මෙවර ඔලිම්පික් උළෙලට යන ශ්‍රී ලංකා කණ්ඩායම

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර දී පැවැත්වීමට නියමිත 2016 ඔලිම්පික් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවදින ක්‍රීඩකයින් මේ වනවිට ද තේරීපත් වී හමාරය.

ජාතික ඔලිම්පික් කමිටුවෙහි (NOC) ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මේ සම්බන්ධව පසුගිය ජුනි මස 28වෙනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ මෙවර තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 07 දෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක් සහභාගී වන බවයි. නමුත් මේ වනවිට ජාත්‍යන්තර බස ඉසිලීමේ ක්‍රීඩක සුදේශ් පීරිස් ද එම කණ්ඩායමට එක්ව තිබේ.

ඒ අනුව අගෝස්තු මස 05 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩකයින් වන්නේ, අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, නිලූකා ගීතානි රාජසේකර, සුමේධ රණසිංහ, නිලුක කරුණාරත්න, මංගල සමරකෝන්, චාමර ධර්මවර්ධන, සුදේශ් පීරිස්, මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම්ය.

මේ අතරින් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ නිලූකා ගීතානි රාජසේකර මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ද සුමේධ රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කරමින් ද නිලුක කරුණාරත්න බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරමින් ද මංගල සමරකෝන් වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කරමින් ද චාමර ධර්මවර්ධන ජූඩෝ ඉසව්වෙන් ද සුදේශ් පීරිස් බර ඉසිලීම වෙනුවෙන් ද මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම් පිහිනුම් ඉසව්වෙන් ද ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.

පසුගිය 2014 වසරේ ස්කොට්ලන්තයේ ග්ලස්ගොව්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 123ක් හා ක්ලීන් ඇන්ජ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 150ක් වශයෙන් කිලෝ ග්‍රෑම් 273ක සමස්ත බර ප්‍රමාණයක් ඉසිලීමෙන් සුදේශ් පීරිස්ට සහනදායී පදනම (wild card) මත මෙවර ඔලිම්පික් සුදුසුකම් ලැබී ඇත.

එසේ වුවත් ඔහු මෙම වසරේ අප්‍රේල් මාසයේ උස්බෙකිස්තානයේ පැවැති ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ දී කිලෝග්‍රෑම් 69 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 125ක් හා ක්ලීන් ඇන්ජ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 161ක් වශයෙන් කිලෝග්‍රෑම් 286ක සමස්ත බරක් ඔසවමින් 16 වැනි ස්ථානයට පත්ව තිබීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් කිලෝග්‍රෑම් 62 බර පන්තිය යටතේ තරග වැදීමට මෙවර ඔලිම්පික් සුදුසුකම් ලබා තිබෙන සුදේෂ් එම ඔලිම්පික් සුදුසුකම් ලැබූවන්ගේ ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලන ශ්‍රේණිගත නාම ලේඛනයේ 29 වැනි ස්ථානයට පත්ව තිබීම ද තවත් කැපී පෙනෙන සුදුසුකමකි.

මේ අතර මෙවර ඔලිම්පික් සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනයට මැතිව් අබේසිංහ හා කිමිකෝ රහීම්ද ඇතුළත්ව ඇතැයි ද, ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ජූඩෝ ක්‍රීඩකයකු ඔලිම්පික් සුදුසුකම් ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් ද බවද ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

ඔවුන්ගේ ඡායාරූප පහතින්.

අනුරාධ කුරේ – මැරතන්

අනුරාධා ගීතානි ජයසේකර – මැරතන් (කාන්තා)

සුමේධ රණසිංහ – හෙල්ල විසිකිරීම

මැතිව් අබේසිංහ – පිහිනුම්

නිලූක කරුණාරත්න – බැඩ්මින්ටන්

මංගල සමරකෝන – වෙඩි තැබීම

කිම්කෝ රහීම් – පිහිනුම් (කාන්තා)

සුදේශ් පීරිස් – බර ඉසිලීම

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *