-අන්තර්ජාතික ප්‍රජාව’ මහින්දට එරෙහි වූයේ ඇයි? – මොහාන් සමරනායක

අන්තර්ජාතික ප්‍රජාව’ මහින්දට එරෙහි වූයේ ඇයි?-මොහාන් සමරනායක

“යුද්ධය පැවති කාලයේ ප්‍රබල රාජ්‍ය නායකයන් අපේ රටට ආවා. සාමය ආරක්ෂා කිරීමට කොළඹ සිට ඇඹිලිපිටියට ගියා. ඒ අය යළි ගියාම කිව්වේ ඒ අයට මඤ්ඤොක්කා කවලා යැව්වා කියලා. මේ නිසා අපි හිතාමතාම ජාත්‍යන්තරය නැති කරගත්තා. ලෝක බලවතුන් නැති කරගත්තා.” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 ඔක්තෝබර් 2 වන දින රාත්‍රී කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් හමුවේ කළ කතාවෙන්.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය අව පාලනය නිසා ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ නැතහොත් ජාත්‍යන්තරය ශ‍්‍රී ලංකාවට සතුරු වූ බවත් වත්මන් රජය මහින්ද රාජපක්‍ෂ කළ වරද නිවැරදි කොට ඔවුන් මිතුරු කර ගත් බවත් කියැවෙන මෙවැනි ප‍්‍රකාශ කරනුයේ ජනාධිපති පමණක් නොවේ. 2015 ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් පසු ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ නමින් හඳුන්වා ගන්නා ගෝලීය බලවතුන්ගේ න්‍යාය පත‍්‍රයට මුලුමනින්ම පාහේ අනුගත වූ වත්මන් ආණ්ඩුවේ සෙසු නායකයෝත් සිය පිළිවෙත සාධාරණීකරණය පිණිස මේ හා සමාන ප‍්‍රකාශ යළි යළිත් කරති. අගමැති, විදේශ ඇමැති, අධිකරණ ඇමැති, කැබිනට් ප‍්‍රකාශක, විශ්වවිද්‍යාල ඇමැති සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකොට ජයගෙන හෝ නැතිව පාර්ලිමේන්තුවට පිවිස යහපාලනයට එක් වී ඇමැති ධුර ලබාගත් මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරු ඔවුන් අතර කැපී පෙනෙති.

මාක්ස් වාදීන් හා ජනමාධ්‍ය

මේ මතය දරන්නෝ සහ ප‍්‍රකාශ කරන්නෝ යහපාලන ආණ්ඩුවේ නායකයෝ සහ සගයෝ පමණක් ම ද නොවෙති. මෙරට මුල් පෙළේ මාධ්‍යවේදීන් සමහරෙක්, තමන් මාක්ස්වාදීන් ලෙස හඳුන්වාගන්නා ඇතැමෙක්ද ඔවුන් සමඟ එකට සිට ගනිති. ජනාධිපති රාජපක්‍ෂ අනුවණ ලෙස බටහිර ජාතීන් සහ ඉන්දියාව අමනාප කර ගත් බව දිනපතා ඉංග‍්‍රීසි පුවත්පතක කතුවැකි කිහිපයකම සටහන් කර තිබිණ. අනුවණකම් මොනවාදැයි ඒවායේ සඳහන් නොවීය. ජනතා විමුක්ති පෙරමුණේ අන්තර්ජාතික සබඳතා විෂයය භාර බිමල් රත්නායක මන්තී‍්‍රවරයාද පසුගිය දිනක පුවත්පතකට සමාන ප‍්‍රකාශයක් කළේය. එබඳු මත සියල්ල කැටිකොට ගත් විට කියැවෙන අදහස ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ මෑත භාගයේදී ශ‍්‍රී ලංකාව කෙරෙහි අනුගමනය කරමින් සිටි කි‍්‍රයාකලාපය ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සැකසුනක් නොව රාජපක්‍ෂ ආණ්ඩුවේ චර්යාවට ප‍්‍රතිකි‍්‍රයාවක් පමණක් බවය.

අන්තර්ජාතික ප‍්‍රජාව මහින්ද රාජපක්‍ෂ සමඟ විරසක වූයේ මන්දැයි යහපාලකයන් සහ ඔවුන්ගේ සහායකයන් දක්වන හේතු මෙසේ සම්පිණ්ඩනය කිරීමට පිළිවන:

* අනුවණ විදේශ පිළිවෙත සහ අකාර්යක්‍ෂම විදේශ සබඳතා කළමනාකරණය.
* නීතියේ පාලනය යටපත් කළ අධිකාරිවාදී පාලන රටාව.
* මානව හිමිකම් උල්ලංඝනය කිරීම.
* දූෂිත පවුල් පාලනය.
* අන්තර්ජාතික ප‍්‍රජාවට දුන් ප‍්‍රතිඥා ඉටු නොකිරීම.

‘අන්තර්ජාතික ප‍්‍රජාව’ දැන් අපේ රට සමඟ සැබැවින්ම මිතුරු වී සිටී ද ඒ මිත‍්‍රත්වය අපට අත්කර දෙන යහපත් හෝ අයහපත් ප‍්‍රතිවිපාක කවරේද යන්න නිවැරදිව අවබෝධකොට ගැනීම ජාතියේ අභිවෘද්ධියට ඉවහල් වන බැවින් ඉහත සඳහන් සාධක ප‍්‍රත්‍යක්‍ෂ මූලක සාධක ඇසුරෙන් විභාග කළ යුතු වන්නේය. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ යන පදය වත්මන් ගෝලීය දේශපාලන යථාර්ථය නියෝජනය නොකරන බවත්, එය ව්‍යාජෝක්තියක් බවත් සියල්ලට ප‍්‍රථම අවධාරණය කළ යුතුය. වචනාර්ථය ගත් කල ඉන් සමස්ත ලෝක ප‍්‍රජාව ඇඟවෙන නමුදු ප‍්‍රායෝගික ව්‍යවහාරයේදී ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ ලෙස පෙනී සිටිනුයේ ප‍්‍රධාන වශයෙන් බටහිර ධනවත් සහ බලවත් රාජ්‍යයන් අතළොස්සකි. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සතුරු කර ගත් බව හෝ මිතුරු කර ගත් බව හෝ කියන විට අදහස් වනුයේ මෙකී රාජ්‍යයන් සමූහය යි.

* අනුවණ විදේශ පිළිවෙත සහ අකාර්යක්‍ෂම විදේශ සබඳතා කළමනාකරණය

මහින්ද රාජපක්‍ෂ පාලනයට පමණක් නොව නිදහසින් පසු ශී‍්‍ර ලංකාවේ කවර ආණ්ඩුවකට වුවද තත්කාලීන ලෝක රටාව ගැඹුරින් අධ්‍යයනය කොට රටට යෝග්‍ය අයුරින් සකසා ගත් විදේශ ප‍්‍රතිපත්තියක් නොවීය. වැඩිපුරම සිදුවූයේ ඒ ඒ වකවානුවේ බලයට පත් දේශපාලන පක්‍ෂයේ ආර්ථික සමාජ දෘෂ්ටිය සහ පිළිවෙත සමඟ ගැළපෙන විදේශ සම්බන්ධතා ව්‍යූහයක් ගොඩනගාගැනීමය. ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක බ්‍රිතාන්‍යය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් තැබීමත් සමාජවාදී රටවල් සමග රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා ඇති කර නොගැනීමත් ඊට නිදසුන්ය. සමකාලීන අන්තර්ජාතික සන්දර්භය පිළිබඳ යම් පමණක හෝ අවබෝධය පදනම්කොට ගත් විදේශ ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක වූයේ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩු කළ සමයේ පමණි.

රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලනයට ද වත්මන් ලෝක රටාව සහ ඒ පිටුපස ඇති දෘෂ්ටිය හා බලවේග අරභයා නිසි අධ්‍යයනයකින් අත්කරගත් දැනුමක් නොවීය. වැඩි වශයෙන් සිදුවූයේ ඒ ඒ අවස්ථාවේ උද්ගත අවශ්‍යතා අනුව සබඳතා ඇතිකරගැනීම හා පවත්වා ගැනීම පමණි. හිටපු ජනාධිපතිවරයාගේ දෙවැනි පාලන සමයේදී විදේශ සබඳතා කළමනාකරණය බෙහෙවින් අවුල් සහගත, අනුවණ හා අකාර්‍යක්‍ෂම එකක් වූයේ ය. තානාපතිවරුන් සහ තානාපති නිලධාරීන් පත්කිරීම අත්තනෝමතික විය.

අමෙරිකා එක්සත් ජනපදය වැනි ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයකට පවා තානාපති ලෙස පත් කරනු ලැබූයේ පෞද්ගලික අභිමතය අනුව තෝරාගත් තැනැත්තෙකි. තවත් ප‍්‍රධාන පෙළේ රටකට නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස මෙරටේ ගර්හාවට ලක් වූ පුද්ගලයකු පත්කරන ලදී. ඇමැති ධුරය හෙබැවූ උගත් මහාචාර්යවරයා සිටියදී විදේශ අමාත්‍යංශය මෙහෙයවන ලද්දේ මදාවි චරිතයක් ලෙස අපකීර්තියට පත් තැනැත්තකු විසිනි. අමෙරිකාව ප‍්‍රමුඛ බලවත් රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙවලමක් කොටගෙන ශී‍්‍ර ලංකාවට එරෙහිව මානව හිමිකම් ආයුධය අතට ගත් විට ඊට මුහුණදීමට කිසිදු විධිමත් වැඩපිළිවෙළක් නොවීය. මහජන සබඳතා සමාගම්වලට මුදල් ගෙවා අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් කළ හැකි යැයි සිතන තරමට පාලකයෝ අනුවණ වූහ.

මේ අනුවණකම් සහ අකාර්යක්‍ෂමතා රාජපක්‍ෂ පාලනය සමඟ සතුරුවීමට ප‍්‍රමාණවත් සාධක ලෙස ගැනීමට තරම් ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ බොළඳ වන්නේ නැත. රාජපක්‍ෂ පාලන සමයේදී ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ ශ‍්‍රී ලංකාවට බොහෝ සතුරුකම් කළහ. එල්ටීටීඊ සමඟ යුද්ධය උච්ච අවස්ථාවට ළඟාවෙමින් තිබූ 2008 වසරේ අයවැය පරාජය කිරීමට මෙරට බටහිර තානාපති කාර්යාල ඉමහත් උත්සාහයක් ගත් බව ප‍්‍රකටය. යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී. ප්ලස් සහනය අහෝසි කර දැමීය. මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කෙරිණ. රාජක්‍ෂ පාලනය මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 1.5ක ණයක් ඉල්ලා සිටි විට එය ප‍්‍රදානය වැළැක්වීමට ඔවුහු බොහෝ දේ කළහ. අවසානයේ ශ‍්‍රී ලංකාව යුධ අපරාධ කළේ යැයි චෝදනා කරමින් මානව හිමිකම් කවුන්සිලයේදී යෝජනා සම්මත කරගනු ලැබීය.

ඔවුන් අපේ අනුවණකම් දෙස, දේශපාලන හිතවත්කම් මත පත්ව සිටි තානාපතිවරුන් දෙස උපහාසයෙන් බලන්නට ඇතත සිනාසෙන්නටද ඇත. එහෙත් මේ සා සතුරුකම් කරන්නට ඒවා හේතුවිය නොහැකිය. විදේශ සබඳතා කළමනාකරණයේ අනුවණකම් සතුරුකම් කරන්නට හේතු වන්නේ නම් ‘අන්තර්ජාතික’ ප‍්‍රජාවට තුන්වැනි ලෝකයේ බොහෝ රටවල් සමඟ තානාපති සබඳතා පවත්වාගැනීමට පවා නොපිළිවන. අනෙක් අතට ‘අන්තර්ජාතික ප‍්‍රජාවට’ අයත් ජාතීන්ද මෙවැනි අනුවණකම් නොකරනවා නොවේ.
අධිකාරිවාදී පාලනය

රාජපක්‍ෂ පාලනය සමඟ සතුරු වීමට ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ පෙළඹවූ, යහපාලනය සඳහන් කරන සෙසු සාධක තුන එනම්, නීතියේ පාලනය යටපත් කළ අධිකාරිවාදී පාලන රටාව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා දූෂිත පවුල් පාලනය එකට ගෙන සාකච්ඡා කළ හැකිය. ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ රටකට සතුරුවීමට මේ සාධක ඉවහල් වන්නේ නම්, අධිකාරීවාදී, දූෂිත, පවුල් පාලනයක් පවතින සෑම රාජ්‍යයකටම ඔවුන් එරෙහිවිය යුතුය. දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් පසු ඉතිහාසය ගත් කල රාජපක්‍ෂ පාලනය මෙන් දහ දොළොස් ගුණයකින් මර්දනකාරී, කුරිරු, මිනීමරු හා ආඥදායක ආණ්ඩු බහුතරය නඩත්තු කර ඇත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ආ අමෙරිකා එක්සත් ජනපදය විසිනි.

පිලිපීනයේ ෆර්ඩිනන්ඩ් මාකෝස්, ඉන්දුනීසියාවේ සුහර්තෝ, දකුණු කොරියාවේ සින්ග්මන් රී, තායිවානයේ චියැං කායි ෂේක්, පාකිස්තානයේ සියා උල් හක්, වියට්නාමයේ ඩිං ඩියම්, ඉරානයේ ෂා රෙසා පාලවි, චිලීයේ ඔගොස්ටෝ පිනෝෂේ, කොංගෝවේ මොබුටු සෙසේ සෙකෝ අමෙරිකාවේ සුරතලුන්ව සිටි දූෂිත ආඥදායකයන් විශාල සංඛ්‍යාවකින් කිහිපදෙනෙකු පමණි. ඔවුන්ගේ නාම ලේඛනය බොහෝ දිගය. වර්තමානයේ මැද පෙරදිග කලාපයේ මර්දනකාරී දූෂිත රාජාණ්ඩු සියල්ලම අමෙරිකාවේ හිතෛෂීහූ වෙති. ඔවුන්ට එරෙහිව මානව හිමිකම් යෝජනා තබා ඊට අඩු මට්ටමේ කි‍්‍රයාමාර්ගයක් හෝ නැත.

‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සෙසු රාජ්‍යයන්ට එරෙහිවන තවත් ප‍්‍රබල හේතුවක් තිබේ. ඒ කිසියම් රටක් බටහිර නව ලිබරල් ආර්ථික මාදිලිය ප‍්‍රතික්ෂේප කරමින් සමාජවාදී හෝ සමාජවාදයට නැඹුරු, ස්වාධීන සංවර්ධන මඟක් තෝරාගැනීමය. කියුබාවේ පිදෙල් කස්ත්‍රෝ, වෙනිසියුලාවේ හියුගෝ චාවෙස්, බොලිවියාවේ ඊවෝ මොරලස් ඊට නිදසුන් සපයති. රාජපක්‍ෂ ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ රනිල් වික‍්‍රසිංහ හෝ මෙන් නව ලිබරල්වාදයේ අන්තයට නොගියද ඔහුගේ ආර්ථික පිළිවෙත මූලික වශයෙන් නව ලිබරල්වාදයම විය. ඔහු ධනේශ්වර වෙළෙඳ පොළ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කළේ නැත. ඔහුගේ උපදේශකයෝ වැඩිදෙනා උග්‍ර ධනේශ්වර චින්තනයක් සහිත අය වූහ. රාජපක්‍ෂ පාලනය සමඟ සතුරුවීමට ආර්ථික පිළිවෙතද ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ට හේතුවක් වූයේ නැත.

එසේ නම් මේ විරසකය ප‍්‍රභවය ලබන්නේ කොතැනින්ද? ප‍්‍රධාන මූලාශ‍්‍ර දෙකකි. පළමුවැන්න අමෙරිකාව ප‍්‍රමුඛ ලෝක පාලක ති‍්‍රමුර්තියේ බලකිරීම් සහ තර්ජන හමුවේ නොසැලී එල්ටීටීඊ බෙදුම්වාදය පරාජය කිරීමය. දෙවැන්න, බටහිර ගෝලීය ආධිපත්‍යයට විශේෂයෙන් ආර්ථික බලයට ප‍්‍රබල අභියෝගයක් වෙමින් සිටින චීනයට සමීප වීමය. වර්ෂ 1500දී පමණ උපත ලැබ වත්මන් අවදිය දක්වා පරිණාමය වී ඇති ලෝක රටාව ධනවත් සහ බලවත් ජාතීන් අතළොස්සක ආධිපත්‍යයට නතු වූ ධුරාවලිගත ව්‍යුහයක් සහිත එකක් බවත්, රටාවේ කේන්ද්‍රය නිර්මාණය කරන ජාතීන් සෙසු සියලු රටවල් සිය අවනතභාවයේ තබාගැනීමට නිරතුරුව උත්සාහ කරන බවත්, කාලීන විමසුම ලිපි පෙළෙන් සාක්‍ෂි සහිතව පෙන්වා දුනිමු. ඒ සඳහා රටවල් ඇතුළතින් දුබල කොට අස්ථාවර කළ යුතුය.

අවශ්‍ය නම් බෙදා වෙන් කළ යුතුය. ඉලක්කය සපුරා ගැනීමට අධිපති ජාතීන් භාවිත කරන මෙවලම් අතර, බෙදුම්වාදය ප‍්‍රධාන තැනක් ගනී. කිසියම් රටක බෙදුම්වාදී අරගල ඇතිවන්නේ හුදෙක් ‘අන්තර්ජාතික ප‍්‍රජාවේ’ උවමනාව නිසාම නොවේ. අභ්‍යන්තර සාධක ඊට මුල්වන බවට විවාදයක් නැත. අන්තර්ජාතික ප‍්‍රජාව මෙවැනි අරගල උත්සන්න කොට තමන්ට අවශ්‍ය පරිදි කළමනාකරණය කරමින් සිය අරමුණ සපුරාගැනීම සඳහා උපයෝගී කර ගනී.

ශ‍්‍රී ලංකාවේද එය සිදුවූ බවට ප‍්‍රමාණවත් සාක්‍ෂි පවතී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එල්ටීටීඊ යට එරෙහි මිලටරි කි‍්‍රයාමාර්ගය ආරම්භ කළ වහාම අන්තර්ජාතික ප‍්‍රජාව ඊට එරෙහි වූයේ එබැවිනි. යුද්ධයේ අවසාන භාගයේදී එල්ටීටීඊ ආයුධ නැව් හඳුනා ගැනීමට අමෙරිකාව උදව් කළද, එල්ටීටීඊ මුළුමනින්ම පරාජය වනු දැකීමට එරටට අවශ්‍ය වූයේ නැත. අමෙරිකාව ප‍්‍රමුඛ රටවල අපේක්ෂාව වූයේ සුඩානයේ හෝ කොසෝවෝහි කළාක් මෙන් තමන්ට පාලනය කළ හැකි බල ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවේ නිර්මාණය කිරීමයි. එවිට එහි සිට දකුණු ආසියාවටත් චීනයටත් බලපෑම් කිරීමට පිළිවන. මහින්ද රාජපක්‍ෂ එල්ටීටීඊ පරාජය කරමින් මේ සැලැස්ම ව්‍යර්ත කර දැමුවේය.

ජයක් නැති යුද්ධය

එල්ටීටීඊ කිසිවිටකත් යුද්ධයෙන් පරාජය කළ නොහැකි යයි බටහිර ජාතීහු දිගටම අපට කියා සිටියහ. ඉන්දියාවේ රජීව් ගාන්ධි සාර්ථකව ඉදිරියට යමින් තිබූ වඩමාරච්චි මෙහෙයුම කඩාකප්පල්කොට වෙනම රාජ්‍යයක් සඳහා තවදුරටත් සටන් කිරීමට ප‍්‍රභාකරන් රැක ගත්තේය. “ඔබට කිසිවිටෙකත් එල්ටීටීඊ පරාජය කරන්නට බැහැ”, නෝර්වේ සාම නියෝජිත එරික් සෝල්හයිම් 2006 මාර්තු මස රාජපක්‍ෂ මහතාගේ මුහුණටම පැවැසීය. 2009දී බරක් ඔබාමා අමෙරිකාවේ ජනාධිපති ධුරයට සහ හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරයට පත්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව අරභයා දැඩි පිළිවෙතක් ගැනීමට එරට තීරණය කළේය. යුද්ධය නතර නොකරන්නේ නම් ශ‍්‍රී ලංකාව යුද අපරාධ චෝදනාවලට ලක්විය හැකි යයි එවක මෙරට අමෙරිකානු තානාපති රොබට් බ්ලේක් 2009 මාර්තු 18 වැනදා විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට අන්තරාය ඇඟවීය. “ශ‍්‍රී ලංකාවේ බියකරු මානව ඛේදවාචකයක්” දිගහැරෙමින් තිබේ යැයි හිලරි ක්ලින්ටන් 2009 අපේ‍්‍රල් 29 වනදා ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළාය.

අමෙරිකාවේ අනුදැනුම හා ආශීර්වාදය ඇතිව එදා බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති ඬේවිඩ් මිලිබෑන්ඩ් සහ ප‍්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර්, ජනාධිපති සිරිසේන කියන පරිදි සාමය ඇතිකිරීමට නොව, යුද්ධය නතර කරන ලෙස ඉල්ලනු පිණිස 2009 අපේ‍්‍රල් 28 වනදා දිවයිනට පැමිණියහ. ඔවුහු ඊට පසුදා ඇඹිලිපිටියට සමීප චන්ද්‍රිකා වැව අසබඩ ජනාධිපති නිවහනේදී රාජපක්‍ෂ මහතා හමුවූහ. විදේශ ඇමැති බෝගොල්ලාගම, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ ලේකම් පාලිත කොහොන, අතිරේක ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ බි‍්‍රතාන්‍ය හා ප‍්‍රංශ තානාපතිවරු රැස්වීමට එක්ව සිටියහ. “ජනාධිපතිතුමනි, ඔබට දැනුම්දීමට ‘අන්තර්ජාතික ප‍්‍රජාවගේ’ පණිවිඩයක් අප වෙත තිබෙනවා. ඔබේ හමුදා දෙමළ ජනයා සහමුලින් විනාශ කිරීමේ නිරත වෙලා. දෙමළ ජනයාට කරන මේ ප‍්‍රහාර වහා නතර කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.” මිලිබෑන්ඩ් දැඩි ස්වරූපයෙන් පැවැසීය. (Mr.President, we have a message from the international community. You forces are threatening the annihilation of the Tamils. We want you to stop these attacks on Tamils immediately)

මහින්ද රාජපක්‍ෂ දුන් පිළිතුර තියුණු සේම කෝපයද මුසු එකක් විය. “මතක තබාගන්න අප තවදුරටත් ඔබේ කොලනියක් නොවේ. එය 1948දී අවසන් වුණා. අපේ හමුදා ත‍්‍රස්තවාදය අවසන් කරන තුරු මම නතර වන්නේ නැහැ.” (Remember, we are no longer a colony of yours. That ended in 1948. I will not stop until our forces will finish terrorism.) “අප ඔබේ මිතුරන්”, යයි කියමින් කුෂ්නර් මැදිහත් විය. රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෙසේ ප‍්‍රතිචාර දැක්වීය. “මගේ මිතුරන් කවුදැයි මම දන්නවා. මේ මිනිස්සු මැරෙනකොට ඔබට ඒක ප‍්‍රවෘත්තියක්. නමුත් මට සහ මගේ ජනතාවට එය මහ විපතක්. මම මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ නායකයා. අපි දැන් ත‍්‍රස්තවාදය අවසන් කිරීමට ආසන්නයි. මම නතර වෙන්නේ නෑ.” (I know who my friends are. When people die here it’s just news for you, but it’s agony for me and my people. I am the elected leader of this country and we are very close to ending terrorism. We will not stop.)

මාෆියා මූලධර්මය

තුන්වැනි ලෝකයේ දිළිඳු දුබල රටක නායකයෙක් ලෝකයේ තනි සුපිරි බලවතාගේ සහ ඔහුගේ සමීපතම සඟයන් දෙදෙනකුගේ නියෝගය දෙවරක් නොසිතා ඉවත දැමීය. මහින්ද රාජපක්‍ෂ සමඟ සතුරුවීමට අන්තර්ජාතික ප‍්‍රජාවට එය ප‍්‍රමාණයටත් වැඩි හේතුවක් විය. නොම් චොම්ස්කි අමෙරිකානු විදේශ පිළිවෙත ගැන කතා කිරීමේදී මාෆියා මූලධර්මයක් ගැන සඳහන් කරයි. අවනත නොවනු තබා අවතන නොවීමට කල්පනා කිරීමට පවා දුබලයකුට ඉඩ නොතැබීම මාෆියා මූලධර්මයයි. එසේ ඉඩ දුනහොත් සෙසු අයද ඒ මඟ ගනිති. එවිට සුපිරි බලවතාගේ ගෝලීය ආධිපත්‍යය බිඳ වැටේ. කිසිසේත්ම ඊට ඉඩදීමට නොපිළිවන. මහින්ද රාජපක්‍ෂට පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාවටම නැවත එබඳු ආඩම්බරයකින් කතා කිරීමට හෝ ක‍්‍රියා කිරීමට හෝ ඉඩ නොලැබෙන පරිදි දඬුවම් කිරීමට අමෙරිකාව අධිෂ්ඨාන කර ගත්තේය. ඉතිරිය ඉතිහාසයයි.

චීනයෙන් ආයුධ මිලට ගැනීම, ණය ගැනීම, ශ‍්‍රී ලංකාව තුළ චීන ව්‍යාපෘති සඳහා ඉඩ දීම අමෙරිකාව පමණක් නොව ඉන්දියාවද කෝප ගැන්වීය. ආණ්ඩු වෙනසක් (රෙජිම් චේන්ජ්) කළ යුතු බව ඔවුහු තීරණය කළහ. ජනවාරි 8 වෙනසට හවුල් වූවන් මෙතෙක් ලියා ඇති පොත පතෙන් හෙළිවන පරිදි ‘රෙජීම් චේන්ජ්’ සංග‍්‍රාමය සැලසුම් කිරීම 2011 දීම ඇරඹිණ.

මහින්ද රාජපක්‍ෂ යුධ අපරාධ කළවුන්ට දඬුවම් කිරීම සඳහා යාන්ත‍්‍රණයක් ස්ථාපනය කරන බවට පොරොන්දු වෙමින් ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ සමඟ ගිවිසුමකට එළැඹියේ නැත. එල්ටීටීඊ විනාශයෙන් තුන් දිනකට පසු එනම් 2009 මැයි 22 වැනිදා දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන්කී මූන් වගවීමේ කි‍්‍රයාදාමයක අවධාරණය කළ විට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළා පමණි. ගිවිසුමක් තිබී එය මුලුමනින්ම ක‍්‍රියාත්මක කළද ජනාධිපති රාජපක්‍ෂට දඬුවම් කිරීමේ උත්සාහය ‘අන්තර්ජාතික ප‍්‍රජාව’ අත්හරින්නේ නැත. යහපාලන ආණ්ඩුව ‘අන්තර්ජාතික ප‍්‍රජාවට’ මුලුමනින්ම අවනත වීමෙන් සිදුවූයේ එකී උත්සාහය සාර්ථක කරගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වීමය.

[ඉරිදා ජාතික පුවත්පත]

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *