හින්දු ආගම වර්තමානයේ ලොව පවත්නා පැරණිතම ආගමකි. එහි ප්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිව යයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දු ආගමට එක් ප්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. ක්‍රිස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම හැරුණු විට ලොව තෙවැනි විශාලතම ආගම හින්දු ආගමයි. සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. හින්දු ජනයා බහුලව වෙසෙන අනෙකුත් භූමි ප්‍රදේශ ලෙස බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් දැක්විය හැකිය.

හින්දු ආගමට අයත් ග්‍රන්ථ රාශියකි. ශ්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති ද ධර්මානුකූල දිවි පෙවෙතක් ගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ ද සඳහන් වෙයි. මෙම ග්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග්‍රන්ථ අධිකාරිත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප්‍රධාන තැනක් හිමි කර ගනී. අනෙකුත් ප්‍රධාන ග්‍රන්ථ අතර තන්ත්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීර කාව්‍ය, මෙන් ම භගවත් ගීතාව ද වේ.

හින්දු ආගම යනු අතිශයින් ම සංකීර්ණ ආගමකි. එහි ඇතැම් ඉගැන්වීම් බොහෝ හින්දුන් පිළිගනී. එහෙත් සියළුම නිකායයන් විසින් පොදුවේ පිළිගනු ලබන ඉගැන්වීම් හඳුනා ගැනීම උගහට බව විද්වත්තු පවසති. හින්දු ආගමේ සඳහන් ප්‍රධාන තේමා අතර ධර්ම (ආචාර ධර්ම/යුතුකම්), සංසාරය (ඉපදීම, ජීවිතය, මරණය සහ නැවත නැවත ඉපදීමේ ක්‍රියාවලිය), කර්මය (ක්‍රියා සහ ඒවායේ විපාක), මෝක්ෂ (සසරින් මිදීම) සහ විවිධ යෝග (විමුක්තිය සඳහා ප්‍රගුණ කළ යුතු දෑ) ද පවතී.

හින්දු ආගම වනාහි ඒක දේව වාදය, බහු දේව වාදය, සර්වේශ්වරවාදය, ඒකත්වවාදය සහ අදේවවාදය වැනි විශ්වාස අන්තර්ගත සංකීර්ණ පද්ධතියකි. එය ඇතැම් විට බොහෝ දෙවිවරු ඇතැයි යන්න පිළිගනිමින් එක් දෙවි කෙනෙකු ඇදහීම යැයි ද ඇතැම්හු පවසති. කෙසේ වෙතත් මෙම සියළුම හැදින්වීම් ඉතා සරල ඒවා බවත් එමගින් හින්දු සමය පිළිබඳ පැහැදිලි හැදින්වීමක් ඉදිරිපත් කිරීම දුෂ්කර බවත් පෙනේ.

පුද්ගලයා තුළ ආත්මය යනුවෙන් හඳුන්වන නිත්‍ය පදාර්ථයක් ඇතැයි බොහෝ හින්දුහු විශ්වාස කරති. ඒකත්වවාදය අනුව මෙම පුද්ගල ආත්මය අවසාන විග්‍රහයේ දී විශ්ව ආත්මය වන බ‍්‍රහ්මන්ගෙන් වෙනස් නොවේ. උපනිෂදයෙහි ඉගැන්වෙන පරිදි යමකු පුද්ගල ආත්මය හා විශ්වීය ආත්මය වන බ‍්‍රහ්මන යනුවෙන් අවබෝධ කර ගැනීම මෝක්ෂය සාක්ෂාත් කර ගැනීම වන්නේ ය.

අනෙකුත් ද්වෛතවාදී නිකායයන්ට අනුව බ‍්‍රහ්මන් යනු පුද්ගලත්වයක් හිමි දෙවියෙකු වේ. එහි දී ඔහුට වන්දනා මාන සිදු කෙරේ. ආත්මය දෙවියන් මත රඳා පවත්නා අතර මෝක්ෂය හෙවත් විමුක්තිය දෙවියන් කෙරෙහි ඇති භක්තිය සහ දේව කරුණාව මත රඳා පවතී. දෙවියන් උත්තරීතර පුද්ගලයෙකු ලෙස සලකන කල්හි ඔහු ඊශ්වර, භගවාන් හෝ පරමේශ්වර ලෙස හඳුන්වයි.