බයිබල් පාඩම – 1 මාතෘකාව:- ශුද්ධ බයිබලය

ශුද්ධ බයිබලය යනු කුමක්ද ?

දෙවියන්වහන්සේ විසින් ස්වකීය මැවිල්ලේ අග්‍ර ඵලය වූ මනුෂ්‍යයාට කතාකරන හඬ ශබ්දය ශුද්ධ බයිබලයයි.එසේම එය දෙවියන්වහන්සේ විසින් එළිදරව් කළ තම මැවිල්ලවූ මනුෂ්‍යයා කෙරෙහි ඇති ස්වකීය අති මහත් ප්‍රේමයේ ශුද්ධවූ සැලැස්ම සහ කැමැත්ත ලේඛන ගතකොට ඇති මහා පුස්තකයයි. එලෙසින්ම එය සැබෑ ක්‍රිස්තු භක්තිකයින්ගේ විශ්වාසනීය ශුද්ධවූ ධර්ම ග්‍රන්ථයයි. එනම් මාංශීක තලයේ සිටින මනුෂ්‍යයෙකු ක්‍රිස්තුස් යේසුස්වහන්සේට සමානවූ පරිපූර්ණ කිතුනුවකුගේ ස්වභාවයට උසස් කිරීමට අවශ්‍යය සෑම මගපෙන්වීමක්ම සහ පියවරක්ම පැහැදිළිව, ක්‍රමාණුකූලව සහ පිළිවෙලට දෙවියන්වහන්සේ තමන් ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන විවිධ මනුෂ්‍යයන් ලවා ලේඛන ගතකොට ඇති සුවිශේෂිත ජීවමාන ශුද්ධවූ ග්‍රන්ථයයි. එසේම විශ්වයේ ආරම්භය සහ අවසානයත්, හේබ්‍රෙව්(ඊශ්‍රාඑල්) වර්ගයාගේ ආරම්භය, ඉතිහාසය සහ අනාගතයත්, මෙලොව ඉපදෙන සෑම මනුෂ්‍යයෙකුගේම මරණින් මතු ඉරණම විසඳෙන්නේ කෙලෙසද කියාත් එහි පැහැදිළිව සඳහන් කර ඇත.

අරමුණ :-

අප ශුද්ධ බයිබලය ගැන ඉගෙනගත යුත්තේ ඇයි ?

බයිබලය කියවීම සහ බයිබලයට සවන් දීම එය අධ්‍යයනය කිරීමේ මූලික අදියරයන් ලෙස හැදින්විය හැක. එනමුත් එහි අභ්‍යන්තර සාරය උරාගැනීමට නම් ක්‍රමාණුකූල ගැඹුරු අධ්‍යයනන්ට ඇතුල් විය යුතුය. පුද්ගලිකව ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ දේවවචනය මෙනෙහි කිරීමෙන් ඉගෙනගැනීම සහ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන නිවැරදිව උගන්වන ගුරුවරුන් තුළින් ඉගෙනගැනීම යන දෙආකාරයෙන්ම බයිබලය අධ්‍යයනය කළ හැකිය.

යමෙක් දෙවියන්වහන්සේව සැබෑ ලෙස දැනගැනීමටත්, අත්දැකීමටත් කැමතිනම් උන්වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කොට ඇති ශුද්ධ බයිබලය නිවැරදිවත්, ක්‍රමානුකූලවත්, දේවධර්මාණුකූලවත් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඉගෙන ගත යුතුයි. දෙවියන්වහන්සේව, යේසුස්වහන්සේව හා ශුද්ධාත්මයාණන්වහන්සේව අදහන බොහෝ දෙනෙක් ශුද්ධ බයිබලය කියවීමට සහ ඉගෙනගැනීමට දක්වන නැඹුරුතාවය ඉතා අඩු මට්ටමක පැවතීම තුළින් අපට ගම්‍යවන්නේ ඔවුන් තුළ ශුද්ධ බයිබලයේ අන්තර්ගතය සහ දේවධර්මයන් සම්බන්ධව වැරදි මතවාදයන් සහ වැරදි ආකල්පයන් පිරී ඇති බවයි. ( උදා :- එක් සභාවක ශුද්ධවූ ත්‍රීත්වය ගැන බයිබල් අධ්‍යයනයක් කිරීමෙන් පසු ලබාදුන් ප්‍රශ්න ඇසීම් වාරයේදී එක සහෝදරයෙක් ප්‍රකාශ කළේ , මෙතෙක්කල් ඔහු සිතාසිටියේ ශුද්ධවූ ත්‍රීත්වය තුළ පියාණන්වහන්සේට වැඩිම බලයක්ද, පුත්‍රයාණන්ට ඊට ටිකක් අඩු බලයක්ද, ශුද්ධාත්මයාණන්ට ඊටත් අඩු බලයක්ද අයත්ව තිබෙන බවකි. එලෙසම තවත් දිනක ගැලවීම නොලැබූ සහෝදරයෙක් කියාසිටියේ බයිබලයේ දෙවියන්වහන්සේ ලෙස ප්‍රකාශ කොට තිබෙන්නේ ස්වභාවධර්මයට බවයි.) එබැවින් අන්අය ප්‍රකාශ කරන මතවාදයන් මත යැපෙමින් අන්ධානුකරණයෙන් අතපතගෑම නවතා අප විසින්ම බයිබලය කියවා නිවැරදිව අධ්‍යයනය කරන විට අප තුළ ඇති වැරදි ආකල්ප සහ සැකයන් දුරුවීයන අතර , ශුද්ධ බයිබලය ගැන නිවැරදි හා ගැඹුරු තොරතුරු හොඳින් ඉගෙනගෙන ජීවිතයට ආදාල කරගෙන ඇදහිල්ලේ ස්ථීරත්වය තුළ පිරිපුන් වීමත් සමඟ බයිබලය ගැන නොදන්නා අයට නිවැරදිව කියාදීම තුළින් ඔවුන් වෙනුවෙන් ඇති දෙවියන්වහන්සේගේ සැලැස්ම හඳුනාගැනීමට ඔවුන්ට උදව් කිරීමත් ශුද්ධ බයිබලය ඉගෙනගැනීමේ අරමුණයි.

ශුද්ධ බයිබලයේ ලේඛන කලාව :-

“ග්‍රත්ථ” යන අරුථ ඇති ග්‍රීක් භාෂාවේ “Biblos” (බිබ්ලෝස්) යන වචනයෙන් ඉංග්‍රීසි භාෂාවේ “Bible” (බයිබල්) යන වචනය ගොඩනැගී ඇත. සිංහල භාෂාවේ ‍”බයිබලය” ලෙස භාවිතා කෙරේ. එසේම මෙය ශුද්ධ ලියවිලි (Holy Scriptures)ලෙසද ව්‍යවහර කරනු ලැබේ.

පපයිරස් පත්‍ර සකස්කරගන්නා රීඩ් නැමති පන් වර්ගය.

image

පුරාණයේ ශුද්ධ ලියවිල්ල ලේඛනගත කිරීමට උපයොගි කරගත් අමුද්‍රව්‍ය වන්නේ පපයිරස් (Papyrus) පත්‍ර නැමති නයිල් ගංගාව අසබඩ වැඩුණු රීඩ් නම් පන්වර්ගයක් කපා වේලා පදම්කර සකස්කරගත් පත්‍ර වර්ගයකි. (ලංකාවේ පුස්කොල පොත් වැනිය.) අඩි 10 ක් 12 ක් පමණ උසට වැඩෙන මෙම පන් වර්ගය අඟල් 3 ක් පමණ පළලින් යුක්ත වේ. පසු කාලීනව ශුද්ධ ලියවිල්ල සතුන්ගේ හම් වියලා සකස් කරගත් සම්පත්‍රවල ලියා ඇත. එළු, බැටළු, ගව ආදී සතුන්ගේ හම් පදම්කර සාදාගන්නා මෙම සම්පත්‍ර “පාච්මන්ට්” (Patchment) යනුවෙන් හඳුන්වා ඇත. පාච්මන්ට් පත්‍ර පපයිරස් පත්‍රවලට වඩා දීර්ග කාලයක් විනාශ නොවී පවතින බැවින් පසුකාලීනව ශුද්ධ ලියවිලි ලේඛනගත කිරීමට මේවා වැඩිවශයෙන් භාවිතාකර ඇත.
එසේම ගවපැටවුන්ගේ හම් භාවිතාකොට සකස්කරගත් විශේෂිත සම්පත්‍ර වර්ගයක්ද සමකාලීනව භාවිතා කර ඇත. මේවා “වෙළුම්” (Vellum)යනුවෙන් හඳුන්වනු ලැබේ. දම්පාට වර්ණ විශේෂයක පොඟවා මේවා වර්ණවත් කරගත් අතර රන් සහ රිදී පැහැති අකුරින් සටහන් තබා ඇත.

හකුලන පොතක් ලෙස සැකසූ ශු: ලියවිලි කොටසක්.

image

මෙම පපයිරස් සහ පාච්මන්ට් ලියවිලි රැගෙන යාමේ සහ තැන්පත්කර තැබීමේ පහසුව පීණිස රෝල්කර හකුලා තැබීමේ ක්‍රමවේදයක් පැරැණ්නන් විසින් සකස්කර ගත්හ. එනිසා එසේ හකුලා තැබූ ලියවිලිවලට “හකුලන පොත් ” හෙවත් (Scrolles)යනුවෙන් භාවිතා කළහ. සාමාන්‍යයෙන් මෙම හකුලන පොතක් අඩි 20 සිට 35 ක් දක්වා පමණ දිගවේ. ශු: ලූක 4:17-20 හි යේසුස්වහන්සේ යෙසායා දිවැසිවරයාගේ හකුලන පොතින් ශුද්ධ ලියවිලි කොටසක් කියවූ සේක.
එම යුගයට සමකාලීනව තවත් ලේඛන ක්‍රම කීපයක් පැවතිනි. මැටිභාජන සාදා වියලා පිලිස්සීමට පෙර , සංඛේත අක්ෂර සහ චිත්‍ර භාවිතාකර විවිධ අදහස් ප්‍රකාශ කර තැබීම සුලබව සිදුවී ඇත. ඊට අමතරව මැටිවලින් පුවරු (Clay Tablets)සකස්කර ඒමත අකුරු ලියා වේලා පුළුස්සා ගැනීමද එකල පැවති ප්‍රකට ලේඛන ක්‍රමයකි. එලෙසම කළුගල් ගල්ලෑලි ලෙස සකස්කරගෙන ඒමත විවිධ රූප සහ ඒසමාන අක්ෂර වර්ග යම් අයුධයක් (ගල් කටු වැනි) උපකාරයෙන් ලියාතැබීමේ ක්‍රමවේදයද එම යුගයේ විශේෂිත ලේඛන ක්‍රමයකි. එවැනි ලිපි ශිලා ලේඛන ලෙස නම්කර ඇත. වටිනා ලිපි ලේඛන දිගුකාලයක් විනාශ නොවී සුරක්ෂිත කරගැනීමට පැරැණ්නන් මෙම ක්‍රමය භාවිතාකර ඇත. සීනායි කන්දේදී මෝසෙස්ට දසපනත දීමේදී දෙවියන්වහන්සේද මෙම ක්‍රමය උපයෝගී කරගත් සේක. නමුත් උන්වහන්සේ දසපනත ලිව්වේ ගල්කටු වලින් නොව තමන්වහන්සේගේම ඇඟිලලෙන් (නික්මයාම 31:18) බව ශුද්ධ ලියවිලි සාක්ෂි දරති. මේ අයුරින් බලන කල ලේඛන කලාවේ සෑම ක්‍රමයකින්ම ශුද්ධ ලියවිලි කොටස් ලේඛනගතවී තිබීම ශුද්ධ බයිබලයටම ආවේනික විශේෂත්වයකි. තවත් ටික කලකට පසු පපයිරස් පත්‍ර සහ පාච්මන්ට් හම්පත්‍ර එක උඩ එක තබා පොතක් ආකාරයට පිටු පෙරලිය හැකිලෙස එකට බැඳ සකස් කරගන්නා ලදි. මෙසේ සකසන ලද පිටපත් “කොඩෙක්ස්” (Codex) පිටපත් ලෙස නම්කර ඇත.

ශුද්ධ බයිබලයේ ව්‍යාප්තිය :-

    • ලෝකයේ ඉතාමත් බහුල ලෙස ව්‍යාප්තව ඇති ග්‍රන්ථය වන්නේ ශුද්ධ බයිබලයයි.
    • ක්‍රි: වර්ෂ 2016 අවසානය වන විට සම්පූර්ණ බයිබලය භාෂා 636 කටත්, නව ගිවිසුම සහ එහි කොටස් භාෂා 1442 කටත්, කුඩා පොත් සහ මුද්‍රිත පත්‍රිකා වශයෙන් භාෂා 1145 කටත් පරිවර්තනය කර ඇත.

බයිබලය සහ එහි කොටස් පරිවර්තනය
කර ඇති භාෂාවන් ගණන

image

  • ඒ තුළින් ලෝකයේ කිතුනු ජනතාවගෙන් 90% කටම තමන්ගේ භාෂාවෙන් කියවීමට බයිබලයක් ලබාදීමට හැකිවී ඇත.
  • වාර්ෂීකව බයිබල් පිටපත් කෝටි 10 ක් පමණ ලොව පුරා බෙදා හරිනු ලබයි.
  • ලෝකයේ වැඩිම අලෙවියක් සිදුවන එකම ග්‍රන්ථය වන්නේ ශුද්ධ බයිබලයයි.
  • එක් මිනිත්තුවක් තුළදී ලෝකය පුරා බයිබල් පිටපත් 50 ක් පමණ අලෙවි වෙයි.

ශුද්ධ බයිබලයේ අන්තර්ගතය :-

  • කිතුණුවන්ගේ එකම, ශුද්ධවූ ධර්ම ග්‍රන්ථය වන ශුද්ධ බයිබලය පරණ ගිවිසුම සහ නව ගිවිසුම ලෙස ප්‍රධාන කොටස් 2 කට බෙදා ඇත.
  • පරණ ගිවිසුම පොත් 39 කින් සහ නව ගිවිසුම පොත් 27 කින් සමන්විත වන අතර, සම්පූර්ණ ශුද්ධ බයිබලය පොත් 66 කින් සෑදී ඇත.
  • පරිච්ඡේද 1189 කි. පරණ ගිවිසුම පරිච්ඡේද 929 කින් සහ අලුත් ගිවිසුම පරිච්ඡේද 260 කින්ද සමන්විතය.
  • බයිබල් පද 31,173 කි. (ඉංග්‍රීසි පරිවර්ථනයට අනුව) පරණ ගිවිසුමේ පද 23,145 ක්ද, අලුත් ගිවිසුමේ පද 7,959 ක්ද ඇත.
  • පරණ ගිවිසුමේ වචන 592,439 ක් සහ නව ගිවිසුමේ වචන 181,253 ක් අඩංගු වේ. (බයිබල් පද සහ වචනවල ගණනයන් දක්වා ඇත්තේ ආසන්න සංඛ්‍යාවන්ට වන අතර විවිධ පරිවර්ථනයන්ට සහ අනුවාදයන්ට අනුව මෙම අගයන් වෙනස්විය හැකිබව කරැණාවෙන් සලකන්න.)
  • එලෙසම අනාගත වාක්‍යය 8,000 ක්, අණකිරීම් 6,468 ක්, ප්‍රශ්ණ 3,294 ක්, පොරොන්දු 1,260 ක් ලෙසද ගණනය කර ඇත.

ශුද්ධ බයිබලයේ පොත් වර්ගීකරණය :-

පැරණි ගිවිසුම වර්ගීකරණය :-

  1. පංච පුස්ථකය හෙවත් ව්‍යවස්ථා පොත් – 5
  2. ඉතිහාස පොත් – 12
  3. පද්‍ය පොත් – 5
  4. ප්‍රධාන අනාගතවක්තෘ පොත් – 5
  5. සුළු අනාගතවක්තෘ පොත් – 12

පංච පුස්ථකය හෙවත් ව්‍යවස්ථා පොත් – 5

    1. උත්පත්ති
    2. නික්මයාම
    3. ලෙවි කතාව
    4. ගණන් කතාව
    5. ද්වීතීය කතාව

ඉතිහාස පොත් – 12

    1. යොෂුවා
    2. විනිශ්චයකාරයන්ගේ පොත
    3. රූත්ගේ කතාව
    4. 1 සාමුඑල්
    5. 2 සාමුඑල්
    6. 1 රාජාවලිය
    7. 2 රාජාවලිය
    8. 1 ලේකම්
    9. 2 ලේකම්
    10. එස්රා
    11. නෙහෙමියා
    12. එස්තර්

පද්‍ය පොත් – 5

    1. යෝබ්
    2. ගීතාවලිය
    3. හිතෝපදේශ
    4. දේශණාකාරයා
    5. සාලමොන්ගේ ගීතිකාව

ප්‍රධාන අනාගතවක්තෘ පොත් – 5

    1. යෙසායා
    2. යෙරමියා
    3. විලාප ගී
    4. එසකිඑල්
    5. දානිඑල්

සුළු අනාගතවක්තෘ පොත් – 12

  1. හොෂෙයා
  2. යෝඑල්
  3. ආමොස්
  4. ඔබදියා
  5. යෝනා
  6. මීකා
  7. නාහුම්
  8. හබක්කුක්
  9. ශෙපනියා
  10. හග්ගයි
  11. ශෙකරියා
  12. මලාකි

නව ගිවිසුම වර්ගීකරණය :-

  1. ශුභාරංචි පොත් – 4
  2. ඉතිහාස පොත් – 1
  3. පොදු යැවුම් පත්‍ර – 14
  4. සාමාන්‍යය යැවුම් පත්‍ර හෙවත් විශ්වීය ලිපි – 7
  5. අනාගතවාක්‍ය පොත් -1

ශුභාරංචි පොත් – 4

    1. ශුද්ධවූ මතෙව් තුමා විසින් ලියන ලද ශුභාරංචිය
    2. ශුද්ධවූ මාර්ක් තුමා විසින් ලියන ලද ශුභාරංචිය
    3. ශුද්ධවූ ලූක් තුමා විසින් ලියන ලද ශුභාරංචිය
    4. ශුද්ධවූ යොහන් තුමා විසින් ලියන ලද ශුභාරංචිය

ඉතිහාස පොත් – 1

    1. ප්‍රේරිතයන්ගේ ක්‍රියා

ප්‍රේරිතවූ පාවුල් තුමන් විසින් ලියන ලද පොදු යැවුම්පත්‍ර – 14

    1. රෝම වාසීන්ට ලියන ලද පත්‍රය
    2. කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන පත්‍රය
    3. කොරින්තිවරුන්ට ලියන ලද දෙවන පත්‍රය
    4. ගලෙවරුන්ට ලියන ලද පත්‍රය
    5. එපිසවරුන්ට ලියන ලද පත්‍රය
    6. පිලිප්පිවරුන්ට ලියන ලද පත්‍රය
    7. කොලොස්සිවරුන්ට ලියන ලද පත්‍රය
    8. තෙසලෝනිකවරුන්ට ලියන ලද පළමුවන පත්‍රය
    9. තෙසලෝනිකවරුන්ට ලියන ලද දෙවන පත්‍රය
    10. තිමෝතියස්ට ලියන ලද පලමුවන පත්‍රය
    11. තිමෝතියස්ට ලියන ලද දෙවන පත්‍රය
    12. තීතස්ට ලියන ලද පත්‍රය
    13. පිලෙමොන්ට ලියන ලද පත්‍රය
    14. හේබ්‍රෙව්වරුන්ට ලියන ලද පත්‍රය

ප්‍රේරිතයන් විසින් ලියන ලද සාමාන්‍ය යැවුම්පත්‍ර – 7

    1. යාකොබ්ගේ පත්‍රය
    2. පේත්‍රැස්ගේ පළමුවන පත්‍රය
    3. පේත්‍රැස්ගේ දෙවන පත්‍රය
    4. යොහන්ගේ පළමුවන පත්‍රය
    5. යොහන්ගේ දෙවන පත්‍රය
    6. යොහන්ගේ තුන්වන පත්‍රය
    7. යුදස්(යූද්)ගේ පත්‍රය

අනාගතවක්තෘ පොත් – 1

  1. ශුද්ධවූ යොහන්ට දෙනලද එළිදරව්ව

 

 

 

srilankanunitedgospelchurch.com

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *