ට්‍රම්ප් නිසා ලෝක යුද්ධයක් ඇති වෙයිද?

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත් නිසැකවම තුන්වැනි ලෝක යුද්ධය පටන් ගනු ඇතැයි යන්න ඔහුගේ විරුද්ධවාදීන් ඉතා දැඩි ලෙස මතු කළ කාරණාවක් විය. දැන් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්ව අවසන්ව ඇති අතර 2017 වසරේ ජනවාරි 20 වැනිදා ඔහු දිවුරුම්දී, ධවල මන්දිරයේ සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ නිසා දැන් නැවතත් ඉහත කී ලෝක යුද්ධය ගැන කතාව සංවාදයට ලක්වෙන්නට පටන්ගෙන තිබේ.
ට්‍රම්ප් නිසා ලෝක යුද්ධයක් ඇති විය හැකිය යන අදහසට පදනම් වූ ප්‍රධාන හේතුවක් වූයේ ඔහු ලෝකය එකතු කරන්නෙකු නොව එය තවදුරටත් බෙදා වෙන්කරන්නෙකු ලෙස ඇතැමුන් විසින් හඳුනාගනු ලැබිමයි. මීට බලපෑ එක් සාධකයක් වූයේ මුස්ලිම් ජාතිකයින්ට, මෙක්සිකෝව වැනි රටවල සිට එන ලතින් ඇමෙරිකානුවන්ට, වෙනත් සුළු ජාතිකයින්ට, කාන්තාවන්ට, ආදී පාර්ශ්වවලට විරුද්ධ ආකාරයේ ස්වරයක් ඔහුගේ ජනාධිපතිවරණ සටන තුළ නිරන්තරයෙන් ප්‍රකාශයට පත්වීමයි.
ට්‍රම්ප් උග්‍ර ජාතිවාදියෙකු ලෙසිනි ඇතැමුන් විසින් සලකනු ලබන්නේ. එසේම ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රකාශ කළ ප්‍රධාන තේමාවක් වූයේ ඇමෙරිකාව නැවත ලෝකයේ ශේ්‍රෂ්ඨ ජාතියක් බවට පත් කිරීමට තමා කැපවන බවයි. (ඔහුට ඡන්දය දුන් වැඩි දෙනා ඇමෙරිකාවේ බහුතරයක් වන සුදු ජාතිකයින් වීමද විශේෂත්වයකි.) ට්‍රම්ප්ගේ මෙම ඇමෙරිකානුවාදයත්, ජාතිවාදයත් වැනි සාධක නිසා ඇතැමුන් ඔහු සමාන කළේ දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කළ පුද්ගලයා ලෙස සැලකෙන ඇඩොල්ෆ් හිට්ලර්ටය. හිට්ලර්ටද ප්‍රධාන වශයෙන්ම වුවමනා වූයේ ජර්මන් ජාතිය ලෝකයේ ශේ්‍රෂ්ඨම ජාතිය බවට පත් කිරීමටය. මේ අනුව හිට්ලර් ගිය මග යමින් ට්‍රම්ප්ද ලෝකය මහා යුද්ධයක් කරා ගෙන යනු ඇතැයි ට්‍රම්ප් විරෝධීහු තර්ක කළෝය.
එසේම ඔහුගේ මුස්ලිම් විරෝධී බවක් පෙන් වූ ප්‍රතිපත්ති නිසා මැදපෙරදිග සාමය තව දුරටත් අනතුරේ වැටෙනු ඇතැයි යන්නද ඇතැමුන් මතු කළ කාරණයක් විය. ඒ අතර චීනය වැනි රටවල් සමග අත්සන් කර ඇති වෙළෙඳ සහ ආර්ථික ගිවිසුම් අවලංගු කිරීමට හෝ  ඇමෙරිකාවට වාසිදායක වන ආකාරයෙන් නැවත අත්සන් කරන්නට  හෝ  ඔහු පියවර ගතහොත් එම රටවල් සමග වෙළෙඳ යුද්ධ ඇති වනු ඇතැයිද, මේ නිසා ලෝක සාමය තවදුරටත් අනතුරේ වැටෙනු ඇතැයිද පෙන්වා දෙනු ලැබිණි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බල තුලනය පවත්වා ගැනීම සඳහා උදව් වුණු උතුරු අත්ලාන්තික්  ගිවිසුම් සංවිධානය (නේටෝ) වැනි ආරක්ෂක සංවිධාන වල කටයුතුද ට්‍රම්ප් නිසා අවුල් වනු ඇතැයි සමහරු පෙන්වා දෙති. නේටෝ සංවිධානය ඇමෙරිකාව ඇතුළු යුරෝපයේ රටවල් 28 ක් සාමාජිකත්වය දරණ සංවිධානයකි.  එක සාමාජික රටකට හෝ ආරක්ෂක තර්ජනයක් එල්ල වුවහොත් සෙසු රටවල්ද සාමූහිකව ඊට මුහුණ දීම මෙහි ප්‍රධාන කාර්යභාරයකි. නේටෝ සංවිධානයේ පැවැත්ම සඳහා සියළුම රටවල් සමසේ වියහියදම් දැරිය යුතු වුවත් ට්‍රම්ප් චෝදනා කළේ ඇමෙරිකාවට ඒ වෙනුවෙන් වැඩි වියදමක් දරන්නට සිදුව ඇති බවයි.  සමහර රටවල් මෙහිදී ඔවුන්ගේ වගකීම ඉටු නොකරන බවයි. මේ නිසා එය ඇමෙරිකාවට ආර්ථික බරක් බවය ඔහු පෙන්වා දුන්නේ. මේ හේතුවෙන් නේටෝ සංවිධානයේ අනාගතය ට්‍රම්ප්ගේ පාලනය යටතේ කිසියම් අභියෝගයකට මුහුණ දී සිටින බව පසුගිය කාලයේ කතාබහට ලක් වූ කාරණයකි. නේටෝ සංවිධානය බිඳ වැටුණහොත් එය ලෝක බල තුලනයද බිඳ දමන්නක් වනු ඇතැයි යන්න මේ අනුව පෙන්වා දෙනු ලැබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනය යටතේ ලෝකය නැවතත් තුන්වැනි ලෝක යුද්ධයක් කරා ඇදී යනු ඇතැයි යන්න සනාථ කිරීමට විවිධ දේශපාලන නිරීක්ෂකයින් සහ විචාරකයින් විසින් ඉදිරිපත් කරනු ලබන හේතු සාධක කිහිපයකි ඉහත සඳහන් කළේ.
නමුත් මේ තර්කය පිලිගන්නට ඇකැමැති සහ ඊට විරුද්ධව තර්ක කරන විශාල පිරිසක්ද සිටියි. ඔවුන් කියා සිටින්නේ ලෝක යුද්ධයක් ඇති විය හැකිව තිබුණේ ට්‍රම්ප් නිසා නොව හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වූවා නම් කියාය. ට්‍රම්ප්ට වඩා ක්ලින්ටන් යුදවාදී, ආක්‍රමණකාරී ප්‍රතිපත්තිවලට ලැදියාවක් දක්වන බවයි මොවුන් පෙන්වා දෙන්නේ.
මෙම කාරණය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන ප්‍රධානම තර්කවලට පසුබිම් වන්නේ සිරියාවේ සිවිල් යුද්ධයයි. සිරියාව තුළ පවතින බිහිසුණ යුද ගැටුම්වලට සෘජුව සම්බන්ධව සිටින්නේ එරට රජය සහ එහිම සිටින ෂියා සහ සුන්නි මුස්ලිම් සටන්කාමීන් වුවද රුසියාව, ඉරානය වැනි රටවල් එක පැත්තකිනුත්, ඇමෙරිකාව, සෞදි අරාබිය වැනි රටවල් අනෙක් පැත්තෙනුත් ඊට සම්බන්ධව සිටියි. ඇමෙරිකාව සහ සෞදි අරාබිය වැනි රටවලට අවශ්‍යව ඇත්තේ සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහ කර තම කඳවුරට හිතවත් කෙනෙකු එහි නායකත්වයට ගෙන එන්නට යයි චෝදනා එල්ල වෙයි. ඒ සඳහා ඔවුහු සිරියාවේ අල් අසාද්ගේ පාලනයට එරෙහිව ක්‍රියාත්මක ඇතැම් කැරළිකරුවන්ට ආධාර ද කරති. අනෙක් අතට රුසියාව සහ ඉරානය ඇතුළු පාර්ශ්ව උත්සාහ කරන්නේ අල් අසාද් ජනාධිපතිවරයාට සිය බලය රැක ගැනීම සඳහා උදව් කරන්නටය. ඒ නිසා මෙය ලෝක බලවතුන් අතර කෙරෙන යුද්ධයක් බවටද පත්ව තිබේ.
ට්‍රම්ප් ජනාධිපති වීම නිසා සිරියාව කේන්ද්‍ර කරගෙන ඇමෙරිකාව සහ රුසියාව අතර ඇති වන ගැටුම් මහා පරිමාණ යුද්ධයක් දක්වා දුරදිග යාම නතර වී ඇතැයි යන්න මේ වනවිට බොහෝ විද්වතුන්ගේ අදහස වී ඇති බව පෙනී යයි. ඊට එක් හේතුවක් නම් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර ජනාධිපතිවරණයට පෙර සිටම පැවති සම්බන්ධයයි. ඔවුන් දෙදෙනා එකිනෙකා වර්ණනා කරගනිමින් වඩාත් මිත්‍රශීලී ස්වභාවයක් පෙන්නුම් කළ අතර ට්‍රම්ප් රුසියාව තුළද අතිශයින් ජනප්‍රිය චරිතයක් බවට පත් විය. එසේම තමා පරදවා ට්‍රම්ප් ජනාධිපති පදවියට ගෙන ඒම සඳහා රුසියාව කුමන්ත්‍රණය කළ බවට  හිලරි ද සෘජුවම චෝදනා කළාය.
කෙසේ හෝ වේවා තම දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තර කරගැනීම ට්‍රම්ප්ගේ මෙන්ම පුටින්ගේද මතු බලා‍පොරොත්තුවක් වීමට ඉඩ තිබේ. එය ඔවුන් දෙපලටම ආර්ථික වශයෙන් වාසිදායක වන නිසාය. මෙම මිත්‍රශීලී බවේ එක් රහසක් එය වීමටද පිලිවන. අනෙක් අතට යුද වියදම් ඇමෙරිකානු ආර්ථිකයේ ‍ලේ උරා බොන බරපතල ව්‍යසනයක්ව ඇති තත්ත්වය තුළ, අන්තවාදීන්ට එරෙහි සටනේදී රුසියාව සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම ඇමෙරිකාවට වියදම් අඩු කරගැනීමේ මාර්ගයක් ලෙස ට්‍රම්ප් කල්පනා කරනවා විය හැකිය.
මේ තත්ත්වය තුළ ට්‍රම්ප් සහ පුටින් අතර ඇති සහයෝගිතා මානසිකත්වය මෙම සුපිරි ජාතීන් දෙක අතර යුද්ධයක් ඇති වීමට ඇති ඉඩකඩ අවම කරන්නක් බව පිලිගත හැකි කාරණයකි. මෙයම තුන් වැනි ලෝක යුද්ධයක් ඇති වීමට තිබෙන අවකාශය අහුරා දමන්නක් ලෙසිනි බොහෝ නිරීක්ෂකයින් විසින් සලකනු ලබන්නේ.
හිලරි ක්ලින්ටන් සහ පුටින් අතර පැවතියේ දැඩි පසමිතුරු ආකල්පයකි. හිලරි බලයට පත් වූවා නම් සිරියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන්නට සිටි ඇතැම් ප්‍රතිපත්ති රුසියාව සමග සෘජු ගැටුමකට මග විවර කරන්නට ඉඩ තිබුණි. උදාහරණයක් ලෙස සිරියාවට ඉහළින් ගුවන් යානා යාම තහනම් කරන පියවරක් ගන්නට ඇය යෝජනා කර තිබුණාය. එහි අරුත වූයේ රුසියානු සහ සිරියානු යුද ගුවන් යානා කැරළිකරුවන්ට බෝම්බ හෙලීම නතර කිරීමය. හිලරි කීවේ මෙම බෝම්බ නිසා සිවිල් ජනයා විශාල වශයෙන් මිය යන බවයි. නමුත් මේ යෝජනාවේ සැබෑ රහස අසාද්ට එරෙහිව සටන් කරන කැරළිකරුවන් රැක ගැනීම වූ බවටද තර්ක කළ හැකිය. නමුත් යම් විදියකින් ඇය ඉහත කී ගුවන් යානා මුක්ත කලාප යෝජනාව ගෙන ආවා නම් රුසියාව පැහැදිලිවම එය උල්ලංඝනය කරන්නට ඉඩ තිබූ බවත්, එයම මහා පරිමාණ යුද්ධයකට මග පාදන්නට ඉඩ තිබුණු බවත් බොහෝ විට පෙන්වා දෙනු ලැබූ කාරණයකි.
එසේම ක්ලින්ටන් පාලනයක් යටතේ නේටෝ සංවිධානයේ කටයුතු ද තවදුරටත් රුසියාවට තර්ජනයක් වන මට්ටමට වර්ධනය වීමට ඉඩ තිබුණු බවටද අදහස් පලවිය. ඊට හේතු වූයේ රුසියාව ආසන්නයේ ඇති, පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් වූ රටවලටද නේටෝ වේ බලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටීමයි. මෙය රුසියාව සැලකුවේ සිය පැවැත්මට එල්ල වූ බරපතල ආරක්ෂක තර්ජනයක් වශයෙනි. මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියා නම් ඒ හේතුවෙන් ඇමෙරිකාව සහ රුසියාව අතර ආතතිය තව දුරටත් වැඩි දියුණු වීමට ඉඩ තිබුණි.
කෙසේ හෝ වේවා ට්‍රම්ප් ගේ ඇමෙරිකාව ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කරනු ඇත්ද නැතහොත් එය මීටත් වඩා අවුල් සහගත තැනක් කරනු ඇත්ද යන්න තීරණය කිරීමට තවම වේලාසන වැඩි බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම මෙම කාරණය  අද මුළු ලෝකයම මහත් කුතුහලයෙන් අවධානය යොමු කර සිටින කාරණයක් බවද ඒ සමගම අමතක කළ හැකි නොවේ.

නිහාල් පීරිස්

උපුටා ගැනීම – ලක්බිම

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *