ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා ! – ජයන්ත චන්ද්‍රසිරි

ජාතික මතවාදයේ සිනමාකරු , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි .
සාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය

ප්‍රශ්නය : ඔබගේ ‘අග්නිදාහය ‘චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව ප්‍රවීණ කිවිඳියක් වූ මොණිකා රුවන්පතිරණ මහත්මිය කිව්වා ඔබ ඉතිහාසයේ පෙට්ටගම විවර කරවන කලාකරුවෙක්ය කියා, ඔබ නිතරම ඔබගේ සිනමා ටෙලි සිත්තම් තුළින් නොපෙනෙන , පංචේණ්ද්‍රයන්ට හසු නොවන පැතිකඩක් නිතරම ගවේශණය කරන බවක් පේනවා, හේතුවාදීන්ට ග්‍රහණය නොවන පැත්තක් ඔබ ගවේෂණය කරන බවක් පේනවා, මේකට ඔබ පන්නරය ලබන්නේ කෙසේද ? ඉතිහාසය පිළිබඳ ඔබගේ කතිකාව කොහොමද ?

මම කැමතියි ඔබ ඔය වචන දෙකක් පාවිච්චි කරපු නිසා , එනම් භෞතිකවාදය සහ හේතුවාදය ගැන කියපු නිසා එතනින් පටන් ගන්න , මම මගේ සමාජ ජීවිතය ආරම්භ කරන්නේ භෞතිකවාදියෙක් විදියට සහ හේතුවාදියෙක් විදියට . මම පාසල් යන කාලේ මගේ ලොකුම පෙළඹවීම හේතුවාදය තමා. කෝවූර් මහතාගේ පොත් කියවලා මම උග්‍ර හේතුවාදියෙක් වෙලා හිටියා. මම ඔය හොල්මන් තිබෙන තැන් ගවේශණය කරන්න පවා ඒකාලේ ගියා කොල්ලෝ කට්ටියක් හදාගෙන . ඒනිසාම මම ඉබේම ද්වීඝට්ටනාත්මක භෞතිකවාදී ආස්ථානයකට ආවා, ඒ කාලේ තිබ්බා දේශපාලන ව්‍යාපාරයක් කීර්තී බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත් යනාදී විද්වතුන් ගෙන් සැදුම්ලත් ‘කම්කරු මාවත ‘ නමින් , ඒ 70 දශකයේ අග භාගයේ විතර මම පාසල් යන අවදිය , මුල භාගයේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ , කම්කරු මාවත එකල නැගී ආව සමාජ බලවේගයක් වුණා 4 වෙනි ජාත්‍යන්තරය හරහා ආපු. එය ඥාණ ධාරාවක් , ඒකට මා ආකර්ශණය වුණා ඒකාලේ.
එම ව්‍යාපාරයේ දේශණ , සාකච්ඡා වලට සහභාගී වෙලා එහි දැණුම මම ලබා ගත්තා. පොත පත කියෙව්වා ,
පසුව මට ඒ ලැබුණු දැණුම තුළින්ම මම එය ප්‍රශ්ණ කළා,
පසුව මම එකී මාක්ස්වාදී හෝ ට්‍රොස්කීවාදී හෝ ආස්ථානයෙන් ඉවත් වෙන්නම බලපෑවෙත් එහි තිබූ කරුණුම තමයි. නැතුව වෙනම ජාතික බලවේගයකින් ලද පන්නරයක් ඔස්සේ නොවෙයි මම එයින් ඉවත් වුණේ.
මම එම සාකච්ඡා වලදී බොහෝ විට තීරණාත්මක ප්‍රශ්ණ ඇහුවා. ඥාණය වැඩෙද්දී මම අහපු ප්‍රශ්ණ වලට උත්තර මට ඔවුන්ගෙන් ලැබුණේ නෑ, මගේ එක පැනයක් තමා සමාජ පරිණාමය පිළිබඳව තිබිච්ච අදහස .
තීරණාත්මක සාකච්ඡාවකින් පසුව මම ඇහුවා කොමිනියුස්ට් සමාජයකින් පසුව සමාජ පරිණාමය නතර වෙනවාද කියා.
ඒකට එම දේශකයන්ට කේන්ති ගියා. පසුව මම නැවතත් හදාරන්න යොමු වුණා විශේෂයෙන්ම බුදුදහමේ අන්තර්ගතය , පසුව මට තේරුණා මොන විහිළුවක් පස්සේද මම එතෙක් කල් හමා ගියේ යන වග . ඒකට උත්තරයත් බුදු දහමේ තිබෙනවා එනම් කිසිම දෙයක් නිත්‍ය නොවන බව. සියල්ල නිරන්තරයෙන් වෙනසට ලක් වෙන සුළුබව. මේ ‘වෙනස ‘කියන එක ගැන මම සිතන්න යොමු වුණා , වෙනස කියන්නේ මොකක්ද යනාදී වශයෙන්. දුක කියන්නේ මොකක්ද ?
මම උපතින් බෞද්ධයෙක් , දහම් පාසල් ගිය දරුවෙක් , ඒවත් මගේ ඇඟේ තිබ්බා තමා, ඒත් කෙළිලොල් වයසේදී රැඩිකල් අදහස් වලින් ඔබ්බෙහි මම සිතන්න යොමු වුණා ධර්මය ගැන , ධර්මය පැල්පදියම් වුණු අපේ රට ගැන , ඇයි මේ අපේ රටේම මේ ධර්මය පැල්පදියම් වුණේ ? කියන කාරණය. එතකොට අපේ සංස්කෘතිය පදනම් වුණේ තනිකරම බුදු දහම මත, කොහොමද ඒක වුණේ යන්න. ඒ නිසා ඉතිහාසය මම පිරික්සුවා , එය පිරික්සීම මානසික වගේම කලාත්මක ව්‍යායාමයක් වුණා මට. එය එදාට වගේම අනාගතයටත් විශාල ආලෝක කදම්බයක් මුදා හැර තිබෙනවා.

ප්‍රශ්නය: ඔබ අග්නිදාහය සිනමාව තුළ එන පුංචිරාළ ගුරුන්නාන්සේ ඔස්සේ එකල බලවත්ව පැවති යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හදී හූණියම් යනාදිය සියුම්ව එළි දක්වන බවක් පේනවා , අකාල සන්ධ්‍යා ටෙලි නළුව තුළිනුත් අධිභෞතික යාන්ත්‍රණයක් පෙන්වනවා , ඔබ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක්ද ?

මම එම චිත්‍රපටය ඔස්සේ එය පිළිගන්නවාද ? බැහැර කරනවාද ? කියා මගේ තීන්දුවක් මම දෙන්න යන්නේ නෑ, හැබැයි මම කියන්න යන්නේ එක්තරා බලවේගයක් විදියට වැඩ කළා යම් දේවල්, ඒ කියන්නේ මේ යාතුකර්ම, එක්තරා සමාජ දේශපාලන බලවේගයක් විදියට කටයුතු කරලා තිබෙනවා එක් එක් වකවානු වල. පහත රට අපි කියන්නේ යකැදුරෝ කියලා , උඩරට උදවිය කියන්නේ යක්දෙස්සෝ කියලා. ඔය යක්දෙස්සන්ගේ කාරණාව හරීම දේශපාලනිකයි . මොකද ඔය කාලේ ගත්තහම , 1660 ගණන් වල , 1664 ඔය කැරැල්ල සිදුවන්නේ දෙවන රාජසිංහ නරපතිඳුන්ට එරෙහිව අඹන්වල රාළ අතින් . ඒකාලේ බෞද්ධ යතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. බෞද්ධ භික්ශුව කියන්නේ ඉතිහාසයේ සෑම කාලෙකම අපට හිටපු ගුරුවරු. පන්සල් ආරාම පවත්වාගෙන ආපු පිරිසක් විතරක් නොවෙයි උන්වහන්සේලා. උන්වහන්සේලා තමා ඥාණ ගවේශණයට ජනතාවට මං පෙත් විවර කර දුන්නේ. උන්වහන්සේලා තමා පොත පත ලිව්වේ, භාෂා සමයාන්තර අතැඹුලක් සේ දැන සිටියේ , උන්වහන්සේලා ත්‍රිපිටකය, ෂඩ්භාෂා, සකු , මගද , එළු , දෙමල කාව්‍ය, අට වියරණ, අෂ්ටාදශ පුරාණය, අර්ථ ශාස්ත්‍රය , පෘතූගීසි යනාදී විෂයන්ගෙන් පරප්‍රාප්තව දැණුමෙන් පෝශිතව වැඩ විසුවා . පොදු ජනතාවගේ සාක්ෂරතාව එකල දුර්වල මට්ටමයි තිබ්බේ. ඥාණය අඩංගුව තිබෙන්නේ භාෂාවෙනේ. යතිවරු තමා බසින් එකල විකුම් පෑවේ . ඔය 1660 ගණන් වලට කලින් ලොකු සාසන විනාසයක් සිදු වුණා. ඒ සාසන විනාසය සිදුවන්නේ පළමුවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ. එතුමා අරිට්ඨකී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටිලා, එතුමා අතින් සිදුවූ පීතෲඝාතනයට සමාවක් නොලැබෙනකොට දහමින්, ඉන් බියට පත්වී සමාව දෙන ආගමක් සෙව්වා. සමාව දෙනවා කිව්වා වුණත් පරංගි සමග තිබ්බ වෛරය හේතුවෙන් කතෝලික ආගම වැළඳ ගත්තේ නෑ එතුමා. ඉතින් කපටියෙක් වෙන අරිඨ්ඨ කී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටෙනවා එතුමා. මේ කපටියා රජතුමාට කිව්වා පාපයෙන් මිදෙන්න සතුන් පිරිසක් මරා කැලණි නදියේ රුධිරය පා කර යැවීමෙන් පාපයෙන් මිදෙන්න පුලුවනි කියා.
මේ කපටියා රජුට ලඟා වෙන්න වෙන්න ධර්මදර භික්ශූන් රජුගෙන් විතැන් වුණා. කොහොමත් භික්ශූන් පියා මරපු නිසා ඈත් වෙලා හිටියේ. භික්ශූන්වහන්සේලා මේ රටේ එදා පටන්ම සමාජ බලවේගයක් වෙලා හිටියේ, ආගමික බලවේගයක් විතරක් නොවෙයි. මේ රටේ භික්ශුව කියන්නේ සෑම විටම එදත් අදත් සමාජ බලවේගයක්. ඉතින් රජතුමා ඔහුට සැක සහිත සියළුම භික්ශූන්වහන්සේලා මරා දමනවා. මේ රික්තය ගොඩාක් කල් තිබ්බා සසුන් කෙත තුළ. සාසන විලෝපනයක් සිදු වුණා පිරිමහන්න බැරි. මේ විලෝපනය නිසා බිහි වුණු රික්තය පුරවන්නේ එකක් ගණින්නාන්සේලා කියලා කොටසක්, උන්වහන්සේලා සිවුර පොරවන්නේ නෑ සුදු ඇන්දේ , කහ නූලක් බැඳගෙන හිටියේ. ඒගොල්ලෝ කසාද බඳිනවා , දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ ළමයින්ට කිව්වේ ගණගෙඩියෝ කියලා.
ඔය හේතු නිසා ඒ කාලේ යකදුරන් බලවත් වුණා. හාමුදුරුවන්ගේ හිස් තැන පුරවන්න ආවේ යක්දෙස්සෝ . මම කිව්වේ , අඹන්වල රාල දෙවනි රාජසිංහ රජතුමාට ගහපු කැරැල්ලේදී ඊට අනුප්‍රාණය දුන්නා ඔය යක්දෙස්සෙක් . ඒක තමා ජැක්සන් ඇන්තනී නිරූපණය කළ පුංචි රාළගේ චරිතයෙන් කියා පාන්නේ.

ප්‍රශ්නය: ඔබගේ සිනමාවන් තුළ සහ ටෙලි නළු වල සංගීතය යටින් දිවෙන විශාල ගාමක බලයක් බව නොරහසක් . ඔබ ජනකවි , දේවයාදීනි , කෝන්මුර කවි , කරත්ත කවි , පැල් කවි ඉතාම සියුම්ව නිර්මාණයට ආලෝකයක් කරගන්නවා . මේකට ඔබ ආවේශයක් ලබන්නේ කෙසේද ?

මෙහෙමනේ , ඡායාරූප ශිල්පියෙක් පොටෝ එකක් ගන්නකොට ඔහුට අහුවෙන්නේ ඒකල තිබ්බ ගහ කොළ ගොඩනැගිලි, දියවැල් යනාදියනේ. චිත්‍ර ශිල්පියෙකුට අහුවෙන්නෙත් ඒවගේ දේවල්. සිනමාකරුවෙකුට ඊට වඩා යමක් අහුවෙනවා. ඔහුට රූපය විතරක් නොවෙයි ශබ්දයත් අහු වෙනවනේ. ඒ කාලේ ශබ්දයත් අහුවෙනවා. එකල පැවති හඬවල් . ඒකාලේ තිබ්බ සද්දේ හොයාගන්නම පුලුවන් වෙන්නේ ජනශෘතිය තුළින්ම තමා. ජනශෘතියේ තිබ්බ දේවල් තමා ඔය ජන කවි ජනගායනා.
දේවයාදිනී, ඒවත් පදනම් වෙන්නේ ගැමි ආගමත් එක්ක , අපේ මහා ආගම තමා බෞද්ධාගම , ඒත් ඒ අතරෙම තිබ්බා ගැමි ආගම කියා එකක්. ඒ කියන්නේ ප්‍රාදේශීය දෙවිවරු අපි ඇදහුවා . හෑම පළාතකම බලාගෙන ගියාම ප්‍රාදේශිය දෙවි කෙනෙක් ඉන්නවා. ප්‍රධාන දේව මණ්ඩලයේ අය නොවෙයි ඒ .
ප්‍රාදේශීය දෙවිවරු කියන්නේ දිව්‍යලෝකෙන් ආපු අය නොවෙයි. ඒගොල්ලෝ ඒ ඒ පළාත්බදව හිටපු නායකයෝ. බණ්ඩාරදේවාවලියක්ම තිබෙනවා ගම් ආශ්‍රිතව.
සමහරු ගොවියෝ , ගස් කපන්නෝ , හොරුත් ඉන්නවා .
ඒගොල්ලෝ සජීවීව ඉන්න කාලේ ජනනායකයෝ.
මහසෙන් දෙවියෝ රජකෙනෙක්. ඒවා පදනම් කරගෙන තමා බොහෝ විට ජනගායනා බිහිවෙලා තිබෙන්නේ.
‘රකිනා දිවි සිත වග වැලහින්නේ ‘යන්න කෝන් මුර කවියක් දඬු බස්නා මානයේ එන , ගලේ බණ්ඩාර දෙවි උපත ගැන කියන නිදසුනක් ලෙස.
‘කාන්නු ගොයියක් ‘ යන අග්නි දාහයේ එන ගීතය, පෙරළි කවියක් , කේමදාස සූරීන් රෙගේ රිද්මයකින් තනුව හදා තිබෙන්නේ. ඒ කාලේ තිබ්බ රිද්මය සිනමාකරුවෙක් විදියට මා උකහාගත්තා.

ප්‍රශ්නය: ඔබව මා දකින්නේ ජාතිකවාදී සිනමාකරුවෙක් ලෙස , ඔබගේ ජීවන දර්ශණය බුදු දහම පදනම් කර ගත්තු විද්වතෙක් ලෙස. එතකොට අපි දන්නවා ඔය ‘වම් ඉවුර’ එහෙම කියලා වර්ගීකරණයක් සිනමාකරු දුරාවලියේ තිබෙනවා , ඒවගෙම හඳගම , විතානගේ යනාදී වෙනම ගමන් කරන අධ්‍යක්ශකවරු කිහිපදෙනෙකුත් දකිනවා , ඔබගේ අදහස ?

පැහැදිලිව මගේ දර්ශනය පදනම් වෙලා තිබෙන්නේ බෞද්ධ දර්ශණය මත. ඒකේ දෙකක් නෑ. දැන් වම් ඉවුරක් හැදුවා මිසක් දකුණු ඉවුරක් ගැන කතිකාවක් නෑනේ, ඒ විචාරකයන්ගේ අවුලක් ඒ තියෙන්නේ. සිනමාවේදී එහෙම ඉවුරු හදන්න බෑ.
ඔය ඊනියා විචාරකයෝ කරපු වරද නිසා ඉතාම වැදගත් සිනමාකරුවෝ කිහිපදෙනෙක්ම අපේ සිනමා සංවාදයෙන් බැහැර කෙරුණා. නම් වශයෙන්ම ගත්තාම ඒ තමා ඩී.බී නිහාල්සිංහ , එයාව මොන ඉවුරටද දාලා තියෙන්නේ ? එච්.ඩී.ප්‍රේමරත්න , මහගමසේකර, මේ හරිම වැදගත් සිනමාකරුවෝ.
එතනින් ගියාම තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස් පීරිස්.
මේගොල්ලෝ ඔය කිසිම ඉවුරකට සම්බන්ධ වුණේ නෑ, ඒක විචාරකයන්ට තිබෙන ප්‍රශ්ණයක් , විචාරකයෝ කියන්නේ සියල්ල දත් අය නොවෙයි,
විචාරකයෝ කලින් කලට විවිධ නම් දානවා. ඔබ නම් සඳහන් කරපු හඳගම , ප්‍රසන්න විතානගේ ඉතාම දක්ෂ සිනමාකරුවෝ අපේ රටේ , මම ඔවුන්ගේ නිර්මාණ ඉතාම අගේ කරනවා , ඒ වගේම මම ඔවුන්ගේ නිර්මාණ විවේචනය කරන අවස්ථාත් තිබෙනවා. ඔවුන්ගේ මතවාද වලට මම එකඟ වෙන්නේ නෑ මූලික වශයෙන්ම කියන්න ඕනේ.
ඒ දේශපාලන සමාජ මතවාද සමග මගේ කිසිම එකඟතාවක් නෑ. එකඟතාව නොමැති නිසාම මට කියන්න බෑ ඔවුන් හොඳ සිනමාකරුවෝ නොවෙයි කියලත්.
ඔබ කියනවා මම ජාතිකවාදී සිනමාකරුවෙක් කියලා , ඒත් අද කුණු කන්දල්වලටත් , හිස් දේවල් වලටත් ජාතිකවාදී ලේබලය අලෝනවනේ. ඒක හරිම වැරදියි. ඒත් නිසැකවම මගේ දර්ශණය බෞද්ධ දහම මත පදනම් වෙලා තිබෙන දෙයක් මයි.
අද මට බුදුදහම සමග ප්‍රශ්ණ නෑ. ධර්මයේ තිබෙන ගැටළු විසඳන්න කොහේ හරි පඬිරුවනක් ඉන්නවා. අනිත් න්‍යායන් හරීම සීමා සහිතයි.
ප්‍රශ්ණය තිබෙන්නේ සීමාසහිත ඒවා පසු පස හඹා යනවද ? අසීමිත මහා දර්ශණයක් පසු පස හඹා යනවද කියන එකයි. ධර්මය පිළිබඳ කැක්කුම තමයි ‘දේශය’කියන තැනට මාව පොළඹවා තිබෙන්නේ.
දේශය ගැන හිතලා පසුව ආගම ගැන හිතනවා නොවෙයි .
මේ දර්ශණය පදනම් කරගත්තු මිනිසුන්ගේ ලොකු වටිනාකමක් තිබෙනවා.
අපේ රටේ මේක පවතින්න හේතු වුණේ ඇයි ?
බුදු දහමේ නිදහස් චින්තනය මිනිස්සු බාර ගත්තේ ඇයි?
ආන්න ඒවා සොයලා බැලුවාම මේ දෙකේ සහසම්බන්ධයට සුවිශාල ඓතිහාසික සමාජ පසුබිමක් තිබෙනවා. මම හිතනවා ඔය දෙක තිබෙනතාක් මේ රට කාටවත් විනාස කරන්න බෑ කියලා කවමදාවත් . දහම ලොකු ආරක්ෂාවක් අපට සහ රටට .

ප්‍රශ්නය: මහරජ ගැමුණු වගේ දැවැන්ත සිනමාවක ධර්ම යුද්ධය ගැන කතා කරනවා , යුද්ධය ක්ෂත්‍රීයධර්මයක්ද ? දුටුගැමුණු නරපතීඳුන් ඇයි එදා සහජීවනයෙන් අද අය කියනවා වගේ එළාරව හැසිරුවේ නැත්තේ ?

ධර්මය වෙනුවෙන් යුධ වැදීම යුක්තිසහගත ක්‍රියාවක් බව කීවේ අපි නොවෙයි , හින්දුවරු. ක්ෂත්‍රීයධර්මයේ පදනම හින්දුන් පිලෝසොපි එක . ඒගොල්ලෝ කියනවා ධර්මය වෙනුවෙන් යුධ වැදීම ස්වර්ගයට යාමට හේතුවක් කියලා , අපේ දහමේ එහෙම කියන්නේ නෑ.
අපේ දහමේ යුද්ධය සාධාරණයි කියන්නේ නෑ. මම හිතන්නේ , ධර්මය පවත්වාගෙන යන්න වගේම ධර්මය රැක ගන්නත් කට්ටියක් අවශ්‍යයි. මොකද මේ ලෞකීක සමාජයේ ධර්මය නිකම් පවතින්නේ නෑ.
අපේ ධර්මයේ අවසාන ඉලක්කය තමා නිර්වාණය.
අපි ඔක්කෝම දේවල් කරන්නේ නිවන් යන්නනේ. අපි වෙසක් කූඩුවක් හදලා පතන්නෙත් උත්තරීතර නිවන.
අපි නිවන් යන්නේ තව කල්පයකින් පසුව වෙන්න පුලුවනි , ඒත් අපි පතන්නේ නිවන. නිවන් යන්න නම් මොන ජාතියෙන්වත් බෑ ධර්මාවබෝධය නැතුව.
මරණය අපිට ඉබේ හම්බ වෙනවා, උගත් වුණත් නැතත් , පන්සල් ගියත් නැතත් මරණය අනිවාර්‍යයෙන්ම අපට ලැබෙනවා.
නිවන අපට මරණය වගේ ඉබේම ස්වයංක්‍රීයව හම්බ වෙන දෙයක් නොවෙයි.
නිවන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්න ඕනේ. හරි ඉස්කෝලෙට යන්න ඕනේ. ධර්මය නම් වූ පාසලට ඇතුළත් වෙන්න ඕනේ .
ධර්මාවබෝධයක් නැතුව නිවන ලැබෙන්නේ නෑ.
වෙන දහමකින් නිවන ලැබෙන්නෙත් නෑ. වෙන කිසීම ආගමක නිවන නෑ මොන සෙල්ලම් දැම්මා වුණත්.
නිවන නමැති ඉස්කෝලේ තිබෙන්නේ බෞද්ධ දර්ශණයේ.
එතකොට මේ ඉස්කෝලේ නැතුව ගියෝත් මොකද වෙන්නේ ?
කාටවත් නිවනක් ලැබෙන්නේ නෑ.
ඉස්කෝලෙක ඉන්නවා ගුරුවරු, උගන්වන විධික්‍රමයක්,
සිලබස් එකක් තිබෙනවා, ඔක්කෝම හරි . ඒත් ඉස්කෝලේ මුර කරන මුරකාරයෙකුත් ඉන්නවනේ, වොචර් කෙනෙක්. ඉස්කෝලෙට බංකු මේස හදන වඩු බාස්ලා , මේසන් වරු , කම්කරුවෝ , ඒගොල්ලෝ ගැන අපි කතා වෙන්නේ නෑනේ. ඒගොල්ලෝ හිටපු නිසානේ ඉස්කෝලේ හැදුනේ.
ඒත් මේ අය ඉවත් කරලනේ ගුරුවරයයි ඉස්කෝලේ ගැන අපි කතා කරන්නේ. අර වොචර් ගැනයි ඉස්කෝලේ ආරක්ෂා කරන්න ඉන්න මුරකාරයෝ ගැන අපි කතා කරන්නේ නෑනේ.
වොචර් අවුරුදු සියයක් ඉස්කෝලේ මුරකළා වුණත් වොචර්ට උසස් පෙළ සහතිකයක් ලැබෙන්නේ නෑනේ.
ඒත් වොචර් නිසා ඉස්කෝලේ රැකෙනවා. එතකොට ධර්මය රැකගැනීම සඳහා කට්ටියක් ඕනේ.
මක්නිසාද ? ධර්මය රැකුණොත් තමා අනිත් අයට නිවන් යන්න පුළුවන් වෙන්නේ . ඒත් ධර්මය රකින්න යුද්ධ කළාම අපේ දහමේ අංශුමාත්‍රයකවත් සමාවක් ලැබෙන්නෙත් නෑ. ප්‍රාණඝාතනයෙන් නිවන පමා වෙනවා. වොචර්ගේ නිවන පමා වෙනවා . වෙන අය නිවන් දැක්වීම සඳහා නිවන වෙනුවෙන් සටන් කරන උදවියගේ නිවන ප්‍රමාද වෙනවා . එතකොට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන පරිත්‍යාග කරනවා .
දුටුගැමුණු මහරජතුමාණන් කළෙත් ඔය ටික තමා . අපි එතුමාට තවම පින් අනුමෝදන් කරන්නේ ඒක නිසා. තමන්ගේ සසර ගමන කෙළවර කරගන්න තිබ්බ වෙලාවේ, ඒක ඉවර කරගන්නේ නැතුව ධර්මය වෙනුවෙන් යුද්ධ කොට ධර්මය බේරලා දුන්නා. ඒක ජීවිත පරිත්‍යාගයටත් වඩා මට නම් උතුම් වැඩක්.
තමන්ගේ සසර ගම දික් කරගන්න එක පොඩි වැඩක්ද ? ආයෙත් ඉපදෙන්න ඕනේ නේ. මොන තරම් දුෂ්කර ගමනක්ද ? ඉස්කෝලේ පරක්කු වෙනවා , ආයෙත් හෝඩියේ ඉඳලම යන්න ඕනේ . උසස් පෙළ ලඟටම ඇවිල්ලා ෆේල් වෙලා ආයෙත් හෝඩියේ ඉඳන්ම එන්න ඕනේ . ලේසි කටයුත්තක් නොවෙයි. මහරජ ගැමුණු සිනමාවෙන් මේ මහා කැපකිරීමයි මම හෙළි කරන්න උත්සාහ කළේ.
එතුමා අපේ රටට කරපු මහා සම්ප්‍රධානය මේකයි.
උන්වහන්සේ ගමන නිම කරගන්නයි ආවේ අර සාමනේර භික්ශුවක් ලෙස , ඒත් විහාරමහාදේවියගේ ඉල්ලීමටයි අරමුණ වෙනස් කළේ.

ප්‍රශ්නය: ගරිල්ලා මාර්කටින් සිනමාවේ ඔබ තිසරගේ භූමිකාව තුළින් මනෝ වෛද්‍ය විද්‍යාවේ ‘බින්නෝන්මාදය’ වැනි රෝග වල පසුබිම් කරා එළබෙනවා , ‘සබ්බේ පුථග්ජණා උන්මන්තකා ‘යන යථාර්තය ඔස්සේ ලෝකයම මායාවක් , ඔබ කොහොමද එතෙන්ට ප්‍රවේශ වෙන්නේ ?

බින්නෝන්මාදය මනෝ ව්‍යාධීන් අතරින් ඉතාම අවසනාවන්තම රෝගයක්, පුද්ගලයෙකුගේ අත පය තුවාල වුණාම ඔහුට ඇවිදින්න බැරි වෙන්න පුලුවනි, නමුත් මෙතනදී මනසේ වෙන තුවාලය පේන්නේ නෑනේ . බිනෝන්මාදය මුල් සමයේ රෝගයක් ලෙස සැලකුවේ නෑ. නිර්මානශීලී දක්ෂයන්ට තමා ඔය රෝගය ඉස්සර වැළඳිලා තිබෙන්නේ .
මම ඔය පර්යේෂණය කරන කාලේ තමා ලෝකයේ ඔය ගැන කතිකාවක් ඇති වුණේ. උදව් කරපු වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා ඔය සම්බන්ධයෙන්.
ඒ අයගේ මොලයේ විද්යුතය වෙනස් , වෛද්‍යවරු කියනවා එය ජාණ වලින් එන්න පුලුවන් කියලා. සමහර විට විෂාධිය , බින්නෝන්මාදය කරා වර්ධනය වෙන්න පුලුවන් කියා කියනවා , තවමත් නිශ්චිතව කරුණු කාරනා ඔය රෝගය සම්බන්ධයෙන් සොයාගෙන නෑ, මේ ලෝකේ ඉන්න ගමන් එම රෝගියා වෙන ලෝකෙක ඉන්නේ , මේකෙන් විස්තර කරන්නේ එකී රෝගීන් සිහිනෙක දැවටිලා දිගටම ඉන්න බව.
මට ඕනේ වුණේ කියන්න මේ රෝගය ඇසුරෙන්, සමාජයේ සියළුම දෙනා එක්තරා ෆැන්ටසියක ඉන්න බව. ඒ ෆැන්ටසියෙන් එළියට ඒම අසීරු බව මම කියන්නේ. සිනමාව තුළින් භික්ශූන්වහන්සේ නමක් ලවා මා ප්‍රශ්ණ කරනවා , අපි දැක්කේ සිහිනයක්ද ? නැත්නම් මේ ඉන්නේ සිහිනයකද ? කියලා. කෝකද නිවැරදි පියවි තත්ත්වය අපි කොහොමද දන්නේ ?
සිහිනයේදිත් වේදනාව දැනෙනවා , සැබෑවේදිත් දැනෙනවා. දුක බිය සිහිනයේදිත් දැනෙනවා , පියවි ලෝකෙත් දැනෙනවා . කෝකද ඇත්ත ?
බුදුරජාණන්වහන්සේත් නගපු තර්කයක් ඒක . තිසරද හීනේ ඉන්නේ ? අපිද සිහිනේ ඉන්නේ ? එයයි මා නගපු ප්‍රශ්ණේ .
ධනේශ්වර දේශපාලනයේ ඉන්න හැමෝම ග්‍රෙගරි මහාධිකාරම් තුළින් මා දුටුවා . ඔවුන් බොහෝ දෙනෙක්ගේ වාසගම් සිංහල මුල් නම් ඉංග්‍රීසි. දෙමුහුන් නම් තියෙන දෙමුහුන් හයිබ්‍රිඩ් කට්ටියනේ මේ ඉන්නේ .
වම වේවා දකුණ වේවා ඔක්කෝම එකයි නේ , දේශපාලනය විධික්‍රමය තුළ ඔක්කෝම එකයි.

ප්‍රශ්නය: අවසාන වශයෙන් , අපි අද දකිනවා ව්‍යවස්ථා සංශෝධන මාලාවක් එමින් තිබෙනවා ඒ අතර දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන්භාවයක් ජනිත වෙනවා . සහජීවනය නාමයෙන් බහුතරය අසධාරණයකට ලක් වෙන බව පේනවා .
ඔබගේ අදහස .

ඔය අහන්නේ අවසාන වශයෙන් මේ රටට ෆෙඩරල් ආකෘතියක් ගෙනත් මේ ප්‍රශ්ණය විසඳන්න පුලුවනිද බැරිද කියානේ . මම හිතන්නේ නෑ.
කොටින්ම මම හිතන්නේ ෆෙඩරල් ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නෑ.
නොගැලපෙන හේතුව තමයි , ෆෙඩරල් ක්‍රමය අත්හදා බලපු රටවල් වල හැම රටක්ම එක්සත් කරන්නයි හදලා තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමය .
තීරකයා ලෙස එක්කාසු කරන්නනේ ෆෙඩරල් ඒ රටවලට ගෙනාවේ. එකට තිබුණු එකක් ගලෝලා සවි කරලා නෙමෙයිනේ මේ. මෙහේ ගලවන්න යන්නේ එකට තියෙන එකනේ .
මේ ඉතාම කුඩා රටක, මේක කෑලි වලට කඩලා තිබ්බේ නෑ, විවිධ කාල වල එක එක රාජ්‍යයන් තිබ්බා. පෲතූගීසි කාරයෝ මේක අල්ලගෙන හිටියා, මුහුදු බඩ පරංගි අල්ලන් හිටියා කියලා අපි කියනවද ඒක පෘතුගාලයට අයිති කෑල්ලක් කියලා? ලන්දේසි අවුරුදු 200 ක් අල්ලන් හිටියා කියලා අපි කියනවද මේක ඩච් කෑල්ලක් කියලා?
මේක අර ගෙවල් කුලී නීතීය වගේ කාලාවරෝධයෙන් අයිතිය ගන්න බෑනේ රටකට . චෝලයෝ ඇවිල්ලා මේක අල්ලා ගත්තා, දකුණ හැර ඔක්කෝම අල්ලා ගත්තානේ , අපි කියනවද දැන් ඒක ඉන්දියාවේ කොටසක් කියලා ?
ඒ වගේ බොල් තර්ක මේ ගේන්නේ , මේක ඒකීය රාජ්‍යයක්. මේකේ පැහැදිලිව ජනවර්ගයක් තිබ්බා සංස්කෘතියක් තිබ්බා .
කවුද එතකොට ඔය රුවන්වැලිසෑය හැදුවේ එතකොට ?
මොන ශත වර්ශයේද ?
කවුද ඒක හැදුවේ ? සුද්දෝ ඇවිල්ලා හැදුවද ?
ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ හැදුවේ . ඉතින් සිංහලයොනේ හැදුවේ ඒක, වෙන මොක්කුද ?
මේකේ හිටපු එවුන් නේ හැදුවේ . උන්ගේ නම සිංහල නම් අපි එපා කියන්නද දැන් ?
අනිත් එවුන්ට මොනවද තියෙන්නේ ? එක වලං කෑල්ලක් සොයලා දෙන්න මට සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්‍රම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.

[උපුටා ගැනීම : ‘සිංහල බෞද්ධයා’ පුවත්පතින් ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *