සැමට සහජීවනයෙන් විසිය හැකි ලෝකයක් බිහිකර ගත හැක්කේ කෙසේද ? – ඕෂෝ

බෙදුණු ලෝකය

ජාති, කුල, ආගම් හා අනෙකුත් භේදවලින් තොරව සැමට සහජීවනයෙන් විසිය හැකි ලෝකයක් ගැන ශිෂ්ට මිනිසා හැම කාලෙකම සිහින මැව්වේය. එම ලස්සන ලෝකය බිහිකර ගත හැක්කේ කෙසේද යන්න ගැන ඕෂෝ දෙසට අපි මෙතැන් සිට සවන් දෙමු.

සමාජය, සංස්කෘතික, ආගමික හා ජාතික යනාදී බෙදීම්වලින් පිරී ඉතිරී ගිය තැනක් බැව් අපට පෙනුණද සැබැවින්ම මේවා හටගන්නේ මිනිසා සිතන පතන ආකාරය අනුවය. මිනිසා ඇතුළතින් බෙදී ඇති පුද්ගලයකු නිසා එම අභ්‍යන්තර අවුල ඔහුට නොදැනුවත්වම පිටට පනී. නිරවුල් සමාජයක් බිහිකිරීමට හෙතෙම අසමත් වන්නේ තමා තුළ පවතින මෙම බරපතළ බෙදීම/අවුල හේතුවෙනි. කාල් ගුස්ටාව් ජුන්ගේ මනෝ විශ්ලේෂණ න්‍යායට අනුව මිනිසා පැවත එන්නේ තිරිසන් සතුන්ගෙනි. මිනිසකු ගැඹුරින් මෝහනය කරන මනෝ වෛද්‍යවරයකු ප‍්‍රථමයෙන්ම ඇතුළත් වන්නේ ඔහුගේ අවිඥානය හෙවත් බලෙන් යටපත් කොටගෙන සිටින මනස වෙතය. තවත් එහාට ගමන් කළ විට මිනිසාගේ සාමූහික අවිඥානය මනෝ වෛද්‍යවරයාට හමුවෙයි. එම අවස්ථාවට ගිය විට මිනිසා සතෙකු මෙන් විවිධ ශබ්ද නඟයි. ඇවිදින්නැයි අණ කළ විට හතර ගාතයෙන් ගමන් කරයි. සාමූහික විඥානය තුළ මිනිසාගේ තිරිසන් ගති පැලපදියම් වී ඇතැයි කාල් ගුස්ටාව් ජුන් අවධාරණය කරයි. කපටිකම, වෛරය, ඊර්ෂ්‍යාව හා අධිපතිවාදය යන මෙකී නොකී දුර්ගුණ මිනිසාගේ සාමූහික විඥානය තුළින් නොසිතූ විටෙක පොලාපනින බවත්, ඒවා මුලිනුපුටා දැමීම හිතන තරම් ලෙහෙසි නැති බවත් ජුන් පවසයි. මිනිසත්කම් සමග මෙකී තිරිසන් ගති පවතින තාක් කල් මිනිසා ඇතුළතින් බෙදුණු සත්වයෙකු ලෙස ක‍්‍රියාකිරීම නොවැළැක්විය හැකිය. බෙදුණු සත්වයා නිර්මාණය කරන්නේ ද බෙදුණු සමාජයකි. ‘ආධ්‍යාත්මික දියුණුව’ යනු මිනිසා තුළ කිඳා බැස ඇති ඉහත කී තිරිසන් මනස සම්පූර්ණයෙන්ම උපුටා දැමීමේ භාරධුර කර්තව්‍යයකි. මිනිසාගේ දෙබිඩි බව දුරුවන්නේ එවිටය.

මතුපිට අතගෑම

රුසියානු ස්වෛරීවාදීන් ලෙස සැලකෙන ක්‍රොපොට්කින් හා බකුනින් හැමවිටම කීවේ සියලූ ආණ්ඩු විසුරුවා හැර කම්කරුවන්ගේ ස්වේච්ඡුා සම්මේලන හරහා රටවල් පාලනය කළ යුතු වගයි. එහෙත් එය සිදුවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ටද අදහසක් නැත. කාල් මාක්ස්, එංගල්ස් සහ ලෙනින්ට අනුව සමාජ සාධාරණත්ව ඉටුවන්නේ පංති රහිත සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම මගින් පමණි. සමාජයේ අඥාන බහුතරය වෙත රටක පාලන බලය පැවරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස හැඳින්වෙන බවත්, එතැන උගතුන්ට තැනක් හිමි නොවන බවත් ෆැසිස්ට්වාදීහු පවසති. ඒකාධිපති දාර්ශනිකයකු පාලකයා ලෙස පත්කරගැනීම වඩා සුදුසුයැයි ඔවුහු අදහති. 1917දී සිදුකළ රුසියානු විප්ලවය ඔස්සේ පංති රහිත සමාජයක් ගොඩනැඟීමට ලෙනින් අපේක්ෂා කළද, එය යථාර්ථයක් බවට පත්කිරීමට ඔහු අපොහොසත් විය. පුද්ගල නිදහස හා සමානාත්මතාව ඇතිකිරීම මාක්ස් ලෙනින්වාදීන්ගේ අභිලාෂය වුවද, අවසානයේ සිදුවූයේ සාමූහිකත්වයේ නාමයෙන් ඒවා නැත්තටම නැති කිරීමයි. විවාහ වීමේ ඉඩකඩ සම්පූර්ණයෙන් අහුරා දැමුවහොත්, තනි පවුල් ලෙස මතුවන පුද්ගලික ඉඩම් හිමියන් බිහි නොවනු ඇතැයි වරෙක කාල් මාක්ස් තර්ක කළේය. කායික ආශා පවා සාමූහිකත්වය තුළ හිඳිමින් සන්තර්පණය කරගත යුතුයැයි හෙතෙම කීය.

බිරිඳ හා දරුවන් නිසා හටගන්නා පවුල් සංස්ථාව, පංති රහිත සාමූහිකත්වයට බාධාවක් වග මාක්ස් ඇදහීය. පුද්ගලික දේපල ක‍්‍රමය අහෝසි කළ විට පුතෙකුට/දුවෙකුට පියාගෙන් හෝ මවගෙන් උරුමවීමට කිසිවක් ඉතිරි නොවේ. ‘මගේ බිරිඳ, මගේ දරුවෝ’ යන පෞද්ගලික හිමිකම් ද, විවාහවීම තහනම් කිරීම මගින් අහෝසි කළ හැකියැයි මාක්ස් කීවේ එම නිසාය. රුසියානු විප්ලවයෙන් පසු විවාහය තහනම් කිරීමට රතු පාලකයන් උත්සාහ කළද ඊට එරෙහිව නැඟී ආ දැඩි මහජන විරෝධය හේතුවෙන් එම සැලැස්ම හකුලාගැනීමට ඔවුන්ට සිදුවිය. ගොවීන්ගේ පුද්ගලික ඉඩම් ආණ්ඩුවට පවරාගෙන ගොවීන් අමු අමුවේ ඝාතනය කොට දැමිණි. තම ගව පට්ටිය, කුඩා නිවස හා ගොවිපල රජයට පවරාදීමට අකමැති වූ ගොවියාට හිමිවූයේ මරණයයි. දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සමාජ ක‍්‍රමය පවත්වාගෙන යාම සඳහා කෘර නිලධාරී පැලැන්තියක් අවශ්‍ය වූයේ, පෞද්ගලික දේපල කෙරෙහි මිනිසුන් තුළ තිබෙන ආශාව වර්ධනය කළ හැක්කේ එමගින්යැයි රතු පාලකයන් විශ්වාස කළ හෙයිනි. පංති රහිත සමාජයක් වෙනුවට ප‍්‍රධාන පංති දෙකකින් සමන්විත රුසියාවක් විප්ලවයට පසුව ස්ථාපිත විය. ඒකාධිපති බලතල සහිත කොමියුනිස්ට් පක්ෂයේ සුපිරි නිලධාරී පැලැන්තිය හා සිය නිවස හා හරකබාන පවා අහිමි වූ බලරහිත සාමාන්‍ය පංතිය ලෙස එම බෙදීම නිර්වචනය කළ හැකිය. කොමියුනිස්ට් පක්ෂ නිලධාරියකු වීම, සාමාන්‍ය කෙනෙකුට සැබෑ කරගත හැකි සිහිනයක් නොවීය. ධනපති සමාජයක් තුළ දුප්පතෙකු පොහොසතෙකු වීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. අවශ්‍ය නම් පොහොසත් කෙනෙකුට දුප්පතෙකු වීමේ අවකාශයද ඒ තුළ තිබේ. එහෙත් කොමියුනිස්ට් රාජ්‍යයක් තුළදී බලධාරීන්ගේ නියමයන්ට එරෙහි වන අය සැලකෙන්නේ ද්‍රෝහීන් ලෙසය. වෙනස් ලෙස සිතන අය වහා විනාශ කිරීම රතු පාලකයන්ගේ පරිචයයි. පංති රහිත සමාජයක් බිහිකිරීමට ගොස් එංගල්ස්, මාක්ස් හා ලෙනින් නතර වූයේ ගල් ගැසුණු ප‍්‍රතිවිරෝධාත්මක පංති දෙකක් සහිත, නිදහස් චින්තනයෙන් තොර සමාජ ක‍්‍රමයක් ස්ථාපිත කරමිනි.

කොමියුනිස්ට්වාදය හා හින්දු ආගම

හින්දු සම්ප‍්‍රදායේ ප‍්‍රාරම්භකයා ලෙස සැලකෙන මනු, මීට වසර 5000කට පමණ පෙර සිදු කළේද රුසියාවේ කොමියුනිස්ට්වරුන් එම රට තුළ සිදුකළ දේමය. බ‍්‍රාහ්මණ, ක්ෂත‍්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර ලෙස හෙතෙම හින්දු සමාජය පංති හතරකට බෙදීය. හැම කෙනෙකුම තමා උපදින කුලය තුළ සිරවී, ගල්ගැසී සිටිය යුතුමය. කසල ශෝධකයාගේ පසු පරම්පරාවද එම වෘත්තියේම නිරත විය යුතුය. වෙනත් රැුකියාවක් ගැන සිතීම පවා ඔහුට තහනම්ය. කෙනෙකු කිතු දහමට කැමති නම්, ඔහු/ඇය ඊට හරවාගැනීමේ නිදහස කිතුනු පල්ලිය සතුය. කතෝලිකයෙකුට බුද්ධාගම්කාරයකු වීමේ ඉඩ ප‍්‍රස්ථාවද තිබේ. එහෙත් හින්දු සමාජ ක‍්‍රමය තුළ මෙවැනි නිදහසක් දක්නට නොමැත. ශුද්‍රයකුට, බමුණකු වන්නට බමුණු පැලැන්තිය කිසිසේත් ඉඩ නොදෙයි. ශුද්‍රයකුගේ සෙවණැල්ල තමා මත පතිත වුවහොත් බමුණා වහාම ස්නානය කොට පිරිසිදු වෙයි. කොමියුනිස්ට් පක්ෂ පොලිට්බ්යුරෝ සාමාජිකයකු දෙස සාමාන්‍ය රුසියානුවකු බලන්නේ ශුද්‍රයකු බ‍්‍රාහ්මණයකු ලෙස බියපත්ව බලන ආකාරයෙන්මය. කෙසේ වෙතත්, හින්දු සමාජයේ බලවත්ම පංතිය වූ බමුණන්ට එරෙහිව එහි දෙවැනි පැලැන්තිය වූ ක්ෂති‍්‍රයයන් වරින්වර නැගී සිටීම නොවැළැක්විය හැකි විය. ජෛන ආගම් නායකයකු වූ මහාවීර හා බුද්ධ දර්ශනයේ නිර්මාතෘ වූ ගෞතම බුදුන් මෙකී විප්ලවයේ පෙරගමන්කරුවන් ලෙස සැලකිය හැකිය. ජෛනයෝ, බමුණන්ගේ අධිකාරීමය බලයට විරෝධය දැක්වුවද, ඔවුන්ට පහළින් තිබූ පංති දෙකට (වෛශ්‍ය, ශුද්‍ර) තම ආගම වැළඳගැනීම සඳහා කිසිදු අනුග‍්‍රහයක් නොදැක්වූහ. අනෝමා, යමුනා, ගංගා හා අචිරවතී යන ගංගාවල ජලය මහමුහුදට එක්වුණු පසු මුහුදු වතුර බවට පත්වෙන්නා මෙන් කුල හතරට අයත් පුද්ගලයන් මහණ වුණු පසු ඔවුන් බුද්ධ පුත‍්‍රයන් වනු ඇතැයි බුදුන් වහන්සේ දේශනා කළහ.

ජෛන ආගම් නිශ්චිත කාලයක් ඇතුළත අභාවයට ගියේත් බුදුදහම ලොව දස දෙස පැතිර ගියේත් බුදුන් වහන්සේ සිය දර්ශනය සැමට එක සේ වැළඳගත හැකි ඇදහිල්ලක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රිකකරණය කළ හෙයිනි. වසර 5000ක් ගෙවී ගිය පසුවද හින්දු ආගම, අඩුවැඩි වශයෙන් ඊට ආවේණික පංති හතර තවමත් ලොව තුළ නොනැසී පවතින හෙයින් මනු, කාල් මාක්ස්ට වඩා සාර්ථක හා ප‍්‍රායෝගික දාර්ශනිකයකු වීයැයි කිව හැකිය. එහෙත් පංතීන් අතර තිබෙන ගල් ගැසුණු ස්වභාවය නිසා හින්දු දර්ශනය දැඩිව අදහන සමාජයක් කිසි විටෙක පෙරට නොයයි. මන්ද, දක්ෂ සටන්කරුවකු වන ශුද්‍රයකුට හමුදාවට බැඳීමේ අවකාශයක් නොමැත. සොල්දාදුවන් වන්නේ ක්ෂත‍්‍රියයන් පමණි. හොඳ ව්‍යාපාරිකයකු වීමේ හැකියාව බමුණකු තුළ තිබුණද ඔහුට වෛශ්‍ය කුලයේ කෙනෙකු මෙන් වාණිජ කටයුතුවල නියැලීම තහනම්ය. හින්දු ඇදහිල්ල රාජ්‍ය ආගම නොකොට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය සිය ව්‍යවස්ථාවෙන්ම සියලූ පුරවැසියන්ට තිළිණ කිරීමට ඉන්දියාව ක‍්‍රියාකළේ, හින්දු දර්ශනයේ තිබෙන සීමාසහිතකම් ගැන එරට පාලකයන්ට හොඳ හොඳ වැටහීමක් තිබූ හෙයිනි. නිදහස් ඉන්දියාවේ ප‍්‍රථම අධිකරණ අමාත්‍ය ධුරය හෙබවූයේ ශුද්‍ර කුලයට අයත් උගතෙකු වූ ආචාර්ය බිමිරා ඕ අම්බෙඞ්කාර් විසිනි.

සාමයේ උදාව

සාමකාමී මානව සමාජයක් බිහිකිරීමට මිනිසා අසමත් වූයේ, ඔහුගේ මිනිස් විඥානය හා තිරිසන් අවිඥානය අතර නිරායාසයෙන් හටගන්නා මහා ඝට්ටනය සමථයකට පත්කිරීමේ සියුම් කලාව ගැඹුරින් ග‍්‍රහණය කිරීම ඔහු වෙතින් ගිලිහී ගිය හෙයිනි. මෙම දෙබිඩි බව තුරන් කරන තෙක් සදාකාලික සාමයක් ලොව තුළ ස්ථාපිත කිරීමේ අවස්ථාව මනුෂ්‍යයාට උදා නොවේ. නිවැරදි භාවනාව යනු මනුසත්කම් පිරි විඥානය වර්ධනය කිරීමත්, තිරිසන් පුරුදු රැුගත් අවිඥානය හෙමි හෙමින් තුරන් කිරීමත් වේ. මෙහි අවසාන ඵලය වන්නේ සුපිරිසිදු උසස් විඥානයක් භාවනානුයෝගියාට හිමිවීමයි. ඒ සමග ඔහු තුළ මෙතෙක් තිබූ දෙබිඩි බව වියැකී යයි. සියලූ බෙදීම්වලින් තොර මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීමේ මුල් ගඩොල වීමේ හැකියාව මේ යථාවබෝධය ඔස්සේ ඔහු වෙත තිළිණ වේ. දෙබිඩි බවින් මිදුණු, යථාවබෝධය ලද පුද්ගලයා සමාජයේ සියලූ කොටස්වල ගරුබුහුමනට නිතැතින්ම පාත‍්‍ර වීම ස්වභාවිකය. මන්ද, ඔහු සතු ආධ්‍යාත්මික ශක්ති කදම්බය දස අත විහිද යන බැවිනි. ක්ෂත‍්‍රියයකු වූ ගෞතම බුදුන්ගේ දෙපා මුල ඊට ඉහළ කුලයට අයත් බමුණන් වැඳ වැටුණේ මේ නිසාය. උන් වහන්සේ තුළ වූ ප‍්‍රඥාව හා මහා කරුණාව සතා සීපාවට පවා දැනුණි. ගිරවුන් මෙන් වේද ග‍්‍රන්ථ හා ස්තෝත‍්‍ර කට පාඩම් කළ බමුණන්ට නිවන් අවබෝධ කරගැනීමට හැකි වූයේ ඔවුන් පසු කලෙක බුදුන් වහන්සේගේ අනුගාමිකයන් බවට පත්වූ නිසාය. සමාජය තුළ යහපත් වෙනස්වීම් සමුදායක් සිදු කළ හැක්කේ, මිනිසා සාධනීය ලෙස වෙනස්කිරීමෙන් පමණි. ඔබ යුදෙව්වකු, කිතුනුවකු හෝ වෙනත් ආගමක් අදහන අයෙකු විය හැකිය. එහෙත් සැබෑ භාවනාවට එවැනි බෙදීම් කිසිසේත් අදාළ නොවේ. ‘සමාජය’ යනු මිනිසා විසින් ගොඩනඟන ලද සංකල්පීය වචනයකි. ලොව තුළ සැබැවින්ම සිටිනුයේ මනසක් සහිත මිනිසුන්ය. සමාජයට ආත්මයක් හෝ සිතක් නොමැති හෙයින් ඒ තුළ වෙනස්කිරීම පිණිස කිසිවක් නොපවතී. එක් මිනිසෙකු තුළ ඇති දෙබිඩි බව තුරන් කිරීමේ සියුම් කලාව යමෙකු අවබෝධ කරගතහොත්, එය අනෙක් මිනිසුන් වෙනස්කිරීම සඳහාද පහසුවෙන් උපයෝගී කරගත හැකිය. බාහිර විප්ලව හා උද්ඝෝෂණ කෙතරම් දියත් කළද, ඒවා කෙළවර වන්නේ හිටියාටත් වඩා බරපතළ අවුලකට අප ඇද දැමීමෙනි. අප අපේක්ෂා කරන සාමකාමී ලෝකය බිහිකළ හැක්කේ භාවනාව නමැති අභ්‍යන්තර විප්ලවය වෙත මිනිස්නු ඇදබැඳ ගැනීම ඔස්සේය.

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *