ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා

එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයා

ලංකාවේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සෛද්ධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා වන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ (institute of Policy Studies) විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම 2014 දී ඉදිරිපත් කළ India-Sri Lanka Free Trade Agreement and the Prosposed CEPA: A Closer Look නම් පත්‍රිකාවක එට්කා ගිවිසුම (එවක සීපා) සාධාරනීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයක සිංහල පරිවර්තනය මෙසේ වෙයි.

“රටක් ද්විපාර්ශිකව ඇතිවන වෙළෙඳ හිඟයන් පිළිබඳව එතරම්ම අවධානය යොමු නොකළ යුතු බව තේරුම් ගත යුතුය. ගෝලීයකරණයේ සහ ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ස්වභාවය අනුව සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන අතර මෙය හුදු කාර්මිකරණය වී ඇති ස්වභාවයෙහි පිළිඹිබුවක් පමණක් වේ. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සහ චීනය වැනි රටවලින් විශාල වශයෙන් ආනයනය කරන අතර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙත වැඩි වශයෙන් අපනයනය කරයි. ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ජංගම ගිණුම තුළ වර්ධනය වි තිබුනත් ප්‍රාග්ධන ගිණුම තුළ ඉන්දියානු ආයෝජන ලංකාවට ගලා ඒම නිසා එය විශාල වශයෙන් තුලනය වේ.”

සමන් කැලේගමගේ සටහන් වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ එට්කා ප්‍රවර්ධකයන් සහ එට්කා ගිවිසුම වෙනුවෙන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම පදනම් වන්නේ සමන් කැලේගම විසින් ඉදිරිපත් කරන පදනම මත වීම නිසාවෙනි.

ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමති මලික් සමරවික්‍රම, එම අමාත්‍යාංශ ලේකම්වරුන්, වාණිජ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් වහරන්නේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කයන් බව ඔවුන් සමඟ සාකච්ඡාවකදී අපට පැහැදිළි විය. එනම් සමස්තයක් ලෙස ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳව ශ්‍රි ලංකා රජයේ ස්ථාවරය බවට පත් වී ඇත්තේ ඉහත සමන් කැලේගම විසින් ඉදිරිපත් කර ඇති තර්කය වේ.

නමුත් සමන් කැලේගම මෙහිදී ඉදිරිපත් කරන කරුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු වේ.

ඉන්දියාවේ භාවිතාව හා කැලේගමගේ උපදේශනාත්මක අවභාවිතාව

චීනයේ ජනාධිපතිවරයා නිතරම ඉන්දියානු සංචාරවල නියැලෙන්නේ නැත. එලෙස චීන ජනපති ඉන්දියාවට පැමිණි අවස්ථාවකදි ඉන්දීය අගමැතිවරයා චීන ජනපතිගෙන් යම් ඉල්ලීමක් කරනවා නම් එය ඉන්දියාවට අත්‍යන්තයෙන්ම වැදගත් කාරණයක් අරඹයා විය යුතුය. 2014, සැප්තැම්බර් මස චීන ජනපති ජින්පින් ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ඔහු වෙත විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ දෙරට අතර වෙළද පරතරය අවම කර ගැනුමට තමනට සහය වන ලෙසයි. නමුත් සමන් කැලේගම අප රටේ පාලකයන්ට කියා දී ඇත්තේ ද්විපාර්ශවික වෙළෙද හිඟයන් නොතැකිය යුතු බවයි.

ඉන් පසුව 2015 වසරේදීත් ඉන්දියාව විසින් චීනයට එක්සත් ජනපද ඩොලර් බිලියන 10 ක භාණ්ඩ අපනයනය කරත්දී චීනය විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 63 ක පමණ භාණ්ඩ අපනයනය කර ඇත. එනිසා 2015 වසරේදී ඉන්දියාවට චීනය සමඟ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 53 ක් පමණ වේ. මෙම පරතරය 2014 වසරට සාපේක්ෂව සැළකිය යුතු ලෙස ඉන්දියාවට අවාසි සහගත ලෙස වර්ධනය වී ඇත. එනිසා 2016 මාර්තු මස ඉන්දියාවේ වෙළද සහ කර්මාන්ත ඇමතිනි ආචාර්ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ඉන්දියානු ලොක් සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කළ වාර්තාවක මෙලෙස සටහන් විය.

“චීනය වෙත අපනයනයන් නංවාලිමට සහ වෙළද හිඟය අඩු කර ගැනීමේ ඇති අවශ්‍යතාවය ඉන්දියාව විසින් චීනය වෙත දිගු කලක් තිස්සේ අවධාරණය කරමින් ඇත. එය තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සංවර්ධනයකට ඉතා වැදගත් වේ.”

ඇය විසින් 2016 මැයි මාසයේදි ප්‍රධාන වශයෙන් රටවල් 27 ක් සමඟ පසුගිය වසර තුනක් පුරා එක දිගට ඉන්දියාවට ද්විපාර්ෂවික වෙළඳ හිගයන් (සෘණ වෙළඳ පරතරයන්) පවතින බව ලොක් සභාව ඉදිරියේ සඳහන් කළාය. එසේම එම රටවල් සමඟ වෙළඳ හිගයන් පැවතීමට හේතු සාධක වන කරුණුද ඇය ඉදිරිපත් කළාය.
මෙමගින් අපට පෙනී යන කාරණය නම් ඉන්දියාව සිය වෙළද හිඟය පිළිබඳ දක්වන ආකල්පය සහ උනන්දුවයි. ඔවුන් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් පිලිබද නිරන්තර අවධානයකින් පසුවන බවත් ද්විපාර්ෂවික වෙළඳ හිඟයන් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සලකා බලමින් සිටින බවත් පැහැදිලිය. මන්ද යත් මේ සෘණ වෙළඳ පරතරය වර්ධනය වුවහොත් එය ඉන්දියානු රුපියල දුර්වල වීම කෙරෙහි, ඉන්දියාවේ ණය බර වැඩි වීම, සහ විදෙස් සංචිත අඩු විම වැනි ප්‍රතිපලයන්ට තුඩුදිය හැකි බැවිනි.

චීන ජනපති ඉන්දියාවේ සංචාරයක නියැලුණු අවස්ථාවේ ඉන්දීය අගමැතිවරයා විසින්ම ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තරමටම චීනය සමඟ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ඉන්දියාවට වැදගත් වී තිබියදී ලංකාවේ සමන් කැලේගම විසින් රටක් ද්විපාර්ශවික වෙළෙඳ හිඟයන් පිළිබඳව කලබල නොවිය යුතු බව පවසන්නේ කුමක් නිසාද යන කාරණය අපි දැන් විමසා බලමු.

ලංකාවෙ ප්‍රධාන ගැටලුව සැඟවිමට ගන්නා උත්සාහය

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2015 දී අප විසින් ඉන්දියාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 643 ක භාණ්ඩ අපනයන කරන අතරතුර එක්සත් ජනපද ඩොලර් මිලියන 4268 ක භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. ඒ අනුව 2015 දී දෙරට අතර සමස්ත වෙළඳාම එක්සත් ජනපද ඩොලර් මිලියන 4911 වන අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ ඇති වෙළඳ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 3625 ක් වේ. එම වසර සඳහා ලංකාවේ සමස්ත වෙළෙඳ හිඟයෙන් 40% කට වඩා සැකසී ඇත්තේ ඉන්දියාව සමඟ සිදු වුනු වෙළෙඳාමෙනි.

ඉන්දියාවේ සමස්ථ වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල මට්ටමක ගැටළුවක් ලංකාවේ සමස්ථ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවේ වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 6% ක් වන අතර ලංකාවේ එම අගය 10% කි. ඉන්දියාවට චීනය සමඟ ඇති වෙළද හිඟයේ ගැටළුවට වඩා බරපතල ගැටළුවක් ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය සම්බන්ධයෙන් ඇත. ඉන්දියාවට චීනය සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 2.5% වන අතර ලංකාවට ඉන්දියාව සමඟ වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4.5% පමණ වේ.

අද අප රට අද මුහුණ පාන විදේශ සංචිත පහළ යාම, රුපියල අවප්‍රමාණය වීම, ණය බර සහ දේශීය ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නට සිදු වීම යනාදි ආර්ථික ගැටළු රාශියකට හේතුව වන්නේ ශ්‍රී ලංකාව විසින් ඇති කරගෙන තිබෙන අධික වෙළෙඳ හිඟයයි. 2015 වසරේදි එම හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 8.5ක් පමණ වේ. වෙළෙදාමෙන් අත්වන මෙම හිඟය ප්‍රධාන වශයෙන්ම පියවෙන්නේ විදෙස් සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මඟිනි. එම ප්‍රේෂණවල ශුද්ධ අගය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ වේ. එට්කා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ සමස්ථ හිඟයෙන් දැනටත් 40%ක් පමණ වන ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ හිඟය තවත් වර්ධනය වන බව තේරුම් ගන්නට කුඩා දරුවෙකුට වුව හැකියාව ඇත. එසේම එට්කා ගිවිසුම හරහා මෙරටට එන ඉන්දියානු වෘත්තිකයින් මෙරටින් මුදල් ඉන්දියාව වෙත ප්‍රේෂණය කරනු ඇති නිසා අපගේ විදෙස් සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගයද (අප රටට එන මුදලෙන් රටින් පිටවන මුදල අඩු කළ විට ලැබෙන ශුද්ධ අගය) අඩුවන නිසා ගෙවුම් තුලන අර්බුදය එට්කා ගිවිසුම මඟින් තවත් උත්සන්න වනු ඇත.

සිය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟයන් පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් ක්‍රියාකරන ඉන්දියාව තම රට විසින් වැඩියෙන්ම ගනුදෙනු කරන චීනය සමඟ සේවා සඳහා තබා භාණ්ඩ සඳහාවත් කිසිදු ගිවිසුමකට එළැඹ නැත. එසේ එළැඹිම මඟින් චීනය සමඟ සිය ද්විපාර්ෂවික වෙළෙද හිඟය තවත් උත්සන්න වන බව ඉන්දියාව දනියි.

ඉන්දියානු රජයේ භාවිතාවට අනුව ශ්‍රි ලංකා රජයද ක්‍රියා කරන්නේ නම් ශ්‍රී ලංකාවේ පාලකයෙන්ගේ නොමඳ අවධානය ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා යොමු විය යුතුය. රජය විසින් එවැනි අවධානයක් යොමු කළහොත් ඉන්දියාව සමඟ ඇති වෙළෙඳ හිඟය සිය ප්‍රධානම ගැටළුව ලෙස ලංකා රජය විසින් හදුනා ගන්නවා ඇත. එවිට එට්කා වැනි ගිවිසුම් සාධාරනීකරණය කිරීම හිතළුවක් බවට පත්වනු ඇත. විදෙස් රටවල අරමුදල් වලින් වැටුප් ලබන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක සමන් කැලේගම ගේ භූමිකාව මේ අරඹයා තීරණාත්මක වෙයි. ඔහුගේ ප්‍රධාන වගකීම වී ඇත්තේ රජයේ අවධානය ද්විපාර්ෂවික වෙළෙඳ හිඟය වෙත යොමු වීම වැළැක්වීම බව ඉතා පැහැඳිළිය.

සියළුම රටවල් සමඟ වෙළෙඳ අතිරික්තයන් පැවැත්වීම ප්‍රායෝගික නොවන බවට ඕනෑම අයෙකුට පැහැඳිළි කාරණයක් පවසා රටක් වශයෙන් අතිරික්ත වෙළඳ පරතරයන් වැඩි කරගන්නනට උත්සාහ ගන්නා අතරම හිඟ වෙළඳ පරතරයන් අවම කර ගැනිමට උත්සාහ දැරිය යුතු බව අවධාරණයට ලක් වීම වැළැක්වීමට සමන් කැලේගම ඉතා සූක්ෂම ලෙස කටයුතු කරන ආකාරය ඔහුගේ ප්‍රකාශය තුළින් පැහැඳිළි වේ. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳවම ආචාර්යවරියක් වන ඉන්දියාවේ වෙළෙඳ ඇමතිනිය සමන් කැලේගම වැන්නන්ගෙන් උපදෙස් ලබා ගෙන නැති බව ඉතා පැහැඳිළිය. නමුත් පාසල් අධ්‍යාපනය පමණක් ලබා ඇති ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන් හට සිය විෂයපථය සම්බන්ධයෙන් ඇත්තේ ඉතා අල්ප දැනුමකි.

වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ සමන් කැලේගම විසින් ඉන්දියාව සමඟ වෙළඳ හිඟය ලංකාව තුළ සිදු කරන ඉන්දියානු ආයෝජන නිසාවෙන් තුලනය වන බව පැවසීමයි. එදා මෙදා තුර ඉන්දියාව විසින් ලංකාවේ සිදු කර ඇති සමස්ථ ආයෝජනයනගේ එකතුව ඇමරිකානු ඩොලර් බිලියන එකක් පමණ වේ. නමුත් ලංකාව සහ ඉන්දියාව අතර එක වර්ෂයකට පමණක් වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වේ. සමන් කැලේගම මෙය නොතේරෙන පුදගලයකු නොවන අතර ඔහුගේ එම ලේඛනයේම වෙනත් තැනක සමස්ථ ඉන්දියානු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියනයක් බව දක්වා ඇත. ඔහු මෙහිදී ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය විශාල වශයෙන් ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවට පට්ටපල් බොරු පවසන්නේ කවුරුන් රවටන්නද? ලංකාවේ පාලකයින් සහ අවසාන වශයෙන් මේ ගිවිසුම්වල වන්දිය ගෙවන්නට සිදු වන අහිංසක මහජනතාව රැවටීමට නොවේද?

එසේම සමන් කැලේගම විසින් ඉහත ලේඛනය පුරාවට ඉන්දියානු සහ ශ්‍රී ලංකා පිළ විසින් 2003 වසරේදී ඉදිරිපත් කළ ඒකාබද්ධ කමිටු වාර්තාව උපුටා දක්වයි. නමුත් සමන් කැලේගමද එහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇති සාමාජිකයෙකි. ඔහුට අමතරව එට්කා ගිවිසුමේ අනෙක් ප්‍රධාන ප්‍රවර්ධකයා වන මහාචාර්ය රොහාන් සමරජීව ද මෙම කමිටුව තුළ ලංකා පිළ නියෝජනය කළේය. එසේම අද බැඳුංකර වංචාවට ප්‍රාධානම සැකකරු වන අර්ජුන් මහේන්ද්‍රන්ද එවක රජයේ ආයෝජන මණ්ඩල සභාපතිවරයා ලෙස මෙහිදී ශ්‍රී ලංකා පිළ නියෝජනය කර ඇත.

ආර්ථික ඝාතක භූමිකාව: ජෝන් පර්කින්ස් සහ සමන් කැලේගම

ස්වයං පාපොච්චාරණයක යෙදුනු එක්සත් ජනපදය වෙනුවෙන් ආර්ථික කුලී ඝාතකයකු ලෙස සිය රැකියාව කළ ජෝන් පර්කින්ස් සිය පාපොච්චාරණය තුළ මෙවැනි වෙළඳ ගිවිසුම් පිළිබඳව සිය අත්දැකීම විස්තර කරයි.

“එක්සත් ජනපද රජය, සමාගම් තන්ත්‍රය සහ මා මෙන් ආර්ථික ඝාතක රැකියාවේ නියැලුණු මිනිසුන් එකතුවී NAFTA සහ CAFTA වැනි “නිදහස් වෙළඳ ගිවිසුම්” යැයි පවසන ගිවිසුම් සඳහා එළැඹිමට මධ්‍යම ඇමරිකානු රටවල් වෙත බලකරන ලදී. එම ගිවිසුම් මගින් යෝජනා කෙරුනේ කැනඩාවේ, එක්සත් ජනපදයේ සහ මධ්‍යම ඇමරිකාවේ ආර්ථික වර්ධනය කඩිනම් කිරීමයි. නමුත් මෙම ගිවිසුම් මගින් පෝසතුන් තව තව පොහොසත් වන බවත් දුප්පතුන් තව තවත් දුප්පත්වන බවත් ඒවායෝ නිර්මාපකයෝ දැන සිටියහ. බොහෝ විට දූෂිත රාජ්‍යයන් (එක්සත් ජනපදයද ඇතුළුව) අතර සිදුවන මෙවැනි ගිවිසුම් මඟින් කුඩා රටෙහි දේශීය ගොවියා සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනුමට පවතින බදු සහ බදු නොවන බාධකයන් සඳහා ඉඩ ලබා නොදෙයි.”
“නිදහස් වෙළඳ ගිවිසුම් මගින් මේ ආකාර වූ අසමානතාවයක් හරහා සාමාන්‍ය ජනයාගේ ජීවිත කොල්ල කමින් මධ්‍යම ඇමරිකානු රටවල ආර්ථිකයන් විනාශ කර දැමුනි. මෙම ගිවිසුම් පවතින්නේ මිනිස් අයිතිවාසිකම් උදුරාගෙන ඒ වෙනුවන්ට සමාගම්වල අයිතීන් ව්‍යාප්ත කිරීම සඳහායි.”

නිවැරදිව, ලංකාවේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන උගතෙකු නම් සමන් කැලේගමගේ උපදෙස විය යුත්තේ අනෙකක් නොව අපට දැඩි වෙළඳ හිඟයක් පවතින ඉන්දියාව සමඟ වෙළඳ පරතරය අවම කර ගැනීමට ගත හැකි පියවර ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කළ යුතු බවයි. ඒ සඳහා ඉන්දියාව වෙත ලංකාවේ අපනයනයන් වර්ධනය කරලීම සඳහා දැනට ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම මගින් ලංකාවට සිදුවන අසාධාරණයන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව ඉන්දියාව සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බවයි. නමුත් සමන් කැලේගම හට එට්කා ගිවිසුම සාධාරනීකරණය කර පෙන්වීම සඳහා කිසිදු හරවත් තර්කයක් වසර විස්සක් පමණ පුරාවට ඉදිරිපත් කරගැනීමට හැකි වී නැත. සමන් කැලේගම විසින් සිදු කර ඇති එකම ශාස්ත්‍රීය කටයුත්ත වී ඇත්තේ දේශීය ව්‍යවසායකයන් විසින් පෙන්වා දුන් ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තුළ ශ්‍රී ලංකා අපනයනයන් කෙරෙහි පවතින බදු නොවන බාධාවන් ඒ ආකාරයෙන්ම පිළිගැනීම පමණි. ඉන් පසු ඔහු විසින් ඉදිරිපත් කරන ඉළ ඇදෙන තර්කය වන්නේ එම බාධාවන් ඉවත් කරගැනීමට නම් සේවා සහ ආයෝජනද ඇතුළත් වඩාත් පුළුල් වූ එට්කා ගිවිසුමට ඉන්දියාව සමඟ එළැඹිය යුතුයි යන්නයි.

ඊට අමතරව ඉහත පෙන්වා දූන් පරිදි මෙම උපදේශකයා විසින් පාලකයින් ගොනාට අන්දන්න උත්සාහ කරන්නේ ද්විපාර්ශවික වෙළෙඳ හිඟය ගැන එතරම් නොතැකිය යුතු බවත් ඉන්දියාව සමඟ වෙළෙඳ හිඟය ඉන්දියානු ආයෝජන මඟින් තුලනය වන බවටත් කෙරෙන අතිශය සාවද්‍ය ඉගැන්වීම් මඟිනි. දේශපාලන නායකත්වය මෙම සාවද්‍ය ඉගැන්වීම් හිස මුදුනින් පිළිගන්නේ ඉන්දියානු බලපෑම මත ක්‍රියාකිරීමට අවශ්‍ය වන ව්‍යාජ න්‍යායන් එමඟින් ලැබෙන නිසාද? නොඑසේනම් ඔවුන් මේ උපදේශකයන් අතින් රැවටීමට ලක්වන නිසාද?

දූෂිත පාලකයන් විසින් තමන් කැමැත්තෙන්ම ගොනාට ඇද ගැනීම සඳහා හෝ අනුවණ පාලකයින් ගොනාට ඇන්දවීම සඳහා හෝ අවශ්‍ය සාවද්‍ය න්‍යායන් සහ මතවාද සකස් කිරීම හැර ආර්ථික ඝාතකයකුගේ කාර්යය අන් කවරක්ද?

-ලසන්ත වික්‍රමසිංහ
ලේකම්, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP)


යුතුකම සංවාද කවය

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *