සදාචාරයේ බැම්ම කඩා කැමරා ඉදිරියේ නිරුවත් වීම – ඩිහාන් කීරියවත්ත

පසුගිය දිනක පෞද්ගලික බැංකුවක් තුල දෙදෙනෙකු පැවැත්වු ලිංගික සබඳතාවයක් දැක්වෙන වීඩියෝවක් පිළිබදව සමාජජාල ඔස්සේ විශාල කතා බහක් ඇතිවිය. මෙවැනි වීඩියෝවක් දකින විට පැන නගින මූලික ප්‍රශ්නයක් වන්නේ අතිශය පෞද්ගලික දෙයක් මේ ආකාරයෙන් වීඩියෝගත කරේ ඇයි කියාය. ස්ලැවෝජ් ජීජැක් නම් මනෝ විශ්ලේෂික දාර්ශනිකයා පවසන්නේ ලිංගික සම්බන්ධතාවයක් සෑම විටම රදා පවතින්නේ අනෙකෙකුගේ දැක්ම (gaze) මත බවයි. මෙය පැහැදිලි කිරීමට ඔහු ග්‍රාම්‍ය විහිළු කතාවක් ගෙනහැර දක්වනවා. නැවක් අනතුරකට ලක්වී මුහුදුබත් වීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයෙක් පාළු දූපතකට පාවි එනවා. එම දුපතේදී ඔහුට Cindy Crawford නමැති සුරෑපි නිරෑපිකාව හමුවෙනවා. එහිදී අර පුද්ගලයාට Cindy සමඟ ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට හැකි වෙනවා. ඒම කටයුත්ත අවසානයේදී Cindy ඔහුගෙන් විමසන්නේ ඔබ අප අතර සිදුවු දෙයින් තෘප්තිමත්ද කියාය. පුද්ගලයා පවසන්නේ එයින් තමන් තෘප්තියක් ලැබු බවත්, තවත් එක් සුළු දෙයක් ඇයට තමන් වෙනුවෙන් කර හැකිනම් තමන්ගේ තෘප්තිය පරිපූර්ණ වන බවත්ය. ඔහු පවසන්නේ ඇයට තමන්ගේ හොඳම මිතුරාගේ පෙනුමට සැරසෙන ලෙසයි. තමන් කිසිදු විපරීත ක්‍රියාවකට සුදානම් නොවන බවට ඔහු පොරොන්දු වෙයි. එයට එකඟවන ඇය කලිසමකින් සැරසි උඩු රැවුලක්ද සකසා ගනී. වෙස්ගැන්වීම අවසන්වූ පසු අර පුද්ගලයා නිරෑපිකාව සමීපයට ගොස් තමාගේ වැලමිටෙන් ඇයගේ ඇලපතට ඇන අශ්ශීල සිනහවක් සමඟින් මෙසේ පවසයි. “එ්යි උඹ දන්නවද වැඩක්. මම Cindy Crawford එක්ක දැන් ටිකකට කලින් සෙක්ස් කරානේ”. මෙයින් කියවෙන්නේ ලිංගික සබඳතාවයකට තුන්වැන්නෙක්ගේ දැක්ම අවශ්‍ය වනවා කියන එක. මේ තුන්වැන්නාගේ දැක්ම පිළිබද හැඟීම අවිඥානික එකක් විය හැකිය.

බැංකුවක් තුල ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වු යුවලගේ සිදුවීමෙදී මෙම තුන්වැන්නාගේ කාර්ය සිදුකරේ වීඩියෝ කැමරාවය. කැමරාව එම කාර්ය සිදු නොකරන්න පිරිමියාට සිදුවන්නේ තමන්ගේ හිතවතුන්ට “උඹලා දන්නවද වැඩක්. මම අරකිත් එක්ක ඔෆීස් එක ඇතුලෙදි සෙක්ස් කරානේ” කියා පැවසීමටය. එහෙත් එසේ සෑම කෙනාටම පැවසීම ආරක්ෂාකාරී නැත. කැමරාව හරහා ගොඩනගා ගත් අනෙකාගේ දැක්ම නිසා එම සංවාදය වලක්වාගෙන ඇත.

ලැකානීයානු යෙදුමක් වන මහ අනෙකා (Big Other) යනුවෙන් හැදින්වෙන්නේ භාෂාව, නීතිය, සංස්කෘතිය, සමාජ සම්මත යනාදියය. ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට යාමේදි ස්ථානය, සම්බන්ධය පවත්වන කෙනා ආදිය තීරණය කිරීමෙදි අප මහ අනෙකාගේ දැක්මට අවනත වේ. අපට ඕනෑම කෙනෙක් සමඟ ඕනෑම ස්ථානයක ලිංගික සබදතාවක් පැවැත්විය නොහැක. ශිෂ්ඨාචාරය විසින් පැනවු සදාචාර පද්ධතියට අප අවනත විය යුතුයි. ජීජැක් පවසන්නේ වර්තමාන ලිබරල් සමාජයේදී මානව හිමිකම් යනුවෙන් හැදින්වෙන දෙය ක්‍රිස්තියානියේ ඉගැන්වෙන සදාචාර පද්ධතිය වන දස පනත (ten commandments) උල්ලංඝණය කිරීමට දුන් නීතිමය අවසරයක් බවයි. මෙම අදහස ක්‍රිස්තියානියේන් ඔබ්බට රැගෙන ගොස් කිවහැක්කේ ඔබ යම්කිසි සදාචාර පද්ධතියක් උල්ලංඝණය කරන විට ඔබගේ ගැලවුම්කාරයා වන්නේ මානව හිමිකම් කියාය. මේ වනවිට ලිංගික සබඳතා පැවැත්වීමට තිබු සදාචාරාත්මක බාධක ඉවත්වී ගොස් හොදින් වැඩුනු වැඩිහිටියන් දෙදෙනෙකු දෙදෙනාගේ කැමැත්තෙන් ලිංගික සබඳතාවක් පවත්වනවා නම් ඔබට පාන්ද? යනුවෙන් ප්‍රශ්න කිරීම දක්වා තත්වය ලිහිල් වී ඇත. ඒ අනුව මහ අනෙකා වශයෙන් ක්‍රියාකල නිතීය, සමාජ සම්මත ඉවත්වී දැන් ආදේශවී ඇත්තේ අවට සිටිනවුන්ගේ අතරැදි ස්මාට් ෆොන් හා CCTV කැමරාය. එමනිසා අප බිය වන්නේ නීතිය, සමාජ සම්මත උල්ලංඝණය කිරීමට නොව, නීතිය උල්ලංඝණය කරන ආකාරය ඇතුලත් වීඩියෝවක් පසුදින සමාජජාල වෙබ් අඩවිවල දක්නට ලැබේ යැයි කියාය. බැංකු සිද්ධියෙන් දෙන පණිවිඩය නම් දැන් නීතියට, සමාජ සම්මත වලට වඩා ඔබ බියවිය යුත්තේ කැමරා වලට කියාය.

යුතුකම සංවාද කවය

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *