‘නාග කන්‍යා’ ළිං පතුලෙන් නා ලොවට පාරක් ?

 

පතුලක් නැති ළිඳක් ඇති බව පිළිගැනීමට පවා ඔබ අකමැති වනු ඇත. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසු එතෙක් යාපනයේ අර්ධද්වීපයේ අප්‍රකටව පැවති මෙම පතුල නැති ළිඳ පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් ලැබුණි.

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික මුහුණුවරක් ගත් මෙහි පිහිටි පොකුණක ස්වරූපය ගත් මෙම පතුලක් නොමැති ළිඳ හැඳින්වෙන්නේ ‘නාවක්කන්නි’ ළිඳ යනුවෙනි.

‘නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබේ.

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති  බව කියනු ලැබේ.

මෙම නීලාවරී ළිඳ පිළිබඳව දෙ‍වන ජනප්‍රවාදය වන්නේ රාම රජු හා යුද කොට  රාම කුමරුන් සීතා දේවිය රැගෙන ඉන්දියාවට යන ගමනේ දී ඇයට ඇති වූ දිය පිපාසය සන්සිඳවනු පිණිස රාමකුමරුන් තම ත්‍රිශූලයෙන් පොළවට ඇන මෙම ළිඳ කපා දිය මතු කර ගත් බවය.

එමෙන්ම බුදුරාජාණන් වහන්නේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට දිය පිපාසයක් දැනුණු බවත් එවිට ශක්‍රදේවේන්ද්‍රයා විසින් උන්වහන්සේට පැන් පානය කිරීමට මෙම ළිඳ නිර්මාණය කළ බවත් පැවසේ.

සාමාන්‍යයෙන් ළිඳක් යැයි ව්‍යවහාර වූවද බාහිර ස්වරූපය අනුව මෙය ළංවන්නේ පොකුණකටය. එම පොකුණට බැසීමට  අඩි 20 ක පමණ පිය ගැට පෙළක්  ද තනා තිබේ.

පැරණි සිතියම්ගත ලේඛනයන්හි වඩදිය බාදිය ළිඳක් (Tidel Well) ලෙස ප‍්‍රකට මෙම ළිඳ පිළිබඳව  තවත් විවිධ ජනප‍්‍රවාද පවතී.

ඉතා නිල්වන් පැහැදිලි ජල වර්ණය (Astonishing aqua marine) මෙම ළිඳට අලංකාර ස්වභාවික පිහිටීමක් එක්කර ඇත. මෙම පත්ල නොමැති ළිඳ පිළිබඳව විවිධ අවස්ථාවන්හි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විණි.

ඒ අතරින් 2013 වර්ෂයේ අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් මගින් ගවේෂණයක් සිදුකිරීම කැපී පෙනේ. හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමූහික කැප කිරීම මත මෙතෙක් පැවැති ළිඳ සම්බන්ධ ගුප්ත විශ්වාසයන්ට  තිත තැබිණි.

එනම් මෙම ළිඳේ පත්ල අනාවරණය කර ගැනීමයි. ඒ අනුව මෙහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක ප‍්‍රමාණයක් වන බව නිගමනය කෙරුණි.

පතුලක් නැති ළිඳක් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව භූ විෂමතා ආශි‍්‍රත සටහන් තුළින් හෙළිදරව් කෙරෙනුයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප‍්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා කැඞී යෑමෙන් හෙවත් ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රදේශයේ පවතින හුණුගල් පාෂාණය කාලාන්තරයක් තිස්සේ සාමුද්‍රික බලපෑමට  ලක්ව ඛාදනය වීම නිසා මෙම  ළිදෙහි පත්ල සහ මුහුද අතර කුහර නිර්මාණය වී ජලජමය සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව මෙහි මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙසද පවතිනු ඇතැයි ඔහු කීය.

එමෙන්ම මෙම ළිඳ සහ කන්කසන්තුරේ පිහිටි කීරමලෙයි පොකුණ අතර අන්තර් ජලජ සම්බන්ධතාවයක් ඇති බව යාපන වැසියන් ‍ප්‍රකාශකරන බව කී ආචාර්ය අරුලානන්දන් මහතා නීලාවරි ළිඳට දමනු ලබන දෙහි ගෙඩි, පොල් කැබලි ආදී පූජා භාණ්ඩ කිරමලේ  පොකුණෙන් මතුවන පුවත එක් වරම විද්‍යතාත්මකව බැහැර කළ නොහැකි බව ද කීය.

යාපනය අර්ධද්වීපයේ කෝපායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග‍්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ළිඳ ‘නීලාවරි’ පොකුණ වශයෙන් 1486/2007/02/23 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට තිබේ.
මෙය මෙම ළිඳට අමතරව   පුරාවිද්‍යාත්මක සාධක සහිත භුමියක් ද වෙයි.

පෘතුගීසි සමයේ යාපනයේ විසූ පිලිප් බැල්දියුස් දේවගැතිවරයාගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවත්, එම ස්ථානයේ සිංහල හා පෘතුගීසින් අතර සටනක් පැවැති බවත් සඳහන් කරයි.

එසේම 1917 වර්ෂයේ එවකට යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් විසින් යාපනය පිළිබඳව තබන සටහනේ ද මෙම ස්ථානය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව ඉහත නම සඳහන් ළිඳට අමතරව බෞද්ධ  නටබුන් රැසක් එහි තිබූ බව ද පවසයි.

මෙම ළිඳ සමීපයෙන් හමුවූ බුද්ධ ප‍්‍රතිමාවක් මේ වන විට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. වර්තමානයේ වුව හුණුගලින් නිර්මිත දාගැබ් ද්විත්වයක නටබුන් ඒ අසල භූමියේ දැකිය හැකිය. එමෙන්ම මෙම ස්ථානයට යාබඳව පැරණි බෝධි වෘක්ෂයක් ද දැකිය හැකිය.

බැල්දියුස්ගේ දේශාටන වාර්තාවල සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ   ”බුද්ගමුව” නමින් හැඳින්වූ ගම්මානයට අයත්ය. කි‍්‍ර. ව. 1053 වර්ෂයේදී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කරවූ බව ඉතිහාසයේ එයි.

ඒ අනුව නාගග්‍රෝතික සහ රාම රාවනා පුරාවෘත්ත වල සිට බෞද්ධ ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක සහිත ස්ථානයක් වශෙන් වැදගත් වන මෙම නිලාවරි ළිඳ ජාති ආගම් බේදයකින් තොරව අප කාගේත් පොදු උරුමයක් සේ සල කිය හැකිය.

ඒ.ජී රේණුකා

lakbima

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *