තීරණයන් නිසා බිහිවූ මෙවැනි යාතු කර්ම මගින් ‍පොඩි උන්ට ජීවිතය ජය ගත හැකි බව තරුණ ජනනායකයකු පෙන්වා දීම ගැන අපි අතිශයින් කනගාටු වෙමු.

ප්‍රබුද්ධ, බුද්ධිමත්, කීර්තිමත් ජනනායකයකුගේ, ජනතා පුත්‍රයකුගේ සැබෑ වගකීම විය යුත්තේ ජනතාව යන දෙසට හැරි ‘වැල යන පැත්තට මැස්ස ගැසීම‘නොවේ.

ඔවුන් වැරදි පාරක යනවා නම් අත ළඟින් අල්ලාගෙන ඔවුන් නිවැරදි මාවතට ගෙන කඳු මුදුනට කැඳවාගෙන යාමය. සැබෑ ජනතා පුත්‍රයා ජනතාව පසුපස්සේ ඉබාගාතේ යා යුතු නැත. ඔහු ආලෝක ධාරාවක් අතැතිව ප්‍රඥාවේ කඳු මුදුනට ජනතාව රැගෙන යායුතුය. ඔහු ජනතාවට මග පෙන්වන පරමාදර්ශී චරිතයක් විය යුතුය. නොපෙනෙන බලවේග ඇදහන ගතානුගතික මෝඩයෙක් විය යුතු නොවේ.

දේවකන්නලව් කළ පසු විභාගයෙන් සමත් වූ දරුවන් සහ ඔවුන්ගේ මවුපියන් සිතන්නේ තමන් කළ දේව කන්නලව්ව නිසා විභාගයෙන් සමත්වූ බවය. එය ඉතා දුක් විඳ දරුවන්ට ශිල්පශාස්ත්‍ර ඉගැන්වූ ගුරුවරුන්ට ලැබිය යුතු කීර්තිය, නම්බුව, ප්‍රශංසාව කල්පිත දෙවිවරුන්ට මන්ත්‍ර ගුරුකම්වලට ලබාදීම බලවත් අසාධාරණයකි. එය තර්කානුකූලද, යුක්ති ගරුකද නැත. මෙවැනි කටයුතු කරන ජනනායකයින්, මාපියන්,  පූජකතුමන්ලා තමුන් පියවි සිහියෙන් සිටී නම් ජනතාව මේවා පස්සේ මෙතරම් වේගයෙන් දුවන්නේ ද නැත.

මන්ත්‍ර ගුරුකම්වලින් සෙත් ශාන්තිකර්ම මගින්, ආශිර්වාද පූජා තුළින් මිනිසාට ලැබෙන්නේ මානසික ධෛර්යයකි. මෙය මෙසේ වුවත් ආශිර්වාද පූජා මගින් සෙත් ශාන්ති කර්ම මගින් දරුවන්ට ලබා දෙන චිත්ත ධෛර්යය විද්‍යාත්මක නොවේ. එය දරුවාගේ අනාගත ජීවිතයට ලබා දෙන නරක පූර්වාදර්ශයකි. දරුවා ජීවිතයේ සියලු ප්‍රශ්න ශාන්ති කර්මයන් මගින්, ආශිර්වාද පූජා මගින් විසදා ගැනීමට පුරුදු වේ. එය වැරදි බව වැටහෙන විට ඔහුගේ ඉලක්කයන් ද වැරදී අවසානය.

එබැවින් ආශිර්වාද පූජා පවත්වා, ශාන්ති කර්මයන් කර දරුවන් දිරි ගන්වනවාට වඩා හොඳ බුද්ධිමත් ව්‍යාපෘතීන් සිදු කර ජනතාව දිරි ගැන්වීමට නැණවත් දේශපාලඥයන්ගේ යුතුකමකි.

පාසල් සපත්තු, ‍පොත්පත්, පෑන්, පැන්සල්, ඇඳුම්, ‍පොත් බෑග්, ‍පෝෂ්‍යජනක ආහාර, ලෙඩ දුක් සහිත ළමුන්ට බෙහෙත්, දෘෂ්‍යාබාධිත දරුවන්ට ඇස් කණ්ණාඩි ලබාදීමත්, නොමිලයේ දක්ෂ ගුරුවරුන් ලවා සම්මන්ත්‍රණ පැවැත්වීමත් ඉතා වැඩදායකය.

නැණවත් දේශපාලනඥයා ක්‍රියා කළ යුත්තේ එසේය. එසේ නොමැතිව නොපෙනෙන බලවේග පසුපස ගොස් බාල පරපුර අමාරුවේ දැමීම ඔහුගේ වගකීම නොවේ.

දරුවාව විභාගයට සූදානම් කර ඔහු තුළින් ආත්ම විශ්වාසය ධෛර්යය ලබා ගැනීමට ඔහුටම අවස්ථාව සලසාදීම යෝග්‍යම ක්‍රමය බව පෙන්වාදීම ඉතා හොඳය.

මෙයින් දේශපාලනඥයින්ගේ ජනපදනම, තහවුරු වනු නොඅනුමානය, මෙම පැහැදිලි කිරීම ගැන ජනතා පුත්‍රයකු වු බුද්ධික පතිරණ මහතා  උරණ නොවෙතැයි  සිතමි. ඔහුට මෙහිදී කළ යුත්තේ තම නමෙහි දැක්වෙන බුද්ධිය තවත් උරගා බැලීම පමණි.

අමුණුගොඩ තිලකරත්න

lakbima

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *