සුමන්තිරන්ට ප්‍රශ්න පත්‍රයක්

අද දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින භයානක ම පුද්ගලයා සුමන්තිරන්. ඔහු මෙතෝදිස්ත සභාවට අයත් වූවෙක්. ඔහු පසුගිය දිනවල උඩුවිල් බාලිකා විදුහල පිළිබඳ ප්‍රශ්නයකට ද මැදි වී සිටියා. ඒ පාසලත් මෙතෝදිස්ත පාසලක්. මේ කරුණුවලට සාමාන්‍යයෙන් ජනමාධ්‍යයෙහි එතරම් වැදගත් තැනක් ලැබෙන්නේ නැහැ. ඒ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ලේක්හවුස් ආයතනය මෙවැනි කරුණු යටගහනවා. මා ලියන ලිපි ඇතැම් අයට විද්‍යුත් තැපෑලෙන් යවනවා. ඩේලි නිවුස් කතුවරයා ඒ ලිපි භාර ගන්නේ නැහැ. ඔහු ඒවා අවුරනවා. ඒ ගැන මා පුදුම වන්නේ නැහැ. ඒත් ජී එල් පීරිස් හා මානව හිතවාදී නීතිඥයකු යැයි කියන කල්‍යානන්ද තිරාණගම ඒ ලිපිවලට වැට බඳින්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම තරමක් අපහසුයි. මා සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම විවේචනය කිරීම ජී එල්ට ප්‍රශ්නයක් වුනා ද?

සුමන්තිරන් රූපවාහිනී විවාදවල දී සිංහලයන්ට දෝෂාරෝපණය කරන බව කියනවා. මා මේ විවාද නරඹන්නේ් නැහැ. බලන අය මට කියන්නේ සුමන්තිරන් සිංහලයන් විශාල වරදක් කර ඇති බව කීමට උත්සාහ කරන බවයි. සුමන්තිරන් ඊයේ පාර්ලිමේන්තුවේ දී ඇමති ස්වාමිනාදන්ට බොහෝම තදින් කතාකරනු ප්‍රවෘත්ති මගින් දැනගැනීමට හැකිවුනා. ස්වාමිනාදන්ගෙන් සුමන්තිරන් ඈසුවේ ඊනියා දෙමළ ප්‍රශ්නයට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් ප්‍රමාණවත් වන්නේ කෙසේ ද යන්නයි. ස්වාමිනාදන් ඒ සම්බන්ධයෙන් කලින් කුමක් කියා තිබේ ද යන්න අප දන්නේ නැහැ. එහෙත් රනිල්වත් එයට පිළිතුරක් දුන්නේ නැහැ. රනිල් සුපුරුදු පරිදි විහිළුව හා තර්ජනය මුසු කතාවක් පවත්වමින් රාජපක්‍ෂලාට බැණ වැදුනා. රනිල් යාපනයේ පුස්තකාලය ගිනි තැබීම ගැන සමාව ඉල්ලුවා ඒ ගැනත් කියන්න ඕන. දෙමළ ජාතිවාදීන් ප්‍රචාරය කළා එය දකුණු ආසියාවේ විශාල ම පුස්තකාලය කියා. එය ඔවුන්ගේ තවත් බොරුවක්. පේරාදෙණිය පුස්තකාලයත් එයට වඩා විශාලයි. පුස්තකාලය ගිනි තැබීම මගින් එ ජා ප සිංහලයන්ට ද රටට ද කළ වරද තක්සේරු කළ හැකි ද? එය හුදු සමාවකින් වසා ගත හැකි ද? ඒ ගිනි තැබීම සිංහලයන් පිට පැටවීම නිසා සිංහලයන්ට වූ හානිය ගැන රනිල් කියන්නේ කුමක් ද?  ඔහු උතුරු පළාතේ අද ඇති ඊනියා මාධ්‍ය නිදහස එදා නොතිබූ බව කියමින් කෑ ගැහුවා. ඔහු හැමදාමත් කියන්නේ යන්නේ කොහේද මල්ලෙ පොල් කතා. ඔහු හා සුමන්තිරන් අයත් වන්නේ එකම සංස්කෘතියට.
අප සුමන්තිරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙය බොහොම පැරණි ප්‍රශ්නයක්. ඔහු නීතිඥයකු නිසා මෙයට පිළිතුරක් දීමට අභියෝග කරනවා. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද? අපට තවත් ප්‍රශ්න ගණනාවක් ම ඇසිය හැකියි. සුමන්තිරන්ගේ පවුලේ සම්භවය කුමක් ද? වෙල්ලාලයන් මෙරටට පැමිණියේ (ගෙන්වූයේ) කවදා ද? මෙරට කතාකරන දෙමළ බසෙහි චෙන්නායි හි හෝ තමිල්නාඩුවේ වෙනත් තැනක හෝ කතාකරන දෙමළ භාෂාවට වඩා මලයාලම් වචන ඇත්තේ ඇයි? යාපනයේ දෙමළ හා තමිල්නාඩු දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකට අඩු නො වේ ද?  මෙරට දෙමළ ජනයා ඉංගිරිසින් විසින් මලබාර්වරුන් ලෙස හඳුන්වනු ලැබුයේ ඇයි? පෘතුගීසීන් පැමිණෙන විට යාපනයේ බහුතරය සිංහල නො වී ද? ඒ මලබාර්වරුන් පැමිණ අවුරුදු සියයකට පමණ පසුව. යාපනය ක්‍රමයෙන් දෙමළ වූයේ වැල්ලවත්ත හා කොටහේන දෙමළ වූ ආකාරයට ම නොවුනත් ඒ ගැන සුමන්තිරන් කියන්නේ කුමක් ද? සුමන්තිරන්ලාගේ වෙල්ලාලයන් කෝරමණ්ඩල (චෝල මණ්ඩල) වෙරළෙන් පැමිණ යාපනයේ ආධිපත්‍යයට පැමිණියේ 1650න් පසුව ඔවුන් ගෙන්වූ ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා ආශිර්වාදයෙන් නො වේ ද? යාපනයේ ග්‍රාම නාමවල සිංහල සම්භවය සුමන්තිරන් දන්නේ ද? උඩුවිල් යන්නට දෙමළ නිරුක්තියක් දිය හැකි ද?  පෘතුගීසීන් පැමිණෙන විට සිටි සිංහලයන් දෙමළ හින්දු සංස්කෘතියට අවශෝෂණය කර ගත්තා නොවේ ද? එසේ කිරීමේ දී ඔවුන් ඊනියා අඩු කුලවලට ඇතුල් කළා නො වේ ද? කෝවියාර් කුලය සිංහල ගොවියන් ඇතුළත් කළ කුලය නො වේ ද? නලවාර් යනු රා මදින්නන් නො වේ ද? එහි නල යනු සිංහල බට යන්න නොවේ ද? නලවාර් කෝවියාර් ආදියට දෙමළ නිරුක්ති වේ ද? සිංහ නම් දෙමළ ජනයාට කොහෙන් ද? වීරසිිංහම්ලා ජෙයසිංහම්ලා ආදීන් කවු ද?  ප්‍රභාකරන්, කරුණාකරන් ආදී නම් ඇත්තේ කේරළයේ (මලබාර්හි) මිස තමිල්නාඩුවේ (කෝරමණ්ඩලයේ)  ද?
මෙරට දෙමළ අනන්‍යතාව ඉංගිරිසින් විසින් ඇතිකරන ලද්දක් නො වේ ද? 1833 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක මණ්ඩලයට දෙමළ කතාකරන්නන්ගේ මිස දෙමළ ජනයාගේ නියෝජිතයකු සිටියේ ද? වෙල්ලාලයකු වූ පොන්නම්බලම් රාමනාදන් දහනවවැනි සියවස අගභාගයේදිත් කියා සිටියේ තමා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ දෙමළ කතාකරන ජනයාගේ නියෝජිතයා බව නො වේ ද? ඔහු එසේ කියමින් මුස්ලිම් ජනයා වෙනුවෙන් වෙන ම නියෝජිතයකු පත් කිරීමට විරුද්ධ නො වී ද? ඉංගිරිසි ආණ්ඩුව අවුරුද්දට නිවාඩු දෙනවිට එය සිංහල හා දෙමළ අවුරුද්ද වශයෙන් නම් නොකර සිංහල හා හින්දු අවුරුද්ද යනුවෙන් නම් කෙළේ ඒ වන විටත් මෙරට දෙමළ අනන්‍යතාවක් නොතිබූ නිසා නො වේ ද?
දෙමළ හින්දු සංස්කෘතිය බිහි වූයේ කොහේ ද? හින්දු භක්තිකයකු නොවූ සුමන්තිරන් එය ස්වාමිනාදන්ගෙන් අසා කියන්නේ ද? යාපනයේ දෙමළ මෙතෝදිස්ත සංස්කෘතියක් බිහි නොවුණු බව නම් සුමන්තිරන් දැනගත යුතුයි. දෙමළ හින්දු සංස්කෘතිය බිහි වූ ප්‍රදේශය දෙමළ නිජභූමිය ලෙස ගත යුතු නො වේ ද? එවිට දෙමළ නිජභූමියක් ලංකාවේ ඇති වන්නේ කෙසේ ද? කොහොමටත් ඉංගිරිසින් 1889 දී ලකුණු කළ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ නිජභූමිය වන්නේ කෙසේ ද? දෙමළ නිජභූමිය බිහිවීමට වින්නඹුකම කෙළේ ඉංගිරීිසි ආණ්ඩුකාරයා ද? හින්දු ආගම ම බිහිවූයේ අටවැනි සියවසේ චේර දේශයෙහි උපත ලැබූ අධිශංකර්ගෙන් පසුව බව සුමන්තිරන් සම්බන්ධන්ගෙන් දැනගන්නවා ද? අටවැනි සියවසට පෙර හින්දු ආගමක් ලෝකයේ කොහේවත් නොතිබූ බව වෙල්ලාලයන් කී දෙනකු දන්නවා ද? ඒ බව ඉන්දියාවේ ජනාධිපතිවරයකු වූ ද කේම්බ්‍රිජ් විශ්වවි්‍යාලයෙහි දර්ශනය පිළිබඳ ආචාර්යවරයකු වූ ද සර්වපල්ලි රාධක්‍රෂ්ණන් දැන සිටියේත් නැහැ. ඔහු වරක් කියා තිබුණේ සිද්ධාර්ථ කුමරු හින්දුවරයකු ලෙස ඉපිද හින්දුවරයකු ලෙස ජීවත් වී හින්දුවරයකු ලෙස මියගිය බවයි! සුමන්තිරන් මේවා දන්නවා ය කියා මා සිතන්නේ නැහැ. හින්දු ආගම ඇති වී තිබෙන්නේ බුදුදහමේ හා ජෛන ආගමේ ආභාසයෙන්. අධිශංකර්තුමාට මාධ්‍යමික දර්ශනය බිහි කළ නාගර්ජුන හාමුදුරුවන් විශාල වශයෙන් බලපෑවා. බොහෝ දෙනා එතුමන් වෙස්වළාගත් බෞද්ධයකු ලෙස හැඳින්වූවා.
සුමන්තිරන් මේ විසඳන්න යන ප්‍රශ්නය කුමක් ද කියා මා නැවතත් අසන්නේ ඔහු වැල්ලවත්තේ හා කොටහේනේ ප්‍රශ්නයක් නැති බව සිතන බැවිනුයි. ඔහු පදිංචි කොළඹ පහේ ඔය ප්‍රශ්න එකක්වත් නැතිව ඇති. ඔහුගේ දරුවන් රාජකීය විදුහලේ දෙමළ මාධ්‍යයෙන් නොව ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නේ දරුවන්ගේ කැමැත්තට ද, නැත්නම් සුමන්තිරන්ගේ අවශ්‍යතාවට ද? සුමන්තිරන්ට තම පවුලේ දෙමළ සංස්කෘතිය රැකීමේ වුවමනාවක් නැද්ද? ඔහු යෝජනා කරනනේ උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කරන ලෙසයි. එය දහතුනට වැඩි විය යුතු බවත් ඔහු කියනවා. උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කිරීමෙන් ඒ පළාත්වල දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳෙනවා යැයි කියමු. එවිට ඒ පළාත්වලින් පිට වැල්ලවත්තේ හා කොටහේනේ ද ඇතුළුව සිටින දෙමළ ජනයාගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? එසේත් නැත්නම් ඒ පිට සිටින දෙමළ ජනයාට ඊනියා ප්‍රශ්නයක් නැද්ද?
1833 දී ඉංගිරිසින් බෞතීස්ම කළ දෙමළ ජාතිවාදය ක්‍රමයෙන් විකාශය වෙලා ඊනියා සාකච්ඡා විසඳුම් ද පසුකර ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ සිංහලයන්ට විරුද්ධව ආයුධ ගත්තා. දෙමළ ජාතිවාදීන් හැමදාමත් සටන් කෙළේ සිංහල ජනයාට විරුද්ධව. එය ආණ්ඩුවකට විරුද්ධව කළ සටනක්වත් ජ වි පෙ මෙන් පුස් කෑ මාක්ස්වාදය අනුව රාජ්‍යයකට විරුද්ධව කළ සටනක්වත් නොවෙයි. රාමනාදන්ලා සටන් කෙළේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සිංහල නියෝජනත්වය වැඩි කිරීමට විරුද්ධව මිස ඉංගිරිසි ආණ්ඩුවට විරුද්ධව නොවේ. එහි විකාශයක් ලෙස ප්‍රභාකරන් සටන් කෙළේ සිංහලයන්ගෙන් නිදහස් වීමට. නාගනාදන් පළමු පාර්ලිමේන්තුවේ දී ම දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් විය යුතු බව කියා තිබුණා. නන්දිකඩාල් කලපුවේ දී 1833 සිට පැවත ආ දෙමළ ජාතිවාදී සටන පරාජය කෙරුණා. එය දේශපාලන විසඳුමක්. එයින්  උතුරට හා නැගෙනහිරට කිසියම් වූ ආකාරයක බලය බෙදීමක් නොකරන බවත් කියැවුණා. ඉංගිරිසින් ඇති කළ දෙමළ ජාතිවාදය නන්දීිකඩාල් කලපුවේ දී පරාජය කෙරුණා. සරත් වීරසේකරට එය තේරෙනවා. දැන් කළ යුත්තේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඒ දේශපාලන ජයග්‍රහණය නීති පොතට ඇතුල් කිරීමයි. එනම් දහතුන හා පළාත්සභා අහෝසි කිරීමයි. වෙනත් සාකච්ඡා අවශ්‍ය නැහැ. සුමන්තිරන්ට විතරක් නොවෙයි ස්වාමිනාදන්ටත් රනිල්ටත් කියන්න ඇත්තේ එයයි. ඒකාබද්ධ විපක්‍ෂය කවදා නමුත් නන්දිකඩාල් ජයග්‍රහණය නීති පොතට ඇතුල් කළ යුතුයි.  2009 දී ම එසේ නොකිරීම ගැන ඔවුන් රණවිරුවන්ගෙන් සමාව අයැදිය යුතුයි.
නලින් ද සිල්වා

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *