අපේ සිනමාවට නැඟුණු සාහිත්‍යය

සිනමා ඉතිහාසයේ බොහෝ දුර්ලභ අවස්ථාවක් ලෙසින් සාහිත්‍ය කෘති දෙකකින් නිර්මාණය කළ සිනමා නිර්මාණ කෘති දෙකක් එකවර තිරගත කිරීමද සුවිශේෂි අවස්ථාවක් වේ. එනම් ද්‍රවිඩ සාහිත්‍යයේ එන විශිෂ්ට සාහිත්‍ය කෘතිය වන සිලප්පදිකාරම් සහ මනිමේඛෙලෙ කෘති ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ චිත්‍රපටය මෙන්ම චම්මින්ද වෙලගෙදර විසින් රචිත සක්කාරං කෘතිය ඇසුරෙන් ආචාර්ය ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ ‘සක්කාරං’ චිත්‍රපටය ද මේ දිනවල තිරගත වීමයි.

සිංහල සිනමාවේ එදා මෙදාතුර තිරගත වූ චිත්‍රපට අතරේ නවකතා ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපට ද බොහෝ වේ. නවකතාවල ජනප්‍රියත්වය සමඟින් ඇතැම් චිත්‍රපට ලද ජනප්‍රියත්වය අදටත් නොනැසී පැවතීමද විශේෂත්වයකි.

නවකතාවක් ඇසුරෙන් සිංහල සිනමාවේ නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය වන්නේ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘කැලෑ හඳ’ චිත්‍රපටය යි. 1953 වසරේ තිරගත වූ ‘කැලෑ හඳ’ චිත්‍රපටයට පාදක වූයේ ඩබ්ලිව්. ඒ සිල්වා රචනා කළ කැලෑ හඳ නවකතාවය. ඩබ්ලිව්. ඒ සිල්වා විසින් රචනා කළ රදළ පිළිරුව නවකතාව ඇසුරෙන් ‘රදළ පිළිරුව’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටී. ආර් සුන්දරම් විසිනි. එය තිරගත වූයේ 1954 වසරේදීය. ඒ. එස්. ඒ සාම් අධ්‍යක්ෂණය කර 1956 වසරේදී තිරගත කළ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටය නිර්මාණය වූයේ පියදාස සිරිසේන විසින් රචිත ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරෙනි.

ශ්‍රේෂ්ඨ ප්‍රංශ නවකතාකරු වික්ටර් හියුගෝ විසින් රචිත අති විශිෂ්ට කෘතියක් වන ඹ්ඥඵ ර්ඪඵධිපචඡතඥඵ (ලේ මිසරාබ්ලේ) කෘතියද මෙරට චිත්‍රපට සඳහා පාදක කරගෙන තිබේ. අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන් විසින් මෙම කෘතිය මනුතාපය ලෙසින් සිංහලයට පරිවර්තනය කළේය. මිත්‍රදාස් අධ්‍යක්ෂණය කළ ‘දුප්පතාගේ දුක’ චිත්‍රපටයට පාදක වූයේ එම කෘතිය යි. 1957 වසරේදී තිරගත වූ සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘සිරකරුවා’ චිත්‍රපටයට පාදක වූයේ ද මනුතාපය කෘතිය යි.

ඒ බාස්කර් රාජ් අධ්‍යක්ෂණය කර 1956 වසරේදී තිරගත වූ ‘රම්‍යලතා’ චිත්‍රපටයට පදනම් වූයේ සරත්චන්ද්‍ර බන්ද්‍රෝපාද්‍ය රචනා කළ දේව්දාස් කෘතිය යි. ඩබ්ලිව්. ඒ සිල්වා විසින් රචිත සිරියලතා නවකතාව ඇසුරෙන් එස්. එස් රාජන් ‘සිරියලතා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1957 වසරේදී එය තිරගත කෙරිණි. එල්. එස් රාමචන්ද්‍රන් අධ්‍යක්ෂණය කර 1958 වසරේදී තිරගත කෙරුණු ‘දෙයියන්නේ රටේ’ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ ද ඩබ්ලිව්. ඒ සිල්වා විසින් රචිත කෙටි කතාවකි. ඩී. බී සෙනෙවිරත්න විසින් රචනා කරන ලද මා ආලය කළ තරුණිය නවකතාව ඇසුරෙන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ සිරිසේන විමලවීර විසිනි. 1959 වසරේදී ‘මා ආලය කළ තරුණිය’ චිත්‍රපටය තිරගත කෙරිණි. එම වසරේදීම තිරගත වූ එස්. කේ ඕජා අධ්‍යක්ෂණය කළ ‘දෛවයෝගය’ චිත්‍රපටයට පාදක වූයේ ද ඩබ්ලිව්. ඒ සිල්වා විසින් රචිත දෛවයෝගය නවකතාවයි.

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත තුන්ඈඳුතු නවකතාව ඇසුරෙන් චිත්‍රපට ත්‍රිත්වයක් නිර්මාණය වී තිබේ. තුන්ඈඳුතු නවකතාවේ පළමු වැන්න ගම්පෙරළිය ඇසුරෙන් 1963 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ගම්පෙරළිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. දෙවැන්න කලියුගය ඇසුරින් ‘කලියුගය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ආචාර්ය පීරිස් විසිනි. ඔහුගේ යුගාන්තය චිත්‍රපටයට පදනම් වූයේ තුන්ඈඳුතු නවකතාවේ තෙවැන්න යුගාන්තය ඇසුරිනි. එය 1985 වසරේදී තිරගත කෙරිණි.

‘හදිසි විවාහය’ චිත්‍රපටයට පාදක වූයේ, ඩී. වී සෙනෙවිරත්න විසින් රචිත හදිසි විවාහය නවකතාවයි.

කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කළ ‘හඳපාන’ චිත්‍රපටයට පාදක වූයේ ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් රචිත නවකතාවයි. 1965 වසරේදී එය තිරගත කෙරිණි. 1965 වසරේදී තිරගත වූ රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ ‘සුදෝ සුදු’ චිත්‍රපටයට පාදක වූවේ සාගර පලන්සූරිය හෙවත් කේයස් විසින් රචිත සුදෝ සුදු කවි පොත යි. සිසිර කුමාර මානික්කාර විසින් රචිත සොඳුරු යුවළ නවකතාව ඇසුරෙන් එල්. එස් රාමචන්ද්‍රන් ‘සොඳුරු යුවළ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය තිරගත වූයේද 1965 වසරේදීය. ටී. ජී. ඩබ්ලිව් ද සිල්වා විසින් රචිත මහ රෑ හමු වූ ස්ත්‍රිය නවකතාව ඇසුරෙන් 1966 වසරේදී කේ වෙන්කඩසාලම් විසින් ‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණ කළේය.

කරුණාසේන ජයලත් විසින් රචිත ගොළු හදවත කෘතිය බෙහෙවින් ජනප්‍රිය වූ කෘතියක් වූවා සේම 1968 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණ කළ ‘ගොළු හදවත’ චිත්‍රපටයද ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගන්නට සමත් විය. 1970 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘අක්කර පහ’ චිත්‍රපටයට පාදක වූයේද මඩවල එස් රත්නායකගේ අක්කර පහ නවකතාවයි. 70 වසරේදීම මහගමසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘තුංමං හන්දිය’ චිත්‍රපටය නිර්මාණය වූයේ සේකරයන් විසින් රචිත තුංමං හන්දිය නවකතාව ඇසුරෙනි. එය ඔහු විසින් නිර්මාණය කළ එකම වෘත්තාන්ත චිත්‍රපටය යි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කර 1972 වසරේදී තිරගත වූ ‘නිධානය’ චිත්‍රපටයට පාදක වූයේ ජී. බී සේනානායක විසින් රචිත නිධානය කෙටි කතාවයි.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘පරසතු මල්’ චිත්‍රපටයට පාදක වූ පරසතු මල් නවකතාව පුවත්පතක කොටස් වශයෙන් පළ විය. එම නවකතාව සේම ‘පරසතු මල්’ චිත්‍රපටයේ තිරපිටපත රචනා කළේද පී. කේ. ඩි සෙනෙවිරත්න විසිනි. ‘මහහේනේ රීරි යකා’ චිත්‍රපටයට පාදක වූයේ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක විසින් රචිත මහහේනේ රීරි යකා නවකතාවයි. 1976 වසරේ තිරගත වූ චිත්‍රපට කිහිපයක්ම නවකතා ඇසුරෙන් නිර්මාණය වී ඇත. එච්. ඊ ජයසිංහ අධ්‍යක්ෂණය කළ ‘නයනා’ චිත්‍රපටයට පසුබිම් වූයේ, ටී. බී ඉලංගරත්න විසින් රචිත නවකතාවයි. ඉලංගරත්නයන් විසින් රචිත විලම්භීත, තිලකා සහ තිලක යන කෘති ත්‍රිත්වය ඇසුරෙන් අමරනාත් ජයතිලක ‘තිලක සහ තිලකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත යොවුන් නවකතාවක් වන මඩොල් දූව ඇසුරෙන් ‘මඩොල් දූව’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි.

විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කර 1976 වසරේදී තිරගත වූ ‘දුහුළු මලක්’ චිත්‍රපටය හීලි විජේතුංග විසින් නවකතාවක් ලෙස එළිදැක්වීය. ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘මංගලා’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ටී. බී ඉලංගරත්න විසින් රචිත නවකතාවක් ඇසුරෙනි. ඉලංගරත්නයන්ගේම නෑදැයෝ නවකතාව ඇසුරෙන් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා ‘නෑදෑයෝ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ 1976 වසරේදීය.

1977 වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් ‘පෙම්බර මධු’ චිත්‍රපටය ඇන්තනී පීටර්ගේ නවකතාව ඇසුරින් නිර්මාණය වූ අතර එය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුගතපාල සෙනරත් යාපා විසිනි. ධර්මසේන පතිරාජ විසින් අධ්‍යක්ෂණය කළ ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ කතාව නිර්මාණය වූයේ කරුණාරත්න සපුතන්ත්‍රී රචනා කරන ලද මනමාලි සහ එයා දැන් ලොකු ළමයෙක් නවකතා ද්විත්වය ඇසුරිණි. ධර්මසිරි ගමගේ සිරිපාල හා රන්මැණිකා නවකතාව රචනා කරන ලද්දේ සත්‍ය කතාවක් පසුබිම් කරගනිමිනි. 1977 වසරේදී අමරනාත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘සිරිපාල හා රන්මැණිකා’ චිත්‍රපටයට පදනම් වූයේ ද එයයි. අමරනාත් ජයතිලක විසින් ‘නිවෙන ගින්න’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ටී. බී ඉලංගරත්නගේ නවකතාවට අනුවය.

කරුණාසේන ජයලත්ගේ ගැහැනු ළමයි නවකතාව ඇසුරින් නිර්මාණය කළ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ආචාර්ය සුමිත්‍රා පීරිස් විසිනි. එය තිරගත වූයේ 1978 වසරේදීය. එම වසරේදීම තිරගත වූ ‘අහසින් පොළවට’ චිත්‍රපටය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළේ අයලින් සිරිවර්ධනගේ නවකතාව පෙරදැරි කර ගනිමිනි. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වූ ‘සසර’ චිත්‍රපටයේ පිටපත රචනා වූයේ ටී. බී ඉලංගරත්නගේ නවකතාවට අනුවය.

දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් රචිත ජීවන කඳුළු නවකතාව පාදක වූ ‘ජීවන කඳුළු’ චිත්‍රපටය තිරගත වූයේ 1979 වසරේදීය. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ දයාවිමලවීර විසිනි. ඩබ්ලිව්. ඒ සිල්වාගේ නවකතාව ඇසුරෙන් කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘හිඟන කොල්ලා’ චිත්‍රපටයය පසුබිම් වූයේ ඩබ්ලිව්. ඒ සිල්වාගේ හිඟන කොල්ලා නවකතාවයි. ලිලියන් කාරියවසම් රචනා කළ ටක් ටික් ටුක් නවකතාව ඇසුරින් යසපාලිත නානායක්කාර ‘ටක් ටික් ටුක්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය තිරගත වූයේ 1980 වසරේදීය. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ආදර රත්නේ’ චිත්‍රපටයට පාදක වූයේ, කුමාර කරුණාරත්නගේ ආදර රත්නේ නවකතාවයි. පියදාම පලන්සූරියගේ සිරිබෝ අයියා කෙටි කතාව ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ‘සිරිබෝ අයියා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 1980 වසරේදී තිරගත වූ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගඟ අද්දර’ චිත්‍රපටයට තේමා වූයේ ලැටීෂියා බොතේජුගේ ගඟ අද්දර නවකතාවයි. එය නිෂ්පාදනය කළේ මිලිනා සුමතිපාල විසිනි. ඒ නිසා කාන්තාවන් ත්‍රිත්වයකගේ දායකත්වයෙන් නිර්මාණය වූ සිනමා නිර්මාණයක් ලෙසත් ගඟ අද්දර චිත්‍රපටය විශේෂ වන්නේය. ගුණදාස අමරසේකර කරුමක්කාරයෝ නවකතාව ඇසුරෙන් තිස්ස අබේසේකර ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටය නිර්මාණය කළේය. පරාක්‍රම ද සිල්වාගේ ‘හෙවණැලි ඇද මිනිස්සු’ චිත්‍රපටයට පසුබිම් වූයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ නවකතාවයි. ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘මයුරිගේ කතාව’ චිත්‍රපටයට පාදක වූයේ, ධර්ම ශ්‍රී මුණසිංහ සිළුමිණ පුවත්පතට රචනා කළ නවකතාවකි.

1981 වසරේ තිරගත වූ ‘වාලම්පුරි’ චිත්‍රපටය නිර්මාණ කරන ලද්දේ රොඩ්නි ජොන්ක්ලාස්ගේ නවකතාව ඇසුරෙන් වන අතර ‘බැද්දේගම’චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ලෙනාඩ් වුල්ෆ් රචනා කළ විලේජ් ඉන් ද ජන්ගල් නවකතාව ඇසුරෙනි. ඒ පී ගුණරත්න විසින් මෙම නවකතාව බැද්දේගම ලෙසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. 81 වසරේදී තවත් චිත්‍රපට කිහිපයක්ම නවකතා ඇසුරින් නිර්මාණය කෙරිණි. ධර්මසේන පතිරාජගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයට නිර්මාණය කළේ එච්. ඒ සෙනෙවිරත්නගේ කෙටි කතාවක් ඇසුරිණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘බඹා කෙටූ හැටි’ චිත්‍රපටයට පාදක වූයේ, කරුණාසේන ජයලත්ගේ නවකතාවයි. එය හොළු හදවත කෘතියේ දෙවැනි කොටසයි. කඳපොල කුමාරතුංගගේ ‘සත්කුළු පව්ව’ සහ ‘දයාබර නිලූ’ චිත්‍රපටවල පසුබිම් කතා ඇතුළත් වන්නේ ඔහු විසින්ම එම නමිවලින් රචිත නවකතා ද්විත්වය යි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘සතර දිගන්තය’ චිත්‍රපටය ප්‍රථමවරට තිර රචනයක් කෘතියක් ලෙස එළිදක්වන්න මුල් වූ චිත්‍රපටය යි. එය රචනා කරන ලද්දේ රෝහණ වෙත්තසිංහ විසිනි.

කරුණාසේන ජයලත්ගේ රිදී නිම්නය නවකතාව ඇසුරින් ආචාර්ය ඩී. බී නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘රිදී නිම්නය’ චිත්‍රපටය තිරගත වූයේ 1982 වසරේදීය. එම වසරේදී තිරගත වූ අශෝක පොන්නම්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘ප්‍රදීපා’ චිත්‍රපටයට පසුබිම් වූයේ, අශෝපී පීරිස් විසින් රචිත ඇයි මට මෙහෙම වුණේ නවකතාවයි. උපාලි වනිගසූරිය රචිත කිරි සුවඳ කෘතිය ඇසුරින් ඇන්ටන් ග්‍රෙගරි ‘කිරි සුවඳ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘කැලෑ මල්’ චිත්‍රපටයට පසුබිම් වූයේ, ටී. ඉලංගරත්නගේ ගුවන්විදුලි නාට්‍යයකි. පරාක්‍රම ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘බිත්ති හතර’ චිත්‍රපටයට පාදක වූයේ සුගතපාල ද සිල්වාගේ නවකතාවයි. කරුණාසේන ජයලත්ගේ යහළු යෙහෙළි නවකතාව ඇසුරෙන් ආචාර්ය සුමිත්‍රා පීරිස් ‘යහළු යෙහෙළි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාය.

1983 වසරේදී දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස රචනා කළ රන් මිණි මුතු නවකතාව ඇසුරෙන් ඩබ්ලිව් විල්ෆ්‍රඩ් සිල්වා ‘රන් මිණි මුතු’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. කුමාර කරුණාරත්න ගේ ආදර ගීතය නවකතාව පාදක වූයේ, අමරනාත් ජයතිලකගේ ‘ආදර ගීතය’ චිත්‍රපටයට ය. එය තිරගත වූයේ 1984 වසරේදී ය. එස්. ඒ ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කර 1984 වසරේ තිරගත වූ ‘පරසතුරෝ’ චිත්‍රපටය නිර්මාණ කළේ ජයසේන ජයකොඩිගේ පරසතුරෝ නවකතාව යි. දිවංගත අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස විසින් රචිත හිතවතිය නවකතාවෙන් කැමිලස් පෙරේරා ‘හිතවතිය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. පියසේන නිශ්ශංකගේ වදුල නවකතාවෙන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘වදුල’ චිත්‍රපටය තිරගත වූයේ 1984 වසරේදීය. මානෙල් අබේරත්න රචිත ඉංග්‍රිසි නවකතාවක් ඇසුරෙන් ආචාර්ය සුමිත්‍රා පීරිස් ‘මායා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාය.

1985 වසරේදී තිරගත වූ ‘මිහිදුම් සළු’ චිත්‍රපටයට පසුබිම් වූයේ, ජයකොඩි සෙනෙවිරත්නගේ මිහිදුම් සළු නවකතාවකයි. ‘මිහිදුම් සළු’ අධ්‍යක්ෂණය කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටය නිර්මාණය කළේ සයිමන් නවගත්තේගමගේ සුද්දිලාගේ කතාව නම් නවකතාව ඇසුරිනි. කඳපොළ කුමාරතුංගගේ තවමත් ගිම්හානේ නවකතාව ඇසුරෙන් ඔහු වාසිටි කෙල්ල චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

1986 වසරේ අනිර්මාණය වූ චිත්‍රපට අතුරින් ‘අසිපත මමයි’ චිත්‍රපටය නිර්මාණය වූයේ ඇලෙක්සැන්ඩර් ඩියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ත ක්‍රිස්තෝ නවකතාව ඇසුරිණි. එය අධ්‍යක්ෂණය කළේ ජෙරාඩ් ප්‍රනාන්දු විසිනි. ආත්ම පූජා චිත්‍රපටයට පාදක වී ඇත්තේ කෝෂිකානු සහෝදරයෝ නවකතාවයි. ආචාර්ය ඩී. බී නිහාල්සිංහ අධයක්ෂණය කළ ‘මල්දෙණියේ සිමියොන්’ චිත්‍රපටයේ කතා තේමාව ඇතුළත් වෙන්නේ ඇරැව්වල නන්දිමිත්‍ර විසින් රචිත නවකතාවයි. දයාවිමලවීරගේ ‘දෙව් දුව’ චිත්‍රපටය උපාලි වනිගසූරියගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරිණි. ආචාර්ය තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘විරාගය චිත්‍රපටයේ කතාව නිර්මාණ වූයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගය නවකතාව අසුරෙනි. විරාගය තිරගත වූයේ 1987 වසරේදී ය.

1988 වසරේ තිරගත වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා’ චිත්‍රපට සයිමන් නවගත්තේගමගේ එම නමින්ම යුතු කෙටි කතාව පාදක විය. 1990 වසරේදී එච්. ඩී ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘පාලම යට’ චිත්‍රපටයේ කතාව කුලසේන ෆොන්සේකාගේ නවකතාවකින් නිර්මාණය වූ අතර 1991 වසරේදී ආචාර්ය ඩී. බී නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘කෙළිමඬල’ චිත්‍රපටයට පසුබිම් වූයේ සුමිත්‍රා රාහුබද්ධගේ කෙළිමඬල නවකතාවයි. 1991 වසරේදීම තිරගත වූ ‘මධුසමය’ චිත්‍රපටය වල්පොල ආරිවිමලසිරිගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරිණි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ කේ. ඒ විජේරත්න විසිනි. එන් විමලසේන විසින් අධ්‍යක්ෂණය කළ ‘අලිබබා සහ හොරු හතළිහ’ චිත්‍රපටයට පදනම් වන්නේ අරාබි නිසොල්ලාසයේ කතාවයි. නිළි රැජන මාලිනි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘ස්ත්‍රී’ චිත්‍රපටයට කතාව ඇරැව්වල නන්දිමිත්‍රගේ ස්ත්‍රී කෙටි කතාව පාදක විය.

1993 වසරේදී තිරගත වූ ලයනල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘මැවිලා පෙනේවි රූපේ හදේ’ චිත්‍රපටයට පාදක වූයේ ඩබ්ලිව්. ඒ සිල්වාගේ කැලෑ හඳ නවකතාව යි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 1995 වසරේදී අවරගිර චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජී. බී සේනානායකගේ අවරගිර නවකතාව ඇසුරෙණි. එම වසරේදීම ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල විසින් ‘අයෝමා’ චිත්‍රපටය අධ්‍යක්ෂණයට පාදක වූයේ දෙනගම සිරිවර්ධනගේ අයෝමා නවකතාවයි. එඩ්වඩ් මල්ලවආරච්චිගේ ලොකු දුව නවකතාව ඇසුරෙන් 1996 වසරේදී ආචාර්ය සුමිත්‍රා පීරිස් ‘ලොකු දුව’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කළ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ පසුබිම් කතාව ඇතුළත් වන්නේ ජී. බී සේනානායකගේ එකට එක නවකතාවෙහි ය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ අනන්ත රාත්‍රිය චිත්‍රපටයට පාදක වූයේ, ලියෝතොල්ස්තෝයිගේ රීසරෙක්ෂන් නවකතාව යි.

ධර්මසිරි බණ්ඩාරනායක විසින් 1997 වසරේදී අධ්‍යක්ෂණය කළ බව දුක සහ බව කර්ම යන චිත්‍රපට ද්විත්වයට පාදක වන්නේ බව දුක හා භව කර්ම නව කතාවය. 2001 වසරේදී තිරගත වූ මනෝ වීරසේකර අධ්‍යක්ෂණය කළ ‘පසදිය ගිනි සුළං’ චිත්‍රපටයට පාද වන්නේ ශුද්ධ වූ බයිබලයේ එන කතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කර 2002 වසරේදී තිරගත වූ ‘සුදු සෙවණැළි’ චිත්‍රපටයේ කතාව නිර්මාණය වූයේ පියදාස වැලිකන්නගේ නවකතාව ඇසුරිණි.

ආරියරත්න විතාන ඔහුගේ ඉරැස්මා නවකතාව ඇසුරින් ‘ඉරැස්මා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. 2003 වසරේදී එය තිරගත කෙරිණි. එම වසරේදීම තිරගත වූ සුදත් රෝහණගේ ‘සුදු කළුවර’ චිත්‍රපටයේ කතාව එන්නේ උළුගෙදර ආරච්චිගේ නවකතාවෙහි ය. අනුර හොරේෂස් විසින් රචිත ගිනිකෙළි සහ ගිනි අවි නවකතාවේ කොටසක් ඇසුරින් ඔහු අධ්‍යක්ෂණය කළ ‘සොඳුරු දඩබිම’ චිත්‍රපටය තිරගත වූයේද 2003 වසරේදීය. නිහාල් පී. ජයතුංග විසින් රචිත භිෂණයේ අතුරු කතාවක් නවකතාව ඇසුරින් එම නමින්ම අමරනාත් ජයතිලක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. එයද 2003 වසරේදී තිරගත කෙරිණි. සුමිතා පීරිස්ගේ ‘සක්මන් මළුව’ චිත්‍රපටයට පාදක වූයේ, ගොඩ්ෆ්‍ර ගුණතිලකගේ ‘ද ගාර්ඩ්න්’ ඉංග්‍රීසි නවකතාවයි. උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත වස්සානයේ සිහිනය නවකතාව පාදක කර ගනිමින් සෙනේෂ් බණ්ඩාර දිසානායක විසින් අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය වස්සානය’ චිත්‍රපටය 2004 වසරේදී තිරගත කෙරිණි. එම වසරේදීම සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘ගිනි කිරිල්ලි’ චිත්‍රපටයට පාදක වූයේ ඔහුගේ ගිනි කිරිල්ලි නවකතාවයි. සුජීව ප්‍රසන්න ආරච්චිගේ නිලම්බරේ නවකතාව ඇසුරින් කැලුම් පාලිත මහීරත්න අධයක්ෂණය කළ ‘නිලම්බරේ’ චිත්‍රපටය 2006 වසරේදී තිරගත විය.

දිලීප ජයකොඩි විසින් රචිත නිල්දිය දහර නවකතාව 2008 වසරේදී දයාරත්න රටගෙදර අතින් ‘නිල් දිය යහන’ නමින් සිනමාවට නැගුණි. 2009 වසරේදී සනත් ගුණතිලක අධ්‍යක්ෂණය කර තිරගත කළ ‘එකමත් එක රටක’ චිත්‍රපටයට පාදක වූයේ එමිල් සෝලා විසින් රචිත ‘ෆො නයිට් ඔෆ් ලව්’ කෙටි කතාව යි. ‘රෝඩ් ටු එලිෆන්ට් පාස්’ කෘතිය ඇසුරින් චන්ද්‍රන් රත්නම් 2009 වසරේදී ‘අලිමංකඩ චිත්‍රපටය නිර්මාණය කළේය. 2010 වසරේදී සෆ්රාස් අධ්‍යක්ෂණය කළ ‘සුදු හංසි’ චිත්‍රපටයට පසුබිම් වූයේ ගාමිණි වාසලසූරියගේ සුදු හංසි නවකතාව යි. 2011 වසරේ තිරගත වූ නලීන් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘අඟර දඟර’ චිත්‍රපටයේ එන්නේ විදුරංගි අපේක්ෂා සන්දරගේ විසින් ලියූ කැලඹුණු දිය නවකතාව යි. මහානාම හිමි විසින් රචිත මහා වංශය ඇසුරින් සනත් අබේසේකර ‘මහින්දාගමනය’ චිත්‍රපටය නිර්මාණය කළේය. 2011 වසරේදි එය තිරගත කෙරිණි. එම වසරේදීම තිරගත වූ ‘ධීවරි’ චිත්‍රපටයට පදනම වූයේ රාජා ෆොක්ටර් විසින් රචිත ‘ෆිෂර්මන් ඩෝටර්’ නවකතාවයි.

පන්සිය පනස් ජාතක පොතේ එන කුස ජාතකය පාදකකර ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘කුස පබා’ චිත්‍රපටය 2012 වසරේදී තිරගත කෙරිණි. ප්‍රියංකර විතානාච්චි විසින් අධයක්ෂණය කළ ‘සැමීගේ කතාව’ චිත්‍රපටයට පසුබිම වූයේ ‘සෑම්ස් ස්ටෝරි’ නවකතාවයි. 2014 වසරේදී ඉන්ද්‍රාණි වීරසේකර විසින් අධ්‍යක්ෂණය කළ ‘දුවන මුවන්’ චිත්‍රපටයට පාදක වූයේ ද නවකතාවකි. ජයන්ත චන්ද්‍රසිරි විසින් රචිත මහරජ ගැමුණු නවකතාව ඇසුරින් ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ මහරජ ගැමුණු චිත්‍රපටය තිරගත වූයේ පසුගිය 2015 වසරේදීය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ කතාව තියොඩෝර් දොස්කොව්ස්කිගේ කීකරු යුවතිය නවකතාව ඇසුරින් නිර්මාණය වී ඇත. මේ දිනවල තිරගත කෙරෙන ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘සක්කාරං’ චිත්‍රපටයට පදනම් වන්නේ චම්මින්ද වෙලගෙදරගේ සක්කාරං නවකතාවයි. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ චිත්‍රපටයේ එන්නේ සිලප්පදිකාරම් සහ මනිමේඛල කෘතිවල ඇතුළත් කතාපුවතකි.

යතේජා ඥාානරත්න

මේ පුවත ඔබේ මිතුරන් අතරේ බෙදාගන්න

Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *