ආගමේ උපත පිළිබඳ දාර්ශනික මත – තිස්‌සමහාරාමයේ ධම්මසාර හිමි

ආගමේ උපත පිළිබඳ දාර්ශනික මත

තිස්‌සමහාරාමයේ ධම්මසාර හිමි
සමාජවිද්‍යා අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

මිනිසා පරිණාමය වූ දා සිට ම ඔවුන් අතර නොයෙක්‌ ආගමික ඇදහිලි, විශ්වාස හා පුද පූජා පවතින්නට ඇති බව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අධ්‍යයනයේදී ඒ බව මනාව ගම්‍යමාන වේ. සෑම සමාජ තලයකම වගේ ආගමික බැතිsමතුන්ගේ අදහස වනුයේ තම එදිනෙදා ජීවිතයේ දුක්‌ කම්කටොලු හා අභියෝග ජයග්‍රහණය කර ලෞකික සුවයත් අනතුරුව පාර ලෞකික සුවයත් ළඟා කර ගැනීමයි. පවතින සමාජය අනුව ආගම වනාහි දර්ශනයක්‌ හෝ ජීවන මාර්ගයක්‌ හෝ විශ්වාස පද්ධතියක්‌ ලෙස මිනිස්‌ සිත් සතන්හි පවතියි. ඓතිහාසික විමර්ශනය කරන විට දී භූගෝලීය පිහිටීම් අනුව ඒ ඒ සමාජයන්හි ආගමික නායකයන් බිහි වී ඇති බව පෙනෙයි. කෙසේ වුවත් ආගම සම්බන්ධයෙන් සමාජ හා මානව විද්‍යාඥයින් න්‍යායාත්මකව එහි ස්‌ථිතික හා ගතික ස්‌වභාවික ලක්‍ෂණ අධ්‍යයන කර ඇති බව පෙනෙයි. මෙම ලිපියෙහි අරමුණ වන්නේ ද ඒ පිළිබඳව සංක්‍ෂිප්ත විග්‍රහයක්‌ කිරීමයි.

ආගම හා ආගම පිළිබඳ නිර්වචන

ආගම ගැන අධ්‍යයනයේදී මිනිසා අක්‍ෂර සොයා ගැනීමටත්, පෙර සිට බහුවිධ ආගමික කර්තව්‍යයන්හි නිරත වී සිට ඇත. මැක්‌ස්‌ මුලර් ට අනුව ආගම වෙනුවෙන් ඔහු අර්ථකථනය කරනුයේ,

මිනිසාගේ ඉතිහාසය යනු ආගමේ ඉතිහාසය යන්නයි.

මේ අනුව පෙනෙන්නේ මානවයාගේ ඉතිහාසයත්, ආගමත් යනු ව්‍යqක්‌තව නොපවතින ඒකාබද්ධතාවයෙන් සම්ප්‍රයුක්‌තව පවතින බවයි. ඉංග්‍රීසි භාෂාවේදී ආගම හඳුන්වනුයේ Religion යනුවෙනි. ලතින් භාෂාවේ religio යන වචනය එකට සහ සම්බන්ධ වීමෙන් Religion යන වචනය සෑදී ඇත. Religion යන ලතින් වචනයේ අර්ථය නම් අල්ලා ගැනීම, එකට බැඳී පැවතීම යන්නයි. එය තවදුරටත් විස්‌තර කරනුයේ .’Superhuman’. එනම් මිනිසා හා අතිමානුෂීය බලයන් අතර එකට බැඳී පැවතීම ලෙසයි.

එඩ්වින් ආර්. සෙලිග්මාන් විසින් Encyclopedia of Social Scienceැ යන කෘතියට අනුව Religion යන වචනයට සමාජ විද්‍යාඥයන් දෙදෙනකු නිරුක්‌ති ද්විත්වයක්‌ දක්‌වා තිබේ. එනම්,

සිසාරේට අනුව Religion යන පදය Religion යන ක්‍රියා මූලයෙන් නිෂ්පන්න වී ඇති බවත්, ලැක්‌ටටීනිසගේ විග්‍රහයට අනුව එය Religion යන ක්‍රියා මූලයෙන් බිඳී පැමිණ Religion ලෙස සෑදී ඇති බව ඔහුගේ අදහසයි. සමාජ හා මානව විද්‍යාඥයින් පමණක්‌ නොව ආචාර විද්‍යාඥයින්ට අනුව ආගම යන්නට විශ්වීය අර්ථකථනයක්‌ දීමට නොහැකි තරම් ය. එනමුත්, ජොන්ස්‌ටන් (Johnston)) නම් සමාජ විද්‍යාඥයාට අනුව ආගමික සංස්‌ථාව මෙසේ හඳුන්වා ඇත. එනම්,

“Religion can be defind as a system of belief and practices by wish a group of people interprest and
responds to what they feel as supernature and scred”

ඒ අනුව ආගමික සංස්‌ථාව වනාහි විශ්වාසභාවයත්, පිළිවෙත්, පුද පූජාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරකම් පද්ධතියක්‌ බවයි. එහිදී මනුෂ්‍ය සමූහයා පූජනීය හා අධි ස්‌වභාවික දෑ මුල් කොටගෙන පුද පූජා පවත්වති. යන්නයි.

යථෝක්‌ත නිර්වචනයට අනුව දෘෂ්‍යමාන වනුයේ ඕනෑම ආගමකට අයත්ව අදහන්නන් සමූහයක්‌ සිටිය යුතු බවත්, පුද්ගලයාට තනි තනිව ආගම ඇදහීමට හැකි වුවත්, සමාජ විද්‍යාවේදී වැදගත් වනුයේ මනුෂ්‍ය සමූහයක්‌ ලෙස ආගම ඇදහීම වන බවත් ය. විවිධ විශ්වාස මුල් කර ගෙන පූජනීය අධිස්‌වභාවික වස්‌තු, යාතුකරුම ආදි චර්යා රටාවන්හි නියෑළී ක්‍රියා කිරීම මින් අදහස්‌ කරයි.

මහාචාර්ය ලෞබා ඡිහජයදකදටසජ් Psychologica Stydy of Religion නම් කෘතියෙහි ආගම පිළිබඳ නිර්වචන හතළිස්‌ අටක්‌ ඉදිරිපත් කර ඇත. ඒවා කිහිපයක්‌ සංක්‍ෂිප්ත අයුරින් මෙසේ ය.

ෆ එමනුවෙල් කාන්ට්‌ ට අනුව ඔහු විසින් ලියා පළ කරන ලද ((Religion within the limits of Reason, 1934)) කෘතියේදී ආගම අර්ථ විග්‍රහ කරනු යේ,

ආගම යනු ආත්මීය වශයෙන් යුතුකම් ප්‍රතිබද්ධව දිව්‍ය නියෝගයක්‌ ලෙසිනි.

ෆ ඡේම්ස්‌ ෂර් විග්‍රහ කරනුයේ,

ආගම යනු පරිසරයත්, මානව ජීවිතයත් මෙහෙයවීම හා පාලනයට ලක්‌ කිරීම කරන මිනිසාට වඩා උත්කෘෂ්ඨ බලවේග පිළිබඳ විශ්වාසයන් වන බවයි.

ෆ ආගම පිළිබඳව අවම වශයෙන් ප්‍රමාණවත් නිර්වචනයක්‌ ((A minimum definition of Religion) සපයන ලද මානව විද්‍යාඥ ඊ. බී. ටයිලර් ගේ අර්ථකථනය සුවිශේෂී වූවකි.

ආගම යනු අධිභෞතික සත්ත්වයන් පිළිබඳ විශ්වාසයයි. (The belief in spiritual beings) යන්නයි.

එය 1871 දී ටයිලර් විසින් ලියන ලද ප්‍රාථමික සංස්‌කෘතිය හෙවත් (Primitive Culture) නම් කෘතියෙහි සඳහන් වේ.

සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෙකු වූ එමිල් ඩූර්කයිම් 1912 The Elementary Forms of Religions නම් කෘතිය එළිදක්‌වමින් ආගම යන්න නිර්වචනය කරනුයේ මෙසේය.

ආගම සාමාන්‍ය (ලෞකික) සමාජයෙන් වෙන් කොට තහංචි පනවා ඇති පාරිශුද්ධ අංගවලට සම්බන්ධ විශ්වාස ක්‍රියාකාරකම් තුළින් ඒකාබද්ධ කරන ලද ව්‍යහයක්‌ (UNified System of Belief and Practies) ලෙසත් එම විශ්වාස හා ක්‍රියාකාරකම් අනුගමනය කරන පිරිස එකම සදාචාර සමූහයක්‌ ලෙස ගොනු කරයි නම් එවැනි ඒකාබද්ධ කරන ලද සදාචාර ප්‍රජාවක්‌ (Moral Community) ආගමික සංවිධානයක්‌ නැතහොත් සභාවක්‌ ලෙස හැඳින්විය හැකි වේ. ((Thomson, 2002,
P. 104

මෙහිදී ඩූර්කයිම් අදහස්‌ කරන ලද්දේ ආගමික විශ්වාස, වත් පිළිවෙත්, ක්‍රියාකාරකම් හා සම්බන්ධ පූජනීයත්aවයෙන් සලකනු ලබන සංකේත යනුවෙන් හඳුන්වන හුදු මනුෂ්‍ය ස්‌වභාවයක්‌ හෝ බාහිර තත්වයක්‌ නොව, ඒවා නිරූපණය වන්නේ සමාජයේ සදාචාර යථාර්ථය පමණක්‌ බව ඩූර්කයිම් පෙන්වා දී තිබේ.

මේ අනුව බලන කල ආගම සම්බන්ධයෙන් ඉදිරිපත් ව ඇති වැදගත් සංකල්ප දෙකකි. එනම්, එමිල් ඩූර්කයිම් හා රැල් එච්. ටර්නර් ((Ralph H. Turner) යන විද්‍යාඥයින් දෙපළගේ අවසාන නිගමනයයි.

මුලින්ම ඩූර්කයිම්ට අනුව ආගම අදියර හතරකින් ඉදිරිපත් කරයි. එනම්,

1. ශුද්ධ වස්‌තුවක පැවැත්ම

2. එම ශුද්ධ වස්‌තුව පිළිබඳ විශ්වාසය

3. එම විශ්වාසය පදනම් කොට ඇති කර ගනු ලබන පිළිවෙත්

4. එම පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනඟා ගත් සංවිධානය යනුවෙනි.

මේ හා සමානව ම අදහස්‌ ඉදිරිපත් කරන රැල් එච්. ටර්නර් සමාජ විද්‍යාඥයා zආගම ශුද්ධ අධි භෞතික දේ සම්බන්ධ වූ විශ්වාස හා යාතුකර්ම වටා ගොඩනැඟී ඇති අෙන්‍යාaන්‍ය සම්බන්ධතාව ඇති තත්වයන් කාර්ය කොටස්‌ හා ධර්මතාවන් ආදිය පිළිබඳ එකතුවක්‌ වේ.

මෙම එකතුව නිර්මාණය වී ඇත්තේ ඇදහිලි හා වාද (Cult) පදනම් කරගෙන වේ. කොටස්‌ තුනකින් මෙය පෙන්වා දී තිබේ. එනම්,

1. ශුද්ධ සහ අධි භෞතික වූ සියලු දෑ

(sacred and Super Natural))

2. විශ්වාස හා ඇදහිලි (Belief and cult)

3. ඇදහිලි වාද සහ යාතුකර්ම Cults and Rituals

මෙහිදී ශුද්ධ වූ වස්‌තුවක්‌ ලෙස අධි ස්‌වභාවික බලවේග අදහා ඇති බව පෙනෙයි. මෙය මිනිසාගේ තියුණු වූත්, ගැඹුරු වූත්, භාවයන් හා සම්බන්ධ වේ. අධි ස්‌වභාවික බව (Super Natural) යන්න ආගම්වල ප්‍රධාන ලක්‍ෂණය වේ.

ආගමේ ප්‍රභවය පිළිබඳ එහි පර්යායයන්

දහනව වන සියවසෙහි අගභාගයෙහි සිටි මානව විද්‍යාඥයින් පරිණාමවාදී දෘෂ්ඨිකෝණයෙන් ආගම ප්‍රභවය වී ඇති අයුරු චාල්ස්‌ ඩාවින්ගේ ඉගැන්වීම් ඇසුරෙන් කරුණු ඉදිරිපත් කරයි.

ජීවියා ඒක සෛලික තත්වයක සිට බහු සෛල තත්වයක දක්‌වා වර්ධනය වූයේ යම් කිසි ක්‍රම විකාශනයක්‌ තුළිනි. යන්න ඩාවින්ගේ මතයයි.

එපරිද්දෙන් ම සමාජය පරිණාමය වූ ආකාරය විග්‍රහ කිරීමට මානව විද්‍යාඥයන් උත්සුක වී ඇත. දහනව වන සියවසේ දී ආගමේ ප්‍රභවය හා එහි ස්‌වභාවය කවරාකාරද යන්න පිළිබඳව ඩාවින් හා සංසන්දනාත්මකව විද්‍යානුකූල විමර්ශනයක්‌ කරන ලද සුවිශේෂී මානව විද්‍යාඥයින් කිහිප දෙනෙකි. ඒ අතර, ඊ.බී. ටයිලර්, ෙ-ම්ස්‌ ෙ‍රසර්, ආර්.ආර්. මැරට්‌ සහ රොබට්‌සන් ස්‌මිත් ප්‍රධානීහු වෙති.

මෙහිදී ටයිලර්ගේ අදහස වූයේ මිනිසාගේ මුල් ආගම ප්‍රාණවාදය බවයි. ආර්.ආර්. මැරට්‌ එය විශ්වාස කොට සජීවී දෘෂ්ටිය මිනිසාගේ මුල් ම ආගම ලෙස ප්‍රකාශ කොට ඇත. මේ අතර ම සිග්මන් ේ‍රයිඩ් නම් මනෝ විද්‍යාඥයාගේ කල්පනාව මෙසේ ය.

මිනිසා ජීවත් වූයේ සමූහ හැටියට ය. සමූහ පාලනය වූයේ ශක්‌තිමත් පිරිමියෙකු විසිනි. මේ පිරිමියා සමූහයේ ඉන්නා ස්‌ත්‍රීන් සියලු දෙනා ම තම වසඟයට ගන්නා ලදී. ස්‌වකීය පිරිමි දරුවන්ද ගැටවර වියට පැමිණෙන විට ඔවුන්ද සමූහයෙන් එළවා ගන්නා ලදී. ඉන් අනතුරුව පුතුන් එක්‌ව තම පියා මරණයට පත් කරනු ලැබූහ. ඒ වරද මකන්නට පියා තෝටමයක්‌ කළ ඔවුහු එයට සංකේතාත්මකව පුද පූජා කරන ලද (සත්ත්වයෙක්‌ සංකේත හෝ පැළෑටියක්‌) නම් උගේ මස්‌ හෝ පැළෑටිය අනුභව කිරීම තහනම් විය. අවුරුද්දකට වරක්‌ පමණක්‌ පුද පූජා පවත්නා තෝතමය ((Totem) අනුභව කොට ඒ මගින් පියාගේ මරණය යළිත් සංකේතාත්මකව පෙන්වන ලදී. මේ ආගම තෝතමය මුල් කොට ඉදිරියට ආ සැටි මෙයින් විද්‍යමාන වේ.

වත්මන වන විට ේ‍රයිඩ්ගේ යථෝක්‌ත අදහස නොපිළිගනු ලැබූවන් කුඩා කාලයේ අත්දැකීම් පසු කලකදී තදින් බලපාන්නට හැකි බව පිළිගැනේ. දරුවා කුඩා කාලයේ දී හැදෙන්නේ දෙමාපිය රැකවරණය යටතේ වීමය. ඒ නිසාවෙන් තමන්ට හැම දෙයම සපයන දෙමාපියන් සියල්ල කළ හැකි අය ලෙසට ඔහුට පෙනීම පුදුමයක්‌ නොවේ.

ටයිලර්ට අනුව හෙතෙම ආගමික භාවිතයන් පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු නොකළ නමුත් අධිස්‌වභාවික විශ්වාසවල ප්‍රභවය හා වර්ධනය ආත්මය හා බිලි පූජා යනාදිය ගැන නොයෙක්‌ අයුරින් කරුණු පැහැදිලි කර ඇත. මෙහිදී ටයිලර් ගස්‌ ගල් වන්දනාව, භූතාත්ම වන්දනාව පිළිබඳ මුල් කාලීන ආගමේ හැසිරීම ලෙස දක්‌වා හඳුන්වා ඇත. එහිදී මිනිසාගේ ශරීරය පුරාම ආත්මය දිවෙන බවත්, ඔහු මරණයට පත් වූ පසු ආත්මය ශරීරයෙන් වෙන් වන අයුරුත් ප්‍රකාශ කළ මොහු ප්‍රාථමික මිනිසා මෙම ආත්ම හට වැඩිපුර බලයක්‌ ආරෝපණය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස තවත් වැරදි චර්යාවන්හි නිරත වුවහොත් ඒ ආත්මය තමන්ට බලපෑම් කරන බව මෙහිදී ප්‍රාථමික මිනිසා විශ්වාස කරන ලදී. මෙම ආත්මීය බලවේග වනාහි ස්‌වකීය ගෝත්‍ර හා පවුල් පරිසරයන් ආරක්‍ෂා කරන බවද ඔහු විශ්වාස කරන ලදී. මෙහිදී භූතාත්ම දේවත්වයෙන් සලකා ඇති මිනිසුන් ශිෂ්ටාචාරය ආරම්භයේ දී පැවති බහුදේවවාදය ගැන විශ්වාස කරන ලද මුත්, අවසානයේදී මෙම සියලුම දෙවිවරු අතුරුදන්ව ගොස්‌ එක්‌ දෙවියෙකු ගැන විශ්වාස කරන ලද බව පෙනෙයි.

සහභාගිත්ව නිරීක්‍ෂණ ක්‍රමය ((Participant Observation Methodා) පෘථුල වූයේ ඒ ඒ සමාජවලට ගොස්‌ දත්ත දායකයන් සම්මුඛව දත්ත එක්‌රැස්‌ කිරීමේ ප්‍රතිඵල වශයෙනි. මේ සඳහා දිය හැකි කදිම නිදසුන නම් බොනිස්‌ලෝ මලිනොවිස්‌කි වේ. හෙතෙම ආගමට ම පමණක්‌ නොව සමාජ තලයේ පවතින හැම හැඩතලයක්‌ ම එක්‌ රැස්‌ කළ ප්‍රථම වෘත්තිය මානව විද්‍යාඥයා වේ.

තමා අධ්‍යයනය කළ ට්‍රොaබියන්ඩ් ප්‍රාථමික සමාජයේ අභිචාරවල වැදගත්කම මැලිනොව්ස්‌කි මෙහිදී පෙන්වා දී තිබේ. මානව ජීවිතයේ දුෂ්කරතාවන් අවම කර ගැනීමට ඇදහිලි හා විශ්වාස වැදගත් වන බවත්, අභිචාර සෑම සමාජයකම දෘෂ්‍යමාන වන බවත් විශ්වාස කරන ලදී. මෙහිදී මැලිනොව්ස්‌කිගේ විශේෂත්වය නම් පූර්ව යුගයේ මානව විද්‍යාඥයන් මෙන් චින්තනයන්ගේ ප්‍රභවය ආගම හා අභිචාරවල වෙනස, තහංචි හා බිලී පූජා ගැන කරුණු සොයනවාට වඩා එක්‌ ප්‍රශ්නයක්‌ ගෙන එය අනෙකුත් සමාජ සම්බන්ධතාවලට බලපාන ලද බව විශ්වාස කරන ලදී.

මත්ස්‍යයන් ඇල්ලීම ට්‍රොබියන්ඩ් දූපත්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඒ සඳහා හබල් ඔරු සකස්‌ කිරීමේදී ඒවා දියත් කිරීමේදී මෙන් ම කෘෂිකාර්මික කටයුතු වලදී මොවුහු පළමුව තමන් දන්නා විද්‍යාඥානය උපයෝගි කරගන්නා ලද බව මැලිනොව්ස්‌කි විශ්වාස කරන ලදී, කලපු ආදියෙහි බොහෝ පහසුවෙන් මත්ස්‍යයන් ඇල්ලීමට හැකි බවත්, එහිදී එතරම් ම අවදානමක්‌ හෝ අවිනිශ්චිතතාවයක්‌ නොමැති වුවත්, මහ මුහුදේ මසුන් ඇල්ලීම අතිශයින්ම අනතුරුදායක කටයුත්තකි. භයානක කුණාටුවක්‌ විසින් මොහොතින් සියලු ජීවිත බිලිගත හැකිය. කලපුවෙහි මසුන් ඇල්ලීම දූපත්වාසීන්ට තම දැනුම හා ශක්‍යතා කුසලතා මත සම්පූර්ණයෙන්ම වාගේ විශ්වාසයෙන් කළ හැකි ක්‍රියාවලියකි. එනමුත් මහා සාගරයේ මසුන් ඇල්ලීම එහි පවත්නා ස්‌වභාවික තත්වයන් මත රඳා පවතියි. ඒ හෙයින් මහා සාගරයේ මසුන් ඇල්ලීම අනතුරුදායක නිසා විවිධ වත් පිළිවෙත් ත්‍රොaබියන් දූපත්වාසීන්ට වැදගත් විය. මැලිනොව්ස්‌කි ආගමික වත් පිළිවෙත් ලෙස මෙහිදී පෙන්වා දෙනු ලබන්නේ විවිධ අභිචාර ආදිය වේ.

ප්‍රංශ සමාජ විද්‍යාඥ එමිල් ඩූර්කයිම්, ආගමික හැඟීම් කෙසේ ඇරඹිනි දැයි යන්න විසඳීම පිණිස ප්‍රාථමික ඔස්‌ටේ්‍රලියානු ආදි පදිංචිවාසින්ගේ (Aborigins) සමාජය තෝරා ගත්තේ ය. ආගමේ ප්‍රභවය පිළිබඳ මූලික ප්‍රශ්නත් ආගමේ කෘත්‍යය පිළිබඳ පසුකාලීන ප්‍රශ්න ගැනත් අවධාරණය කර ඇති නිසා ඩූර්කයිම්ගේ දායකත්වය මෙහිදී සුවිශේෂී වේ. 1912 දී ඩූර්කයිම් ප්‍රකාශයට පත් කළ ආගමික ජීවිතයේ මූලිsක විධි ස්‌වරූප Elementary forms of Religious Life නම් කෘතිය ඉදිරිපත් කරමින් ඔස්‌ටේ්‍රලියාවේ ඇබොරජින්ස්‌ ජනයා ජීවත් වූ අරුන්ටා නම් ගෝත්‍රික සමාජයේ වංශ ක්‍රමය හා තෝටම වන්දනය (චින්න වන්දනාව) පිළිබඳව ඔහු අධ්‍යයනය කරමින් ආගමික සංස්‌ථාවේ ප්‍රාථමික මූලාරම්භය ද විග්‍රහ කර තිබේ.

ආගමේ මූලාරම්භය සැලකීමේදී ටයිලර් ඉදිරිපත් කරන ලද සර්වාත්මවාදය , සජීවී වාදය සංකල්පයත්. මැක්‌ස්‌ මුලර් ඉදිරිපත් කරන ලද ස්‌වභාවවාදය නම් සංකල්පයත් වෙනුවට ඩූර්කයිම් ඉදිරිපත් කරන ලද්දේ තෝටමවාදය නම් සංකල්පයයි. ඔස්‌ටේ්‍රලියානු අරුන්ටා ගෝත්‍රික වැසියන් අතර පැවති ආගමික භාවිතය මින් පෙනේ. අරුන්ටා වැසියන් තමන් ජීවත්වූ භූගෝලීය පරිසරයෙහි පැවතුණ ලී කොටයක්‌, ඔපවත් වූ ගල් කැටයක්‌, පැළෑටියක්‌ හෝ කිසියම් සතෙකු වැනි සාමාන්‍ය වස්‌තුවක්‌ තෝරාගෙන එය තම ගෝත්‍රික සමූහයේ නියෝජිත සංකේතය ලෙස භාවිත කළ බව ඩූර්කයිම් පෙන්වා දේ. චිහ්න වන්දනාවෙන් පවිත්‍රත්වය හා ලෞකිකත්වය සංකල්පය දේවත්වය යන සියල්ල චින්තනයේ මූලධර්ම විය. මෙයින් චිහ්න වන්දනා ක්‍රමය සමාජයේ අනුකූලතාවයට හේතුවන බව මොහුගේ අදහසයි. එසේ ම චිහ්න ය සමාජය නියෝජනය කරන බැවින් මෙම පුද පූජා මගින් සමූහ ඒකාබද්ධතාව ඇති කරන බව ද පෙනෙයි. ඩූර්කයිම්ට අනුව ආගම මගින් සිදුවන ප්‍රධාන කෘත්‍යයන් තුනක්‌ ඇත. සමාජ ජීවිතය, අගනාකම්, ධර්මතා යන ත්‍රිත්වය සංවිධානය කිරීම, සමාජ පාලනය ඇති කිරීමේ ආගමික කාර්යය වේ. ආගම පුද්ගලයාට අරමුණක්‌ හා ප්‍රයෝජනයක්‌ ලබා දෙයි. එය නිරතුරුවම ආයතනයක්‌ ආශ්‍රයෙන් ගොඩනැඟෙයි. කතෝලික ආගමෙහි පල්ලිය හා කුරුසියද ශිව ලිංගය දේවාලය හා කෝවිල හිංදු ආගමෙහි ද , බුද්ධාගමේ බෞද්ධයන්ට පන්සල ද ශුද්ධ වස්‌තුන් හා ආයතන වේ.

ධනවාදී සමාජය විග්‍රහ කිරීමට පරාරෝපණ Alienation සංකල්පය භාවිත කරමින් ආගම පිළිබඳව කාල් මාක්‌ස්‌ අදහස්‌ ප්‍රකාශ කර ඇති බව පෙනෙයි.

මෙහිදී මාක්‌ස්‌ ආගම ගැන ඔහු විසින් රචිත “ආගම පිළිබඳ මාක්‌ස්‌ (Marx on Religion), නම් කෘතියේ විග්‍රහ කරනුයේ මේ අයුරිනි.

ආගම මගින් මිනිසාගේ නිර්මාණශීලීත්වය, විප්ලවීය ශක්‌තිය පොදු විඥානය මොට කර දමයි. පවත්නා තත්ත්වය වෙනස්‌ කිරීමට නොව, ඒ සමඟ ජීවත් වීමට මිනිසා ආගමෙන් දිශාගත කරයි. එම නිසාවෙන් මිනිසා ආගම නිර්මාණය කළ ඇති අතර, ආගම මගින් මිනිසාව නිර්මාණය නොකරන ලද බවයි. (Man makes Religion, Religion does not make man)

ආගම විසින් මිනිසා සැබෑ සමාජ යථාර්ථයෙන් බැහැර කොට මිථ් ලෝකයට රැගෙන ගොස්‌ අතරමං කරන්නේ යෑයි විවේචනය කරයි. ආගම මෙලොවදී මිනිසාට නොලැබෙන සැප සම්පත් පරලොවදී ලබා දෙන්නට පොරොන්දු වෙයි. එය හදවතක්‌ නැති ලෝකයේ හදවතයි. අන්ධකාර ලෝකයේ ආලෝකයයි. ආගම අබිං ද්‍රව්‍යයක්‌ මෙන් මිනිසා මත් කරවනු ලබයි. ආගම පීඩිතයාගේ සුසුමයි යනුවෙන් මාක්‌ස්‌ ආගම දැඩි විවේචනයට බඳුන් කරයි.

මෙලෙසින් ලෝකයේ ධනේෂ්වර ක්‍රමය බිහි වීමෙන් පසුව ධනපති පන්තිය විසින් බිහි කළ ධනපති පන්තියේ නියෝජිත ආයතයක්‌ ලෙස මාස්‌ක්‌ ආගම හඳුන්වා දෙයි. ආගම සමාජය වෙනස්‌ වෙනවට අකැමැති හෙයින් ද, නිර්ධන ධනපති ද්විත්ව පංති ගැටුම තුළින් ධනේෂ්වර සමාජ ආර්ථික ක්‍රමය වෙනස්‌ කොට සමාජය තුළ වරප්‍රසාද සමාන ලෙස බෙදී යන සමාජවාදී සමාජ ක්‍රමය බිහිවීමට ආගම බාධාවක්‌ ලෙස දකින මාක්‌ස්‌ පංති ගැටුම සාර්ථක වීමට නම් ආගම සමාජයෙන් ඉවත් කළ යුතු යෑයි සිය නිගමනයෙන් පෙන්වා දී ඇත.

කෙසේ වුවත් ආගම පිළිබඳව මාක්‌ස්‌ගේ අදහස්‌ බොහොමයක්‌ ම පදනම් වී ඇත්තේ තමන්ට පෙර සිටි දේවධර්මවාදීන් හා දාර්ශනිකයන්ගේ ආගම් මතිමතාන්තර ආශ්‍රයෙනි. මාක්‌ස්‌ ආගම ගැන නොඉවසූ කෙනෙක්‌ ලෙස තර්ක කළ නොහැකි ය. අනුකම්පාවක්‌ නැති ලෝකයක අනුකම්පාව ආගමයි. හදවත් නොමැති ලොව හදවත ආගමයි.අන්ධකාර ලෝකයේ ආලෝකය ආගමයි යනාදී ලෙස ඔහු ආගම හඳුන්වන්නේ හැඟීම්වලට වහල් නොවී තාර්කිකව හා සවිඥානිකව ආගම දෙස බැලූ හෙයිනි.

ආන්තික සටහන්

කුමාර, එන්. වී. ජී. ඒ. හේමන්ත, සමාජ විද්‍යාව මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය, 319 පිටුව විඡේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල (2008)

Adapted form the 1978 , Britanica”, Book of the
year, Cpy right 1978 bu Encyclopedia of Britanica
INC . Chicago 111

කුමාර් එන්. වී. ජී. ඒ. හේමන්ත, සමාජ විද්‍යා ප්‍රවේශය, 272 පිටුව, කර්තෘ ප්‍රකාශන, 226/55 රිච්මන්ඩ් කන්ද, ගාල්ල 2011

අමරසේකර, දයා, නවීකරණය සහ පන්සල, 4 පිටුව, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10 (2001)

රත්නපාල, නන්දසේන, මානව විද්‍යාව, පිටුව 252, ආරිය ප්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, (2001)

S. F. Nadel, Milion awaski on Magic and Religion
in Man and Culture, Edited by Raymond Firth, 1975
පෙරේරා, බී. ඒ. ටෙනිසන්, සමාජ විද්‍යාව සමාජය හා සංස්‌කෘතිය 17 පිටුව, නුවණි ප්‍රින්ටර්ස්‌ ඇන්ඩ් පබ්ලිෂර්ස්‌ (2014)

ජයසිංහ, ඒ. කේ. ජී. සමාජවිද්‍යාව (මූලික සංකල්ප 0 2), 137-138 පිටු, කඩුල්ල ප්‍රකාශන, කඩවත. (2013)

සමරකෝන්, මයුර, සමාජ සංස්‌ථා, 62, 63 පිටු, ලීඩ්ස්‌ ග්‍රැක්‌ස්‌ (පුද්) සමාගම, තලවතුගොඩ (2009)

අමරකෝන් දයා, සරල සමාජ විද්‍යාව, 108 පිටුව, ඇස්‌. ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම, මරදාන, (1995)

 

උපුටා ගැනීම – දිවයින

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *