දේශපාලනඥයන්ට සාහිත්‍ය දෙසුම් අකැපද?

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
(පසුගිය සතියේ (2016 නොවැ 01) බද්දරමල්ලට කමල් පෙරේරා ලියූ ‘දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්’ ලිපියට පිළිතුරකි.)

‘දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්’ යන මැයෙන් කමල් පෙරේරා නමැත්තෙක් නොවැම්බර් 1 වන දින දිනමිණ පුවත්පතේ ‘බද්දරමල්ල’ ට ලියූ ලිපියක් කියවා මෙය ලිවීමට සිතුවෙමි. මගේ නමද ‘දේශපාලනඥයෙක්’ ලෙස සඳහන් වී තිබීම ද ඊට හේතුවක් වූ බව ද කිව යුතුය. කමල් පෙරේරා යනු ලේඛකයෙක් ද, කවියෙක් ද, රාජ්‍ය නොවන සංවිධානයක අතවැසියෙක් ද, එසේත් නැත්නම් ඩොලර්වලට රටේ සංස්කෘතිය පාවා දෙන කලාකරුවෙක්දැයි මා දැන නොසිටියෙමි. නමුත් ඔහු කළුතර සාහිත්‍ය උළෙලට සහභාගි වූ ලේඛකයෙක් බැව් මා දැනගත්තේ ලිපිය කියවා ඔහු කවරෙක්දැයි සංවිධායක මණ්ඩලයෙන් විමසූ පසුය.

කමල් පෙරේරා පවසන්නේ සාහිත්‍ය උත්සවවලදී ආරාධනා ලබන දේශපාලනඥයෝ එහිදී තම දේශපාලන ප්‍රතිරූපය නංවාගන්නා බවත්, එසේ දේශපාලන ප්‍රතිරූප ගොඩනඟා ගන්නා වේදිකා බවට සාහිත්‍ය සභා පත්කර ගැනීමට ඉඩ නොදීම ලේඛකයන්ගේ වගකීම බවත්ය. සාහිත්‍ය සභාවේ සිටින්නේ සාහිත්‍යධරයන් සහ සාහිත්‍ය ප්‍රියකරන්නන් නම් දේශපාලනඥයා මොන තරම් තමා පිළිබඳව කටමැත දෙඩුවත් එවන් පිරිස් හදවත් තුළ ඔහුගේ ප්‍රතිරූපය ගොඩනැ‍ඟෙන්නේ නැති බව ද කමල් පෙරේරාට ප්‍රථමයෙන් මතක් කර දිය යුතු වේ. ඔහුගේ මුළු ලිපියෙන්ම කියාපෑමට උත්සාහ කරන්නේ දේශපාලනඥයින්ට සාහිත්‍ය උත්සවවලට ආරාධනා නොකළ යුතු බවත්, සාහිත්‍ය, කලාව වැනි දේවල් දේශපාලනඥයාට ග්‍රීක් වගේ බැවින් ඔවුන් වේදිකාවේ පල් හෑලි දොඩවන බවත්ය. කළුතර සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය කළ මා ද කමල් පෙරේරා දමා තිබුණේ එවන් වූ දේශපාලනඥයින්ගේ ගොඩටය. ඔහු මා හඳුන්වා ඇත්තේ ද සරත් වීරසේකර ‘උන්නැහේ’ යනුවෙනි.

දේශපාලනඥයා යනු දේශය පාලනය කරන්නාය. රටකට දේශපාලනඥයෝ සිටීම අත්‍යවශ්‍යම දෙයකි. ඔවුන් අතර ලේඛකයෝ, සාහිත්‍යධරයෝ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, කවියෝ සිටිය නොහැකිද? දේශපාලනයට පිවිසි අයකුට සංගීත, සාහිත්‍ය, කලාව අධ්‍යයනය තහනම් ද? එසේ නම් එවන් වූ රසඥතාවයක් ඇති කෙනකුට සාහිත්‍ය උත්සවයකදී වචන ස්වල්පයක් කතා කිරීමට, තමා දේශපාලනයේ නිරතවීම නුසුදුසුකමක් වන්නේ කෙසේ ද?

අපේ රටේ එදා දේශය පාලනය කළේ රජවරුය. එසේ රජකළ බොහෝ රජවරු කලාවට, සාහිත්‍යයට ලැදි ගද්‍ය පද්‍ය පමණක් නොව වෛද්‍ය පොත් පවා රචනා කළ උගත්තු වූහ. අපේ දේශපාලන ඉතිහාසය තුළ ද වර්තමානයේද සාහිත්‍යයට ලැදි දේශපාලනඥයෝ සිටිති. වියට්නාමයේ ජෙනරල් ඩින් ඩියම්, චීනයේ මා ඕ සේතුං පොත්පත් රාශියක් ලියූ අය විය. දේශපාලනඥයින් සාහිත්‍ය උත්සවවලට දේශනා සඳහා නොගෙන්විය යුතු යැයි පවසන කමල් පෙරේරා අපේ රටේ සහ විදෙස් හි සිටි එවන් සාහිත්‍යවේදී දේශපාලනඥයින් පිළිබඳව පොතපත කියවා හෝ ඉගෙන ගැනීම වටී.

එදින කළුතර සාහිත්‍ය උළෙලේ දේශනය සඳහා නිවේදක මහතා මා හැඳින්වූයේ ග්‍රන්ථ කර්තෘවරයකු සහ කලාකරුවකු වශයෙනි. මා පොත් 4 ක කර්තෘ බව ද, ගාමනි චිත්‍රපටයේ අධ්‍යක්ෂක බව ද හෙතෙම පැවසීය. කමල් පෙරේරාත් දැනගැනීම සඳහා නොකැමැත්තෙන් හෝ මා කිව යුත්තේ මා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ එකී ගාමනි චිත්‍රපටය වසරේ හොඳම තිර රචක, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටයට හිමි සම්මාන ඇතුළුව දෙරණ චිත්‍රපට සම්මාන 17 ක් ද, ඕ. සී. අයි. සී. සම්මාන 5 ක් ද, හිමිකරගත් බවයි. අපේ සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂවරයෙක් තම කුළුඳුල් චිත්‍රපටයට සම්මාන 22 ක් හිමිකර ගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද කමල් පෙරේරාට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන කරුණකි.

මගේ දේශනයේ මා විසින් රණවිරු දඩයම ගැන සඳහන් කළා යැයි කමල් පෙරේරා අවඥාවෙන් පවසයි. එම ප්‍රකාශයෙන්ම ඔහු කුමන ජාතියේ පුද්ගලයෙක්දැයි වටහා ගැනීම අපට අපහසු නොවේ. රණවිරුවා යනු කමල් පෙරේරාගේ පවුල ද ඇතුළුව (ඔහුට පවුලක් තිබේ නම්) සමස්ත ජාතියටම ජීවත්වීමේ නිදහස ලබා දුන් පුද්ගලයාය. තම මුළු ජීවිතයම කැප කළ එවන් වූ රණවිරුවා යමෙක් දඩයම් කරයි ද, කලගුණ දන්නා සුජාත රටවැසියෝ සියලුදෙනා ඊට එරෙහිව නැඟී සිටීම ස්වාභාවිකය. සාහිත්‍ය සභාවක හෝ කුමන සභාවක හෝ රණවිරුවාට වන අසාධාරණය ගැන පැවසේ නම් එය අවස්ථානුකූල නොවූවත්, තැනට නොගැළපුනත් සංවේදී හදවතක් ඇති ශිෂ්ට මිනිසුන් එය ඉවසා සවන් දී සිටී. මන්ද, ඔවුන් අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ රණවිරුවන් නිසා බැවිනි. එවන් දෙයක් ඉවසිය නොහැක්කේ රණවිරුවාව මායිම් නොකරන ඔහුට ගරු නොකරන කෙනෙක්ට පමණි. ජාතිය ගලවාගත් රණවිරුවාට ගරු නොකරන්නේ ජාතිය පාවා දෙන්නන් පමණි.

නමුත් මගේ දේශනයේ මා රණවිරුවා ගැන සඳහන් කළේ සාහිත්‍යයටම සම්බන්ධ කර ගනිමිනි. මා එදා සභාවට කීවේ වාර්තාවක සහ සාහිත්‍ය ප්‍රබන්ධයක තිබෙන වෙනසයි. වාර්තාවකින් දැනුමක් පමණක් දෙනු ලබන අතර සාහිත්‍යයෙන් කරනුයේ එම කරුණම රසයක් සමඟ මුසුකොට හැඟීමක් ජනිතවන ලෙස කියාපෑමයි. උදාහරණයක් ලෙස වාර්තාවක සඳහන් වන ‘මව්බිම බේරාගත් රණවිරුවාට අපි ගරු කරමු’ යන කරුණ ගීත කාව්‍යයකින් කෙතරම් සුන්දර ලෙස, හදවත ප්‍රකම්පනය කරමින් කිව හැකිද යන්නයි. ‘මාණික්‍ය‍ සේ පොලෝ ගැබේ නිධාන වී’, ‘සින්දූපමාන වැව් තලා මැදින් ඇදී’, ‘ගංගා තරංග රාව දී රිදී වගේ’ යන ගී පද විග්‍රහ කරමින් මා පැවසුවේ එම ගීත ප්‍රබන්ධකයා සාහිත්‍ය තුළින් රණවිරුවාට ලබා දී ඇති ගෞරවය සහ ඔහු දිරිමත් කළ ආකාරයයි.

රටක පවතින යුද්ධය ජාතික ප්‍රශ්නයක් නම් සහ එහි අවසාන ප්‍රතිඵලය සමස්ත ජාතියටම බලපායි නම් එම යුද්ධයේ ජයග්‍රහණයට සතුරාට කත් නොඅදින, සියලුම ජනතාව සෘජුව හෝ වක්‍රව දායක විය යුතු බව ලොව පිළිගත් න්‍යායකි. සෙබළා, ව්‍යාපාරිකයා, රජයේ/ පුද්ගලික සේවකයා විවිධ මට්ටමින් යුද ජයග්‍රහණයට දායක වන අතර කලාකරුවා දායක විය යුත්තේ රට රැකීමට දිවි කැප කරන සෙබළාගේ චිත්ත ධෛර්යය වැඩිවන නිර්මාණ බිහිකිරීමෙනි. ඉන්දියාවේ කාශ්මීර යුද්ධය අරභයා පමණක්, ඉන්දීය ජාතිකත්වය ඉස්මතු කරවන, ඉන්දීය සෙබළා දිරිමත් කරන චිත්‍රපට සියයකට වඩා බිහිවී තිබේ. පිටරටවල කලාකරුවන් තම රට රකින ආදරණීය සෙබළා වෙනුවෙන් එසේ නිර්මාණ කරන විට, අපේ අහිංසක ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය සමඟ වසර 30 ක් තිස්සේ දිවි කැපකරමින් සටන් වදින ‍රණවිරුවා වෙනුවෙන් ඔහුව දිරිමත් කරන එකදු සිනමා සාහිත්‍ය කෘතියක්වත් බිහිවී නැතැයි සාහිත්‍ය උළෙලකදී පැවසීම, දේශපාලන න්‍යාය පත්‍රයක් දිගහැරීමකැයි යමෙක් කියයි නම් ඒ ‘උන්නැහේගේ’ යුද සාහිත්‍ය පිළිබඳ අවබෝධය අපට වටහා ගත හැක. එවන් කෙනෙක් ‘ලේඛකයෙක්’ වී ඇත්නම් රටේ සාහිත්‍ය ගැන කුමන කතා ද?

මා ඉහත ගී පදවැල් විග්‍රහ කරමින් එම ගීත නිබන්ධකයා රණවිරුවාට ලබා දුන් ගෞරවය සහ ඔහු අගය කළ අන්දම පවසන විට චූලානන්ද සමරනායක සහ අනුරසිරි හෙට්ටිගේ යන කමල් පෙරේරාට අනුව ‘සම්මානනීය’ කලාකරුවන් දෙදෙනා අසුනින් නැඟිට පිටව ගියේ 20,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත වී තමන් ද ඇතුළුව රටේ ජනතාවටම ජීවිත දානය ලබා දුන් රණවිරුවාව අගය කිරීමට තමන්ට කවියකින් හෝ දායක වීමට බැරි වීම ගැන ඇතිවුණු අසීමිත ලජ්ජාව නිසා බැව් සිතන නිසා මා ඔවුනට අනුකම්පා කරමි. මස්ඉඹුල මහතා නම් නැඟිට ගියේ මගේ දේශනය ආරම්භ වීමට ප්‍රථම අත්‍යවශ්‍ය කරුණකට බව ද දේශනය නිමවීමට ප්‍රථම යළි පැමිණි බව ද ඔහු විසින් සංවිධායක මණ්ඩලයට පවසා ඇත.

මා මගේ දේශනයේ ඉන්පසු ‘මහවැලි කැලණි වලවේ කළු යන ගංගා’, ‘අවුකන ගල්වෙහෙර….’, ‘අගනා දුලබ වනමල්…’ යනාදී කවිවලින් වාර්තාවකට වඩා රට ගැන සුන්දර හැඟීම් පහළවන අන්දම ද, එවන් කව් පාසල් දරුවන්ට නැවත ඉගැන්වීමේ වැදගත්කම ද පෙන්වා දුනි.

එසේම යසෝදරාවතෙහි කව් දෙකක් උපුටා දක්වමින් තමා හැර යන ස්වාමියාට පවා එදා බිරිය ස්වාමිභක්තියෙන් යුතුව ආශීර්වාද කළ අන්දම ද, අපරදිග සාහිත්‍යයේ වරදෙහි බැ‍ඳෙන ඇනා කැරනිනා සහ එමා බෝවාරි, ලියෝ තෝල්ස්තෝයි සහ ගුස්ටාෂ් ෂෙලෝබෙයා විසින් මරා දමද්දී, ‘පිරිමින් ද පතන අවසර කල් රහස් තැන’ සහ ‘දෙතිස් කුණු ඇතිවත්’ යනාදී වශයෙන් තොටගමුවේ රාහුල හිමි කාව්‍යශේඛරයේ වරදෙහි බැ‍ඳෙන බිරියට සමාව දීම තුළින්, අපේ සාහිත්‍යධරයා සමාජ ගැටලු පිළිබඳව ගැඹුරින් සහ මානුෂීය අයුරින් බැලූ අන්දම ගැන ද කෙටියෙන් විස්තර කළෙමි. එසේම ලෝකයේ කවිය ගැන විස්තර කළ ආදිතම චින්තකයා බුදුන් වන බවත්, අංගුත්තර නිකායේ සඳහන් වන කවියන් සතර වර්ගය ගැනත් තවදුරටත් මා කෙටියෙන් සඳහන් කළේ දේශනය පිළිබඳව උනන්දුවක් සභාවේ මුහුණු තුළින් මා දුටු නිසාය. කමල් පෙරේරාට නම් මා විසින් කියන ලද එම සාහිත්‍යමය කරුණු ග්‍රීක් වූවාට කිසිදු සැකයක් නැත. මන්ද ඔහුට අනුව ඒවා දේශපාලන පල් හෑලි සහ ජාතිවාදී ආගම්වාදී ප්‍රලාප නිසාය. කමල් පෙරේරාට අනුව සම්මානනීය සාහිත්‍ය යනු පන්සලේ හාමුදුරුවන් සහ පාසලේ ගුරුවරයා කුඩා පිරිමි ළමයෙක් සමඟ සමලිංගික ක්‍රියාවේ හැසිරීම පිළිබඳ විස්තර කරන අනුරසිරි හෙට්ටිගේගේ පොතපතය. නැතහොත් ඩොලර්වලට ජාතික ආරක්ෂාව සහ රණවිරුවා පාවා දෙන කුප්‍රක‍ට පුරවැසි බලයේ සාමාජිකයෙක් ලියන පත පොතය.

කෙටිකතාවක්, නවකතාවක් ලියූ පමණින් තමා මහා ලේඛකයෙක් යැයි සිතා අනුන්ට ගරහන්නා මෝඩ කුහකයෙකි. නියම සාහිත්‍යධරයා සංවේදී හදවතක් ඇති සමාජය පිළිබඳව ගැඹුරු කෝණයකින් බලන, තම උපන් දේශයට ආදරය කරන රසවතෙකි. හෙතෙම, තම මවුබිම දිවිහිමියෙන් රකින රණවිරුවා දිරිමත් කිරීම, තම යුතුකමක් සේ සලකයි. කුහක ලේඛකයෝ එසේ නොකරති. රණවිරුවා අගයන කවියක් හෝ සභාවේ දිගහැරෙන විට භූමිතෙල් තැවරුණු ගැරඬියන් සේ ශාලාවෙන් පලා යති. තවත් සමහරු ශාලාවේ රැඳී සිටිමින් එයට ජාතිවාදී ලේබල් අලවති. සොඳුරු සාහිත්‍යධරයෙකුගේ සහ වර්තමාන සමහර සම්මානනීය ලේඛකයන්ගේ වෙනස එයයි. කමල් පෙරේරාගේ ‘දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්’ නමැති ලිපිය කියවන විට එම වෙනස හොඳින් වටහාගත හැකිවේ.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
2016 නොවැම්බර් 08 දිනමිණ

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *