බුදු දහමෙන් කිතුනු සාහිත්‍යය වර්ධනයට දායකත්වයක් ලැබුණේ නැහැ……..?

 

සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ කිතුනු සාහිත්‍යයයෙන් ලද ආභාසය බොහෝ අංශයන්හී කැපී පෙනුණ ද ඒ පිළිබඳ සංවාදය එතරම් පුළුල් නොවේ. එහෙයින් මෙහි පළවෙනුයේ කිතුනු සාහිත්‍යය හා එහි වර්තමාන ස්වරූපය පිළිබඳ අප ඉදිරිපත් කරන ලද පොදු ප්‍රශ්න හා එයට ලැබුණු ප්‍රතිචාරයන් ය.

කතෝලික සාහිත්‍යය පර්යේෂණ නැවතී නැහැ

අර්නස්ට් පෝරුතොට පියතුමා

1. ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා ආරම්භ කරපු කිතුනු සාහිත්‍යයට මහා සම්ප්‍රදායෙන් වුණු ලොකු ම බලපෑම නම් එතෙක් කල් ලතින් භාෂාවෙන් භාවිත වුණ කතෝලික දර්ශනය සිංහල භාෂාවට පරිවර්තනය වීම. එහිදී පරණ සිංහල හා මිශ්‍ර සිංහල වෙනුවට නූතන භාෂාව ඉතා සරලව යොදා ගැනීම. මෙය ඉතා වැදගත් කාරණයක්. මෙහි ප්‍රතිඵලයක් වුණේ බොහෝ දෙනාට අවබෝධ කරගත හැකි ආකාරයට කිතුනු සාහිත්‍යය ගොඩ නැඟීම. එතැන් පටන් සිංහල භාෂාව හරහා කිතුනු සාහිත්‍යයෙහි වපසරිය පුළුල් වුණා. කවියට, ගීතයට, නාට්‍යයට යන සෑම අංශයකට ම එහි ආභාසය ලැබුණා. ඒ නිසා කිතුනු සාහිත්‍යය ජනතාවට සමීප සම්බන්ධතාවක් දක්වන සාහිත්‍යාංගයක් වුණා.

2. කන්තාරු ගීතයෙහි නාද රටාව, එහි හැඩරුව ගීත සාහිත්‍යයේ ඉතා සාර්ථක කාර්යභාරයක් ඉටුකළා. මර්සලින් ජයකොඩි පියනම, මෝසස් පෙරේරාපියනම, සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ඒ අතර ප්‍රධානයි.

3. ජයකොඩි පියතුමා කතෝලික ආභාසය දේශීය රාමුවක ඉදිරිපත් කළා. මට බඩගිනි වෙලාවෙහි නුඹ මට කන්න දුන්නෙහිය, මම නිරුවස්තරව සිටින විට නුඹ මට වස්ත්‍ර දුන්නෙහිය. මෙවැනි කිතුනු පාඨ එතුමා ඉතා රසවත්ව ගීතයට නැඟුවා.

4. නූතන කිතුනු සාහිත්‍යය හොඳ මට්ටමක තිබෙනව. නොයෙක් කිතුනු සාහිත්‍යය පොත් පත් කතෝලික මුද්‍රණාලය හරහා මෙන්ම ගොඩගේ කිතුනු ප්‍රකාශන ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක වෙනව.

5. පර්යේෂණ කෙරීගෙන යනවා. එය නැවතී නැහැ. තරුණ පරම්පරාව අතර පවා මේ ගැන පර්යේෂණ කරන පිරිස් ඉන්නවා. ඒක සතුටක්.

මර්සලින් ජයකොඩි පියතුමා වැනි අය තවත් නැහැ

සිරිල් ගාමිණි පියතුමා

1. ලාංකික කිතුනු සාහිත්‍යයයේ ආරම්භය සිදුවන්නේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සාහිත්‍ය මෙහෙවර සමඟයි. උන්වහන්සේ සිංහල ඉගෙන ගත්තෙ හාමුදුරුවරුන්ගෙන්. ඒ නිසා මහා සම්ප්‍රදායේ බලපෑම අනිවාර්යෙන්ම කිතුනු සාහිත්‍යයට ඇතුළු වුණා. ගොන්සාල්වෙස් පියතුමා රචනා කරපු වේද කාව්‍යය සඳහා සන්දේශ කාව්‍යයන්හි බලපෑම දැඩිව ලැබී තිබෙනව. එය සැබැවින් ම සිංහල සන්දේශ කාව්‍යයන්හි ආභාසය ලැබු වටිනා නිර්මාණයක්. ඒ කෘතිය පරිශීලනය කිරීමේදී අපට පෙනී යනව කිතුනු සාහිත්‍යයට ඉතා විශාල ලෙස සිංහල සංස්කෘතිය හා එහි විවිධ අංගෝපාංග බලපා ඇති බව. එය එවකට උගත් භික්ෂුන් හරහා පන්සල් කේන්ද්‍රකොට ගෙන ඇතිවුණු බලපෑමේ එක් අංශයක්. පන්සල් හා හාමුදුරුවරු සමඟ ගොන්සාල්වෙස් පියතුමා කොපමණ දුරකට සම්බන්ධ වෙලා හිටිය ද කියල ඔහුගේ සෑම කෘතියකින්ම පෙනෙනව. පසු කාලයේ දී එම බලපෑම ගීතිකා දක්වා ද පැතිර ගියා. ඒ අන්‍යොන්‍ය බලපෑම ඉතා වැදගත් දෙයක්.

2. සිංහල ගීත සාහිත්‍යය ඇතුළත කිතුනු සම්ප්‍රදාය ඇති කරන ලද බලපෑම ද ඉතා විශාල පරාසයක විහිදෙනවා. එය සංගීතය, පද රචනය, ගායනය යන සෑම ක්ෂේත්‍රයකම ඉතා පුළුල් ව පැතිර තිබෙනව. සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස්, මෝසස් පෙරේරා පියතුමා වැනි අය එහි විශාල කාර්යභාරයක් සිදු කරනු ලැබුව. එපමණක් නොවේ ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, මර්වින් පෙරේරා, ස්ටැන්ලි පීරිස්, ග්‍රේෂන් ආනන්ද වැනි නිර්මාණකරුවන් බිහිවුණේ කිතුනු කන්තාරු ගීතයේ ආභාසයෙන්. ඔවුන් සැම දෙනාටම ඉතා කුඩා කල සිට දේවස්ථාන හරහා ලැබුණු ආභාසය ඉතා විශාලයි. ඔවුන් අද ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනව. ඒ වගේම අපි අතර දැනට නැති ඉහත සමහර ශිල්පීන් මෙන්ම තව බොහෝ නිර්මාණකරුවන් කිතුනු ආභාසය හරහා සිංහල පොදු ජන ගීතයේ ඉතා විශාල පෙරළියක් සිදු කරනු ලැබුව. ඔවුනගෙ මූලාරම්භය කන්තාරු ගීතය හරහා තමයි බිහිවුණේ.

3. මර්සලින් ජයකොඩි පියතුමා ගීත රචකයෙක්, ලේඛකයෙක්, කවියෙක් වශයෙන් ලියපු කියපු දේ ඉතාම සුවිශේෂියි. කිතුනු සාහිත්‍යමය ලක්ෂණ වර්තමාන යුගයේ ජනතාව වෙත රැගෙන ගිය ප්‍රධානියා වන්නේ ඔහු. භාෂාවේ ඇති මටසිලුටු භාවය නිවැරැදිව අවබෝධ කරගනිමින් ස්වභාව සෞන්දර්ය වර්ණනයෙහිලා එතුමා දැක්වූ ප්‍රතිභාව අතිවිශිෂ්ටයි. ඒ ලක්ෂණය ඔහු නිර්මාණය කරන ලද ගීතිකා තුළත් පැහැදිලිව දක්නට තිබෙනවා. නමුත් අපි අවබෝධ කර ගත යුතු එක් ලක්ෂණයක් වනුයේ එවැනි පුද්ගලයන් සිය දහස් ගණන් කවදාවත් ලොව බිහි වන්නෙ නැති බවයි. ශේක්ස්පියර්, අමරදේව වැනි නිර්මාණ ශිල්පීන් කිහිප දෙනකු නැහැ. ඉන්නෙ එක්කෙනයි මර්සලීන් ජයකොඩි පියතුමා ද එවැනි ගණයේ පුද්ගලයෙක්. ඒ නිසා එම අඩුපාඩුව පිරවීමට එවැනිම කෙනකු බිහි වේ යැයි හිතන්න බැහැ.

4. කිතුනු සාහිත්‍යයේ සාර්ථකත්වය රඳා පවතින්නෙ පොදු ජාතික තලයේ තියෙන මට්ටම අනුවයි. සමාජය ශීඝ්‍රයෙන් බිඳ වැටෙනකොට ඕනෑම සාහිත්‍යයක් බිඳ වැටෙනව. ඒ නිසා එය සාපේක්ෂ අර්ථයකින් බලන්න ඕන. අපිට හැමදාම එකම සාර්ථක තලයක ඉන්න බැහැ. එය වෙනස් වෙනව. මීට දශක කිහිපයකට පෙර හා සංසන්දනය කරන විට එතරම් වර්ධනයක් කිතුණු සාහිත්‍යයේ දක්නට නොලැබුණත් සෑහීමකට පත්වෙන්න පුළුවන් තත්ත්වයක කිතුනු සාහිත්‍යය තියෙනව.

5. පිරිසක් පර්යේෂණ කටයුතුවල නිරත වෙලා සිටිනව. ඒ සම්බන්ධව ද සෑහීමකට පත්වෙන්න පුළුවන්. නමුත් එය කොතෙක් දුරට ගුණාත්මක බවින් පිරිපුන් ද යන ගැටලුව පැන නඟිනවා. එය සැබැවින්ම කිතුනු සාහිත්‍යය තුළ එදා ඉඳන් සිදුවෙච්ච දෙයක්. නමුත් මෙයට ද මා මුලින් සඳහන් කළ සමාජ පසුබිම බලපානව. සමාජය යහපත් වන විට පර්යේෂණයන්හි ප්‍රතිඵල ද සාර්ථක වේවි. එම පර්යේෂණ සමාජයට වැඩදායක වේවි.

කතෝලික සාහිත්‍යය ගොඩනඟන්න බෞද්ධ සාහිත්‍යයෙන් විශාල පිටිවහලක් ලැබුණා

බෙනඩික්ට් ජෝශප් පියතුමා

1. කිතුනු සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පැහැදිලිව පෙනී යන ලක්ෂණයක් තමයි, ඒ සාහිත්‍යය සම්ප්‍රදාය ඉතා ශක්තිමත් ලෙස ගොඩනැඟීමට මහා සම්ප්‍රදායෙන් ඒ සඳහා ලැබුණු පිටුවහල. කතෝලික සභාවට අයත් යම් අනන්‍යතාවයක් තියෙනව. නමුත් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වීමේ හේතුවෙන් එයින් වෙන්වී සාකච්ඡා කරන්න හැකියාවක් කිසිම සාහිත්‍යයකට නැහැ. ඒ අනුව බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ සිංහල සාහිත්‍යය සම්ප්‍රදාය කිතුනු සාහිත්‍යය තුළ දැකගන්න පුළුවන්. ඕනෑම රටක මහ සංස්කෘතියට අදාළ නොවන විදියට කිසි දෙයක් පිහිටුවන්න පුළුවන් කමක් නැහැ. එහෙම කවුරුහරි කෙනෙක් උත්සාහ කරනවනම් ඒක කවදාවත් හරියන්නෙ නැහැ.

තමන් වාසය කරන රටේ සංස්කෘතිය වටපිටාවෙන් බාහිර වූ වෙනත් ආගන්තුක දේ පිළිබඳ වැඩි ආයුෂක් නැහැ. ඒ අනුව කිතුනු සාහිත්‍යයේ හැඩ රුව, වට පිටාව බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණා. එයට ප්‍රධාන සාධකයක් තමයි කිතුනු සාහිත්‍යයේ පුරෝගාමීන් වන ජාකෝමේ ගොන්සාල්වෙස් පියනම ජුසේ වාස් පියනම වැනි මුල්කාලීන කිතුනු සාහිත්‍යයේ ආදි කර්තෘවරුන් සිංහල භාෂාව ඉගෙන ගත්තෙ එවක මේ රටේ පහළ වෙලා හිටිය ඉතා උගත්, බුද්ධිමත්, පාණ්ඩිත්‍යයෙන් හෙබි ස්වාමීන් වහන්සේලාගෙන්. ස්වාමීන් වහන්සේලා හරහා භාෂාව පමණක් නොවේ සිංහල සංස්කෘතියේ සැබෑ හැඩරුවත් හඳුනා ගැනීමට උන්වහන්සේලාට හැකිවුණා. ඒ අනුව ඉතා ශක්තිමත්, ජනතාවට සමීප කිතුනු සාහිත්‍යයක් බිහිවුණා.

2. කන්තාරුවයි, ගීතයයි අතර පරතරයක් තියෙනව. කන්තාරු කියන්නෙ සැදැහැවත් බව වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන ගායනා ක්‍රමයක්. මෙය ජන වන්දනාව සමඟ බද්ධ වුණු ආගමික පිළිවෙතක් ඇසුරෙහි බිහිවී තිබෙන ගායනා විශේෂයක්. මෙහි පදනම වී තිබෙන්නේ ග්‍රොගේරියනු සංගීත ක්‍රමය මත පදනම් වූ ලතින් ගීතිකා. ඒ අනුව කිතුනු ඇදහිල්ල සඳහා යොදා ගනු ලබන ගීතිකාවලට විශේෂ සම්ප්‍රදායක්, අනන්‍යතාවයක් තිබුණා.

නමුත් 1963 සිංහල භාෂාවෙන් ජන වන්දනාව ආරම්භ වීමත් සමඟම එහි මූලික ස්වරූපයෙ වෙනසක් ඇතිවුණා. ඊට පෙර ලතින් භාෂාව බාධකයක් වුණේ නැහැ. එය 1963 වගෙ මෑත භාගයක පමණ සිදුවූ වෙනසක් වුවත් එය අතීතය ඉතා ඈතට දිවයනව. 1770 ගණන්වල සිට ගොන්සාල්වෙස් පියතුමා, ජුසේ වාස් පියතුමා, වැනි පූජක උතුමන් ඒ පිළිබඳ මූලික අඩිතාලම දමා තිබුණා. ඉන් පසු යුගයන්හි එඩ්මන්ඩ් පීරිස් අගරද ගුරුතුමා ප්‍රංශයෙන් පැමිණි ජෝශප් ටොන්ටාන්දෝ පියතුමා, මෑත භාගයේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා වැනි අය එය තව දුරටත් වර්ධනය කළා. ඒ අනුව එහි බලපෑම සිංහල ගීතයට, පද රචනයට සංගීතයට යම් බලපෑමක් කළා. ඒ ඇසුරෙහි කිතුනු ගීත ද විශාල වශයෙන් නිර්මාණය වුණා. එය කිතුනු සංස්කෘතියෙහි කොටසක් බවට ද පත්වුණා.

3. සිංහලෙන් හිතල, සිංහල භාෂාවේ ඇති ජීව ගුණය ඉතා රසවත් ලෙස එක්කරල දේශීය කිතුනු සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට මුල් වූ ප්‍රධාන පුද්ගලයා තමයි මර්සලින් ජයකොඩි පියතුමා. ලතින් භාෂාවෙන් ලියවී තිබු ගීතිකා සිංහලට පරිවර්තනය කරමින් එතුමා කරනු ලැබු සේවය සුවිශේෂයි. එතුමාගේ අඩුව පිරවීම සම්බන්ධයෙන් අපට ද යම් යම් ප්‍රශ්න තිබෙනවා. නමුත් එය අවසානය යැයි හිතන්න හොඳ නැහැ. බියවෙන්න දෙයක් නැහැ ඉදිරි පරම්පරාව ඒ අඩුව පුරවයි.

4. 1780 ගණන්වල, ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා කිතුනු සාහිත්‍යයට දැමු අඩිතාලම අද වෙන කොට ඉතා ශක්තිමත් පදනමක ක්‍රියාත්මක වෙනව. විවිධ අංශයන්ගෙන් කිතුනු සාහිත්‍යය පෝෂණය වෙලා තියෙනව. විශේෂයෙන් කතෝලික සභාව විශ්ව සභාවක් හැටියට පිළිගනු ලබන ජනමාධ්‍ය අංශය තුළ ශ්‍රී ලංකානු ක්‍රිස්තියානි සභාවෙහි වැඩ කටයුතු ඉතා පුළුල් ක්ෂේත්‍රයක විහිදී පවතිනව. එය ශ්‍රී ලංකාවෙහි ජනමාධ්‍යයෙහි ප්‍රගමනය වෙනුවෙන් අතිවිශාල කාර්ය භාරයක් සිදු කරනව.

5. කැලණිය විශ්වවිද්‍යාලය මඟින් ක්‍රිස්තියානු සංස්කෘතිය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් ආරම්භ කොට තිබෙනව. එහි විවිධ පර්යේෂණයන් සිදු කරනව. කතෝලික සංස්කෘතික අනන්‍යතාව ගැන පමණක් නොවේ ඒ හා සබැඳුණු වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර කලාව වැනි සෑම අංශයක් පිළිබඳවම පර්යේෂණ සිදු කෙරෙනව. මේ පාඨමාලාව හදාරන බෞද්ධ විද්‍යාර්ථින්ගේ සංඛ්‍යාව ද ඉතා විශාලයි. ඒ අනුව එදා ඉඳන් අද දක්වා කිතුනු දහම පිළිබඳ ඉතා වැදගත් පර්යේෂණ සිදු කෙරෙනව.

බුදු දහමෙන් කිතුනු සාහිත්‍යය වර්ධනයට දායකත්වයක් ලැබුණේ නැහැ

සිරිල් එඬේරමුල්ල

1. මහා සම්ප්‍රදායෙන් කිසිදු බලපෑමක් ඇතිවෙලා නැහැ. මහා සම්ප්‍රදාය කියන්නෙ මොකක්ද කියලත් ගැටලුවක් ඇති වෙනව. මහා සම්ප්‍රදාය යන්නෙන් අර්ථ දැක්වෙන්නෙ බුදුදහම නම්, බුදුදහමෙන් කිසිදු බලපෑමක් කිතුනු සාහිත්‍යයට වෙලා නැහැ. එය එදත් නැහැ අදත් නැහැ. කිතුනු සාහිත්‍ය එයටම අනන්‍ය වූ ක්ෂේත්‍රයක වර්ධනය වුණේ. එය මූලිකවම බයිබලය හරහා තමයි දියුණු වුණේ. එහෙත් සිංහල බයිබලය මුද්‍රණය කිරීමට පමාවීමත් එය සිංහලෙන් කියවීමට තහනම් වීමත් යන කාරණා මත එහි අඩංගු ගීත, නාට්‍යමය අංගයන් මෑතක් වන තුරුම පොදු ජනතාව අතරට ආවෙ නැහැ. එහි බලපෑමක් ලෙස කිතුනු සාහිත්‍ය කියල දෙයක් තිබුණ ද යන්නෙන් පවා ගැටලු ඇතිවුණා. මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර වගෙ අය පාස්කු නාට්‍ය වගේ දේවලින් යම් යම් දේ අරගෙන නිර්මාණයන්හි යෙදුණා. වික්‍රමසිංහත් බෞද්ධ රාමුවක් ඇතුළේ යම් යම් දේ විස්තර කරන්න යොමු වුණා. එහෙම වුණා මිසක් පුළුල් වශයෙන් බුද්ධාගමෙන් කිතුනු සාහිත්‍යයේ වර්ධනයට දායකත්වයක් ලැබුණේ නැහැ.

2. කන්තාරු ගී වලින් ගීත සාහිත්‍යය පෝෂණය වීමක් සිදු වුණේ නැහැ. නමුත් කන්තාරු ගී ගයපු බොහෝ දෙනෙක් පසු කාලීනව සිංහල ගීතය පෝෂණය කළා. ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, අයිවෝ ඩෙනිස් ඒ අතර ප්‍රධානයි. සුනිල් සාන්ත සිංහල සංගීතය පෝෂණය කරන ලද්දේ කිතුනු සම්ප්‍රදායෙන් ලත් ආභාසය මත. ඔහු ඒ ආභාසය ගීත කලාවේ වර්ධනයට ඉතා ප්‍රශස්ත ලෙස දායක කරගත්ත. කිතුනු නිර්මාණ ශිල්පීන් සෑම දෙනාගෙම මුල්ම සංගීත රුචිය ඇති කරන ලද්දේ පල්ලියේ ගීතිකා. වර්තමානයේ තරුණ නිර්මාණ ශිල්පීන්ගේ වත ගොත පවා සොයා බැලුවහොත් පැහැදිලිවම පෙනේවි කිතුනු ආභාසය කොතෙක් දුරට ඔවුනගෙ නිර්මාණ හා බද්ධ වෙලා ද කියල. ඒ අනුව කන්තාරු ගී ගායනා කිරිම ඔවුනගේ මුල්ම අඩිතාලම වෙලා තියෙනව. ඔවුනගෙ ජීවිතයට සංගීතය බද්ධ වෙලා තියෙන්නෙ පල්ලිය හරහා. ඒ නිසා කිතුනු ආභාසය සිංහල ගීතයේ හැම අංශයක්ම පෝෂණය කිරීමට උපකාර වෙලා තියෙනව.

3. ජයකොඩි පියතුමා රචකයෙක්, සංගීතඥයෙක්, සැබෑ නිර්මාණ ශිල්පියෙක්. සිංහල භාෂාවේ ඇති මටසිලිටු බව පැහැදිලිව හඳුනාගත් පුද්ගලයෙක්. එතුමා සිංහල පුහුණු ගුරුවරයෙක්. ඥානාර්ථ ප්‍රදීපයේ හිටපු කර්තෘවරයෙක්. නමුත් උන්වහන්සේ කවදාවත් රෝමානු කතෝලිකයකු වුණේ නැහැ. ශ්‍රී ලාංකික කතෝලිකයකු වුණා. එයට කිතුනු සභාව විරුද්ධ වුණා. ඔහුව ඥානාර්ථ ප්‍රදීපය පත්තරෙන් අයින් කරා. ඉන්පසු ඔහු යාපනේ සාන්ත පැට්‍රික් විද්‍යාලයේ දෙමළ දරුවන්ට සිංහල ඉගැන්නුව. සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපති වුණා. කවි සම්මේලනයක සභාපති වුණු එකම පියනම ජයකොඩි පියනම විතරයි. මේ වගේ ඉතා විශාල ක්ෂේත්‍රයක එතුමාගේ කාර්යභාරය වැදගත් වුණා. නමුත් එතුමාගෙන් පසු පරම්පරාවක් බිහි කිරීමට ජයකොඩි පියනම උනන්දු වුණේ නැහැ. එය ඔහුගෙන් සිදු වෙච්ච අඩුපාඩුවක්.

ඒ වගේම ජයකොඩි පියනම අනුගමනය කරන්න කිසිම පූජකයකුට වුවමනාවක් තිබුණෙත් නැහැ. අනුගමනය කිරීම කිතුනු සාහිත්‍යය හා බැඳී පවතින සංකල්පයක් වුවත් එය පූජකතුමන්ල අතින් සිදු වුණේ නැහැ. ඒ නිසා එතුමගෙන් පසු මහා හිඩැසක් නිර්මාණය වුණා. මෙතැනදි තව කාරණයක් පැහැදිලිව ඉස්මතු වෙනව ජයකොඩි පියතුමාටයි සුනිල් සාන්තයන්ටයි කාටත් නොනැමෙන ගතියක් තිබුණා. ඒක ඉතා හොඳයි. ඔවුන් දෙදෙනා දැඩි අනම්‍ය ස්වරූපයකයි වැඩ කටයුතු කෙරුවෙ. නමුත් දෙදෙනාම ටිකක් නම්‍යශීලී වුණා නම් ඔවුන් අතින් විශාල නිර්මාණ ප්‍රමාණයක් බිහිවන්නට ඉඩ තිබුණා. ඔවුන්ගේ මෙම අනම්‍යශීලී ගතිය නිසා ඔවුන් දෙදෙනාටම විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවුණා. ජයකොඩි පියතුමාට කතෝලික සභාව තුළින්ම විරෝධතා එල්ල වුණා. ඒ කොහොම වුණත් ජයකොඩි පියතුමා කරපු කාර්ය කිසි කෙනකුට අවතක්සේරු කරන්න බැහැ. ඔහු විශිෂ්ට නිර්මාණ කරුවෙක්. ඔහුගෙන් හිස්වුණු අඩුව පිරවීමට ලෙහෙසියෙන් පුළුවන්කමක් නැහැ.

4. සේලයින් දීල ගොඩනඟන්න ඕන තත්ත්වෙක තියෙන්නෙ. ජකෝමෙ ගොන්සාල්වෙස් පියතුමා රචනා කරපු මුල් කාලීන ධර්ම ග්‍රන්ථ කිතුනු සාහිත්‍යයේ ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ. ඒ වගේම පාස්කු ගීත, දුක්ප්‍රාප්ති ප්‍රසංගය, පසන් පොත ආදි සාහිත්‍යය ග්‍රන්ථ කිහිපයක් හැරුණු විට වර්තමාන කිතුනු සාහිත්‍යය තුළ වැදගත් සාහිත්‍යමය කාර්ය භාරයක් සිදුවෙන්නෙ නැහැ. නවකතා, කෙටිකතා, කවි ලියන පූජකවරු ඇත්තෙම නැහැ. ගිහියන් පවා ඉන්නෙ බොහොම ටික දෙනයි. බොහෝ විට කිතුනු ගී ලියන්නෙ බෞද්ධාගමිකයො. ජයකොඩි පියතුමා මිය ගිහින්. පෝරුතොට පියතුමා දැන් වයසයි. උන්වහන්සේගෙ එක ඇහැක් පෙනෙන්නෙත් නැහැ. ඒ නිසා ග්‍රන්ථකරණයෙ යෙදෙන්නෙ නොමැති තරම්. මේ පූජකවරුන්ගෙන් පසු පූජක පරම්පරාව කිතුනු සාහිත්‍ය සම්බන්ධව එච්චර උනන්දුවක් ඇති බව පෙනෙන්නට නැහැ.

5. පර්යේෂණාත්මක කිතුනු සාහිත්‍යයක් ගොඩනැඟීමේ සැලැස්මක් නැහැ. කැලණිය විශ්වවිද්‍යාලයේ කිතුනු සංස්කෘතිය පිළිබඳ පාඨමාලාවක් තිබුණට සරල සිංහලෙන් කියවීමට පොත් පත් නැහැ. දොන් සිල්වෙස්ටර් පියතුමා රචනා කළ කතෝලික මාර්ගෝපදේශ ව්‍යාපාරය කෘතිය වුණත් පර්යේෂණාත්මක කෘතියක් නෙමේ. එයට ප්‍රශ්න හා පිළිතුරු වශශයෙන් රචනා වී තිබෙන්නක්. කතෝලික පාසල් රජයට පවරාගන්න පෙර කිතුනු සාහිත්‍යය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රචනා කිරීමට සමත් ගුරුවරු රාශියක් හිටිය. නමුත් රජයට පවරාගත්තයින් පස්සෙ නැතිවෙලා ගියා. දැන් ඉන්න ටික දෙනා මහලු වියට පැමිණෙලා. මේ තත්ත්වය තේරුම් ගත් ගොඩගේ ප්‍රකාශකයෝ දැන් කිතුනු පර්යේෂණාත්මක ග්‍රන්ථ ව්‍යාපෘතියක් ආරම්භ කළා. අපි ළඟදි කාදිනල් තුමා හමුවෙච්ච වෙලාවකදි ඉල්ලා සිටිය කිතුනු සාහිත්‍යයයි, ගීත සාහිත්‍යයයි පිළිබඳ වැඩ පිළිවෙළක අවශ්‍යතාවයක් දැඩිව පවතින බව. උන්වහන්සේ එය පිළි අරගෙන ඒ පිළිබඳ වැඩ පිළිවෙළක් සකස් කිරීමට බෙනඩික් ජෝශප් පියතුමාට බාරදුන්න. එය සතුටට කරුණක්.

 

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *