වෙබ් අඩවිවලින් අධිකරණයට ගැරහීම නීතියේ ස්‌වාධීනත්වයට බරපතළ හානියක්‌

වෙබ් අඩවිවලින් අධිකරණයට ගැරහීම නීතියේ ස්‌වාධීනත්වයට බරපතළ හානියක්‌
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය

සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඡායාරූපය ධර්මසේන වැලිපිටිය

නොයෙක්‌ අශ්ලීල, අසත්‍ය චෝදනා එල්ල කොට විනිශ්චයකරුවන් බියවද්දා, අධිකරණයට අපහාස කොට නීතියේ ස්‌වාධීනත්වයත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ ඇතැම් වෙබ් අඩවි හරහා ක්‍රියාත්මක වන බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පවසයි. මේ පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය වහා යොමු විය යුතු බව පෙන්වා දෙන ඔහු නව පනතක්‌ ගෙනැවිත් හෝ අධිකරණයෙන් ස්‌වාධීනත්වය රැකගැනීමට රජය කටයුතු කළ යුතු බව ද ඔහු මෙම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියේය.

මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍ය තුළ අධිකරණය හා සම්බන්ධ පුවත් පළකිරීමේ සීමාව ඔබ දකින්නේ කෙසේද?

මේ ගැන මම එක උදාහරණයක්‌ කියන්නම්. අපරාධ නඩුවලින් වරදකරුවන් වී සිටින සිරකරුවන්ට තමන්ට දුන් තීන්දුව යළි විභාග කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක්‌ ලිපියකින් ඉදිරිපත් කරන්න පුළුවන්. එවිට එම අභියාචනය හා නීතිය මත විනිශ්චයකාරවරුන් නැවත වරක්‌ ඒ ලබා දුන් තීන්දුව නිවැරදිද යන්න විභාග කරනවා. එසේ කිරීම නඩු විභාග ප්‍රමාදවීමට හේතුවක්‌ බව එවකට ලංකා සමසමාජ පක්‌ෂයේ නායකයකුව සිටි සෙනෙට්‌ සභික රෙජී පෙරේරා මහතා ප්‍රකාශ කළා. මෙය පුවත්පත්වලත් පළවුණා. ඔහුගේ එම ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක්‌ සිදුවූ බව සැලකූ එවකට සිටි අගවිනිසුරු හේම බස්‌නායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්‌වන ලෙස ඔහුට නියෝග කළා.

රෙජී පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි කොල්වින් ආර්. ද සිල්වා මහතා කියා සිටියේ රෙජී පෙරේරා මහතා එම ප්‍රකාශය සිදුකළේ අධිකරණයට අපහාසයක්‌ කිරීමේ ෙච්තනාවෙන් නොව රෙජිස්‌ට්‍රාර්වරයා නිසි ලෙස නඩු ගොනු නොකිරීම නිසා සිදුවන ප්‍රමාදය පෙන්වා දීමේ අදහසින් එම ප්‍රකාශය සිදුකළ බවයි. අධිකරණයේ නිලධාරියකු වන රෙජිස්‌ට්‍රාර්වරයාගේ කටයුතු විවේචනය කිරීමත් අධිකරණයට අපහාස කිරීමක්‌ ලෙස ප්‍රකාශ කළ අගවිනිසුරු හේම බස්‌නායක මහතා රෙජී පෙරේරා මහතාට සිරදඬුවම් නියම කළා. මේ තීන්දුව විශාල ආන්දෝලනයකට ලක්‌වුණා. රෙජී පෙරේරා මහතා ඒ තීන්දුවට එරෙහිව ප්‍රිවි කවුන්සිලයට අභියාචනයක්‌ ඉදිරිපත් කළා. එහිදී නීතිඥ කණ්‌ඩායමක්‌ ඔහු වෙනුවෙන් පෙනී සිට ඔහු නිදහස්‌ කරගත්තා.

රෙජී පෙරේරා සිදුකළේ අධිකරණයට අපහාසයක්‌ නෙමෙයි. සිරකරුවන් විනිසුරුවන් වෙත ඉදිරිපත් කරන ලිපි නිසා නඩු විභාග කීරීම්වල ප්‍රමාදයක්‌ සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ. නමුත් එබඳු දෙයක්‌ පවා අධිකරණ කටයුතුවලට සිදුකරන බලපෑමක්‌ ලෙසයි එදා සැලකුවේ. මේනිසා අධිකරණ ක්‍රියාදාමයන් වාර්තා කිරීමේදී පවා එදා සියලු දෙනා තුළ ඒ පිළිබඳ විශාල ගෞරවයක්‌ තිබුණා. බොහෝ ප්‍රසිද්ධ නඩුවිභාගවලදී ඒවා පිළිබඳ තොරතුරු දැනගැනීමට මා හමුවීමට එන මාධ්‍යවේදීන් මගෙන් අසා දැනගන්නා තොරතුරු ඔවුන් වාර්තා කිරීමට පෙර මගෙන් විමසන මුල්ම ප්‍රශ්නය මෙය අධිකරණයේදී ප්‍රකාශ කළාද යන්නයි. එනම් එම නඩු විභාග ගැන මා කවර තොරතුරක්‌ ඔවුන්ට ලබා දුන්නත් ඔවුන් වාර්තා කළේ මා අධිකරණයේ ප්‍රකාශ කළ දේ පමණයි. එබඳු ශික්‌ෂණයක්‌, අධිකරණය කෙරෙහි ගෞරවයක්‌ ඔවුන් තුළ තිබුණා. නඩුවක්‌ සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රකාශ නොවූ දෙයක්‌ පුවත්පතක පළවුවහොත් එම පුවත්පතේ කතුවරයාට දඬුවම් කරන්නට අභියාචනාධිකරණයට පුළුවන්.

වර්තමානයේ විවිධ වෙබ් අඩවි ඔස්‌සේ අධිකරණ තීන්දු දැඩි ලෙස විවේචනය කරනු දකින්නට තිබෙනවා. එය අධිකරණයේ ස්‌වාධීනත්වයට හා ගරුත්වයට බරපතළ හානියක්‌ බවයි බොහෝ දෙනාගේ අදහස?

මෙය අද අපේ රටට මුහුණදීමට සිදුව තිබෙන බරපතළ අර්බුදයක්‌. ආණ්‌ඩුවට විධායක බලතල තිබෙනවා. විධායක බලතල කියන්නෙත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය. විධායකය, ව්‍යවස්‌ථාදායකය සහ අධිකරණය තුළින් ඉතාමත්ම වැදගත් ආයතනය අධිකරණයයි. අධිකරණය පවතින රජයට හිතවත්ව, පක්‌ෂව තීන්දු ලබාදෙනවා නම් ජනතාව තුළ එම අධිකරණය පිළිබඳ ඇතිවන්නේ ජුගුප්සාජනක හැඟීමක්‌. නමුත් අද සිදුවන්නේ වර්තමාන අධිකරණයට ස්‌වාධීන තීන්දු ලබාදීමට බරපතළ බලපෑම් ඇතිවන ආකාරයට වෙබ් අඩවි කිහිපයක්‌ විසින් අධිකරණයට හා විනිශ්චයකරුවන්ට අපහාස කිරීමයි. විශේෂයෙන්ම දේශපාලන නඩුවක්‌ නම් එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගය ප්‍රකාශ කරන්නේ මේ වෙබ් අඩවි. මෙය විනිශ්චයකාරතුමන්ලාට විශාල මානසික පීඩනයක්‌. ස්‌වාධීන තීරණය ලබාදෙන විනිශ්චයකාරවරුන්ට පමණක්‌ නොවෙයි ඔවුන්ගේ දරුවන්ට දෙමාපියන්ට පවා ඉතාමත්ම නින්දිත ලෙස අශෝභන ලෙස ගර්හා කරමින් නොයෙක්‌ අභූත චෝදනා මේ වෙබ් අඩවි හරහා පළවෙනවා. යුක්‌තිය පසිඳලීමට මේ නිසා ඇතිවන බාධාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියේ ස්‌වාධීනත්වයටත් ඇතිකරන හානිය අති විශාලයි.

මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍යයක පුවත් පළකිරීමේ සීමාවෙන් ඔබ්බට ගිහින් වෙබ් අඩවි අධිකරණයට සිදුකරන මේ බලපෑම වැළැක්‌විය නොහැකිද?

ගොසිප් නැත්නම් මේ වල්පල් කියවන්න සහ නරඹන්න සාමාන්‍ය ජනතාව කැමතියි. අපේ රටේ බොහෝ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යයත් ජනතාවට දෙන්නේ ඔවුන් ඉල්ලන දේ. නමුත් ඒ සඳහා නීති රාමුවකින් වටවූ කිසියම් සීමාවක්‌ තිබෙනවා. එය කඩා බිඳදමන මාධ්‍යයකට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත් හැකියාවක්‌ තිබෙනවා. විදේශවල සිට වෙබ් අඩවි පවත්වාගෙන යන පුද්ගලයින් හිතන්නේ ඔවුන්ට එරෙහිව කිසිවක්‌ කළ නොහැකියි කියලයි. ඒ නිසාම ඔවුන්ට ඕනෑම දෙයක්‌ කළ හැකියි කියලත් ඔවුන් හිතනවා. අපේ දණ්‌ඩනීති සංග්‍රහයේ අපරාධ අපහාස නීතිය තිබුණා. මේ අපරාධ අපහාස නීතිය නිසා අපේ රටේ මාධ්‍යවලට විශාල බලපෑමක්‌ එල්ල වන බවට උද්ඝෝෂණයක්‌ නැගුණා. රට පුරාම මේ උද්ඝෝෂණය කරල අපිත් ඊට දායක වෙලා එක්‌සත් ජාතික පක්‌ෂ ආණ්‌ඩුව කාලෙ ඒ නීතිය ඉවත් කළා. මම අද හිතන්නෙ එය අපි කළ විශාල මෝඩකමක්‌ කියල.

කෙනෙකුට ඔහුගේ චරිතය තරම් වටිනා වෙනත් කිසිවක්‌ නෑ. මා ඝාතනය කළත් කමක්‌ නෑ කුඩා කාලයේ සිට මා රැකගෙන ආ මගේ චරිතය ඝාතනය කරන්න එපා යෑයි ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්‌ අවස්‌ථාවක ප්‍රකාශ කළා. මාධ්‍ය තුළින් සිදුකළ තම චරිත ඝාතනය දරාගත නොහැකිවයි එතුමා ඒ ප්‍රකාශය කළේ. අද කෙනෙකුට විඳින්නට සිදුවන වෙන ඕනෑම පීඩාවකට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගයක්‌ තිබෙනවා. නමුත් තම චරිතය ඝාතනය කරමින් නිර්දෝෂී පුද්ගලයකුට එල්ල කරන මානසික පීඩාවට එරෙහිව ඔහුට කරන්න දෙයක්‌ නෑ. අමූලික බොරු ඇත්ත විදිහට ජනතාවට ඒත්තු ගැනීමට අද අපේ රටේ සිදුවන විශාල ව්‍යසනයක්‌. දේශපාලනඥයන්ට ඒවට උත්තර දෙන්න පාර්ලිමේන්තුව තියෙනවා. වෙනත් නොයෙක්‌ වෘත්තිකයන්ට විවිධ ආයතන තියෙනවා. නමුත් විනිශ්චයකරුවන්ට අද සිදුව තිබෙන්නේ ස්‌වාධීන තීන්දු ලබාදීම නිසා ඔවුන්ට එරෙහිව නැගෙන අභූත චෝදනා හා අශ්ලීල දෝෂාරෝපණ විඳදරාගෙන නිහඬවීමටයි.

අපේ රටේ නීතිඥ සංගමය වැනි ආයතනවලට මේ වෙනුවෙන් කිසිවක්‌ කළ නොහැකිද?

ඒ කාලෙ නීතිඥ සංගමයේ මම ලේකම්, උපසභාපති, නියෝජ්‍ය සභාපති ආදී නිලතල දරන විට මේවා අපිට කවුරුවත් පෙන්වා දෙන්න උවමනා වුණේ නෑ. අපි ක්‍රියාත්මක වුණා. නමුත් අද මට පෙනෙන්නෙ නීතිඥ සංගමය පවා මේ වෙබ් මාµsයාවට බයවෙලා ඉන්නෙ.

ඇතැම් විනිශ්චයකාරවරුන් සම්බන්ධව පළවෙන පුවත්වල යම් සත්‍යතාවක්‌ නැද්ද? සියලුම විනිශ්චයකාරවරුන් සර්ව නිර්දෝෂී පුද්ගලයින් ලෙස සලකන්න පුළුවන්ද?

මම කිසිවිටෙකත් කියන්නෙ නෑ විනිශ්චයකරුවන් සර්ව නිර්දෝෂී කියල. නඩු තීන්දුවක්‌ විවේචනය කිරීමේ අයිතිය සෑම දෙනාටමත් තිබෙනවා. ඒක මූලික අයිතියක්‌. විනිශ්චයකරුවන් වැරදි ලෙස හැසිරෙනව නම් ඒ පිළිබඳ පැමිණිලි කරන්න ස්‌ථානයක්‌ තිබෙනවා. ඒ කිසිවක්‌ නොකර කිසිම පදනමක්‌ නැති අසත්‍ය කරුණු අශ්ලීල ලෙස මහජනතාවට ඉදිරිපත් කළ විට සමස්‌ත අධිකරණයම කඩා වැටෙනවා. අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙනවා. යම් චූදිතයකු ජීවිතාන්තය දක්‌වා සිර කර තැබිය යුතුයි හෝ ඔහුට වෙනත් බරපතළ දඬුවමක්‌ දියයුතුයෑයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් විනිශ්චයකරුවෙක්‌ නඩුවක තීන්දුවක්‌ දෙන්නේ තමන් ඉදිරිපිට තිබෙන කරුණු අනුව. ස්‌වාධීනව හා සාධාරණව ඒ කරුණු විමර්ශනය කර ඔහු තීන්දුවක්‌ දුන්නොත් තමයි මේ රටේ නිදහස රැකෙන්නේ.

අපේ රටේ සෑම රජයක්‌ම ස්‌වාධීන විනිශ්චයකරුවන් සිටින අධිකරණයකට විරුද්ධයි. එක්‌සත් ජාතික පක්‌ෂයේ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ සිට අද දක්‌වාම මේ දේ සිදුවෙමින් පවතිනවා. නමුත් ස්‌වාධීන අධිකරණයක්‌ වෙනුවෙන් අපි හැමදාම කැපවුණා. එදා µSලික්‌ස්‌ ඩයස්‌ මහතා අධිකරණයට සිදුකළ අනිසි බලපෑම්වලට විරුද්ධව, ඔහු අධිකරණය තමන් අතට ගෙන අතකොළුවක්‌ බවට පත්කිරීමට දැරූ ප්‍රයත්නයට විරුද්ධව අපි සියලු නීතිඥවරු ඒකරාශි වුණා. අධිකරණයේ ස්‌වාධීනත්වයත් රටේ නිදහසත් වෙනුවෙන් එදා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය වගේ ශ්‍රේෂ්ඨ නායිකාවක්‌ බලයට පත් වූ පසු ධර්මිෂ්ඨ සමාජයක්‌ ඇතිකිරීමේ මුවාවෙන් ඡේ. ආර්. ජයවර්ධන මහතා අධිකරණයේ ව්‍යqහය බරපතළ ලෙස වෙනස්‌ කරමින් එහි තිබූ ස්‌වාධීනත්වය නැති කළා. ජ්‍යෙෂ්ඨත්වය වෙනස්‌ කළා. මේ ක්‍රමවේදය දිගටම ගියා. ඉන්පසු මේ රටේ බලයට පත් වූ නායකයන් අතුරෙන් අධිකරණයේ ස්‌වාධීනත්වය අගය කළ එකම විධායක ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස මහතායි. තමාට එරෙහිව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සම විභාගවන අවස්‌ථාවේ දී පවා ඔහු අධිකරණයේ විනිශ්චයකරුවන්ගේ ස්‌වාධීනත්වය හා සාධාරණත්වය දැඩිව විශ්වාස කළා.

විනිශ්චයකරුවන්ගේ ස්‌වාධීනත්වයට බලපෑම් ඇතිවන ආකාරයට, ඔවුන්ට සාධාරණ තීන්දු ලබාදීමට නොහැකිවන ආකාරයට බලපෑම් ඇතිවන්නේ නම් අධිකරණය පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් නීතියේ ස්‌වාධීනත්වයටත් ඉන් සිදුවන්නේ විශාල හානියක්‌. එමනිසා විදේශවල සිට නොයෙක්‌ වෙබ් අඩවි හරහා අපේ රටේ අධිකරණයට හා විනිසුරුවන්ට සිදුකරන මේ බලපෑම නතර කිරීමට වහාම පියවර ගත යුතු වෙනවා. සැඟවී සිට අධිකරණයටත් විනිසුරුවන්ටත් අපහාස කරන මේ පුද්ගලයින්ට එරෙහිව මේ වන විට මම නඩු 14 ක්‌ ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ ක්‍ෂේත්‍රය විනාශ කිරීමට වෙබ් අඩවි හරහා උත්සාහ දරන පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබාදීම සඳහා පනතක්‌ ගෙන ඒමට රජය කටයුතු කළ යුතු යෑයි මම විශ්වාස කරනවා.

 

උපුටා ගැනීම – දිවයින

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *